නිදි යහනේම මියගොස් සිටි ඇහැළියගොඩ ඕඅයිසීගේ මරණය දිවි නසා ගැනීමක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

341

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකද සිල්වා මහතාගේ (42) මරණය ඔහු විසින්ම සිය රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බවට තහවුරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ ට ඊයේ (22 දා) පැවසීය.

ඔහුගේ ජංගම දුරකථනයට අවසන් වශයෙන් ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද ඔහු සහ ඔහුගේ පවුල අතර කිසිදු ප්‍රශ්නයක් නැතැයි හෙළිවූ බවද හෙතෙම කියා සිටියේය.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 6 දෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලියන ලද ලිපියක් ඔහු මියගොස් සිටි ස්ථානයේ නොතිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් ස්ථානාධිපතිවරයා සිය රාජකාරි කටයුතු නිමකර රාජකාරි ගිනි අවියද රැගෙන ඔහු නැවතී සිටි පොලිස් නිල නිවස වෙත ගොස් තිබිණි. පෙරේදා (21 දා) අලුයම ඔහුගේ නිල නිවසට ගොස් ඇති පොලිස් නිලධාරියකු වෙඩි වැදී ඇඳ මත වැටී සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිරුර දැක අනෙක් නිලධාරීන් දැනුවත් කර තිබේ.

හිසට වෙඩි වැදී සිටි ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විට ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ හිස ඔසවා තිබුණු මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉතා වෙහෙසෙමින් කටයුතු කළ දක්‍ෂ නිලධාරියකු වූ ඒ මහතාගේ මරණය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පුළුල් පරීක්‍ෂණයක් පවත්වන බවද හෙතෙම කීය.

මියගිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහතා මීට පෙර බේරුවල, කළුතර උතුර හා බොරලැස්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් අපරාධ මර්දනයට විශාල සේවාවක් ඉටුකළ අයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇහැලියගොඩ – බී. ජී. විමලවංශ, උපාලි ප්‍රේමතිලක හා කහවත්ත – සමරවීර නිරෝෂණ,

advertistmentadvertistment
advertistmentadvertistment