අභියෝගය භාර ගැනීමට ජනපතිට කොන්දක් තිබීම ගැන මගේ ගෞරවය පුද කරනවා

125
  • කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රී දිවුරුම්දීම, නිවේදන, ලිපිලේඛන, කාරක සභා වාර්තා, වාර්ෂික වාර්තා, වරප්‍රසාද ප්‍රශ්න විමසීම, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ දෙදින විවාදය ප්‍රථම දිනයට ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින්, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා :

නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. පැරණි ප්‍රතිපත්තිවල නොඑල්ලී රට සංවර්ධනය කරන ලෙසත් ඉන්පසුව දේශපාලනය කරමු යැයි එතුමා ඉල්ලා සිටියා. එතුමා සිය කතාවේදී කිව්වා අනතුරුදායක වැල් පාලමේ බොහෝ දුරක් ශ්‍රී ලංකා මාතාව රැගෙන ආවා. නමුත් තව දුරක් යන්න තිබෙනවා කියලා. එවිට සැම දෙනාටම හුණු වටේ කතාව මතක් වෙන්න ඇති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරට අත්හැරීමට පෙර එතුමා සජිත් ප්‍රේමදාසට, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා මහතාටත් එතුමා කතා කළා. නමුත් ඒ අය ආවේ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහට කොන්දක් තිබුනා මේ අභියෝගය භාර ගන්න. මා ඒ ගැන එතුමාට මගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම එතුමා කියනවා මම ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒවායේ ප්‍රතිඵල තව අවුරුදු කිහිපයකින් දැන ගන්න ලැබේවි කියලා. මේ කටුක දේ කියන්න එතුමා පැකිලුනේ නෑ. අමාරුම අවස්ථාවලදී ගනු ලැබූ කිසිම තීරණයක් ලෝකයේ ජනප්‍රිය වෙලා නෑ. නමුත් ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන මුළු ලෝකයේම අවධානය යොමු කරනවා. නිවැරදි තීරණ ජනප්‍රිය නෑ නමුත් ඉන් ලැබෙන ප්‍රතිපලය ජනප්‍රියයි. ඒ වගේම තමයි වැරදි තීරණ ජනප්‍රියයි එයින් ලැබෙන ප්‍රතිඵලය ජනප්‍රිය නෑ.

(නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

සංජීව එදිරිමාන්න මහතා : එදා රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වනවිට අපි කිව්වා. ඔහුගේ පරිණත භාවය සහ අවම බැඳීම් ඇති අයෙක් පත් කර ගැනීම වැදගත් කියලා. ඇතැම් විට යූඑන්පී එකේ මන්ත්‍රීවරු හැට හැත්තෑවක් හිටියා නම් ඒ කණ්ඩායමේ තීරණවලට නතු වෙන්නත් තිබුනා. නමුත් මම කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහතා යූඑන්පියේ නායකයා ලෙස දේශපාලනය කරන්න ගියේ නෑ. ඒ වෙනුවට රටේ නායකයා ලෙස ජනාධිපති ධුරවේ වැඩ කටයුතු කරගෙන ගියා.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. වීරසිංහ මහතා (ශ්‍රී.පොපෙ.) –

ත්‍රස්තවාදී කණ්ඩායමක් රට අල්ලන්න ගිය වෙලාවක තමන්ගේ නිවස ගිනි තියලා බය කරලා තිබුනු වෙලාවක රට බේරගන්න ඉදිරිපත් වුනු රනිල් වික්‍රමසිංහ මහතාට මම මගේ සුබාශිංෂණය ඉදිරිපත් කරනවා. අද ඒ තීරණයට එතුමා සාධාරණක්යවක් ලබා දී තිබෙනවා. කඩා වැටුණු කෘෂීකර්මාන්තය යළි පණ නංවලා පෝලිම් යුගය අවසන් කර තිබෙනවා. එදා එතුමා රට භාර ගන්න කොට ඩොලර් සංචිතය බිංදුවේ තිබුනේ. නමුත් අද එය ඩොලර් මිලියන 500ට වැඩි කරලා. මේ රට ඒ වැටුනු තැනින් වේගයෙන් ඉදිරියට අරගෙන යා හැකි මොහොතක යළිත් මේ රටේ විපක්ෂය හදනවා රට වට්ටන්න. නමුත් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අද විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් පැනලා ගිහිල්ලා. අපි මේ රටේ තිබෙන ප්‍රශ්න සාකච්ඡා කර නිවැරදි තීන්දු අරගෙන රට ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය නොපිරිහෙලා ලබා දෙනවා.

විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා-

අපේ රට ගතයුතු ඉදිරි ගමන් මාර්ගය ගැන ජනාධිපතිතුමා මේ වන විට පැහැදිලි කර තිබෙනවා. අපිට ඒ ගමන් මාර්ගය පැහැදිලියි. රටේ ජනතාවත් බොහෝ ප්‍රමාණයකටත් ඒ ගැන අවබෝධයක් තිබෙනවා. නමුත් අපි දේශපාලනික වශයෙන් බෙදිලා සිටින නිසා අපේ විපක්ෂයේ අය ඒක පිළිගන්න කැමති නෑ. අපි දැක්කා විපක්ෂයේ අය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්නේ නැතුව සභාවෙන් පිටවෙලා ගියා. ඒ වගේම අපි දැක්කා අර වියත් මග කියලා ඡන්ද අරගෙන ආපු අයගේත් කිසිම වෙනසක් නෑ කියලා. අපිට ඇතැම් විට අපහසු තීරණ ගන්න වෙනවා. විදුලි ගාස්තුව, තෙල් මිල වැඩි කරන්න වෙනවා. එහෙම කරන්න අපිත් කැමති නෑ. නමුත් අපි යථාර්ථය තේරුම්ගන්න ඕනා. අපි මේ යථාර්ථය තේරුම් අරගෙන මේ අසීරු ගමන් මාර්ගයේ ගිහින් රට ගොඩ දානවාද නැත්නම් විපක්ෂයේ කතාවලට රැවටිලා කටයුතු කරනවාද කියා අපි සිතිය යුතුයි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා-

හිටපු ජනාධිපති තුමාගේ කතාව අහපු මට නම් හිතෙන්නේ අපි තවම පාඩමක් ඉගෙන ගෙන නෑ කියලායි. අපි සියල්ලම පටලවාගෙනයි සිටින්නේ. මේ පටලැවිල්ල ලිහා ගන්නකම් අපට ඉදිරියක් නෑ කියලායි මට නම් හිතෙන්නේ. නමුත් එතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා සහයෝගය දෙන්න සූදානම්, එකට වැඩ කරන්න සූදානම් කියලා. නමුත් එතුමාගේ ලේකම් තුමාගේ අදහස නම් ඊට වෙනස්. ඒ නිසා ඒ පටලැවිල්ලත් හිටපු ජනාධිපති තුමා ලිහාගන්න ඕනා.

රාජ්‍ය ඇමැති ජනක වත්කුඹුර :

රට පැවති තත්ත්වයෙන් මුදවාගෙන යථා තත්ත්වයට පත් කරන්න ජනාධිපතිට හැකි වුණා. මහාමාර්ග අමාත්‍යාංශ්‍ය යළි වැඩ පටන් අරගෙන. ඒවා කරන කම්කරුවන්ට සති මුදල් ලැබෙනවා. උද්ධමනයත් ක්‍රමයෙන් අඩුවෙනවා. රට ගොඩ නගන උත්සාහයට සහය නොදී වට්ටන්න සමහරු උත්සාහ කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල :

ඉඩම් බලතල දෙන්න එපා කිව්වත් දැනටමත් දීලා ඉවරයි. දැනට ඉතිරි වී තිබෙන්නේ ජාතික ඉඩම් කොමිෂම පිහිටුවීම පමණයි.

13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමයි, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමයි, නාගදීපය, තන්තිරිමලය, සේරුවාවිල ඇතුළු සියල්ල අයිති උතුර නැගෙනහිර පළාත් සභාවලටයි. මේ පුරාවස්තු බෙදුම්වාදීන්ගේ ඇඟේ ඇනුන කටු වගෙයි. පුරාවිද්‍යා විෂයත් ඔවුන්ට යනවා.

හිටපු ජනාධිපතිවරු 7දෙනෙක් පළාත් සභාවලට බලය නොදෙන්න හේතු තිබුණා. පොලිස් බලතල දීම යනු රණවිරුවන් දහස් ගණනක් දිවි පුදා රැකගත් භූමිය පාවාදීමයි.

පාර්ලිමේන්තුව අද (10දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment