දැයේ දැක්ම විය යුතු ධර්මපාල චින්තනය

972

අනගාරික ධර්මපාල ශි‍්‍රමාතණන්ගේ 156 වන ජන්ම සමරුව

රටක් තුළ පමණක් නොව රටකින් රටකට ද ගොස් බුදු දහමේ උන්නතියට මෙවන් මෙහෙවරක් කළ කිසිවකු ඉන්දියාවේ ධර්මාශෝකයන්ගෙන් පසු හමු නොවේ. එබැවින් ධර්මපාල ශී‍්‍රමතාණෝ මතු  බුදුව නිවනින් සැනසෙත්වා

පරාදින ජාතියක් එයින් මුදා ගැනීම උදෙසා ක‍්‍රමවත් නායකත්වයක් සමාජය තුළින්  ගොඩනැඟිය යුතුය යන්න ධර්මපාලතුමන්ගේ දැක්ම වීය. දොන් ඬේවිඞ් ලෙසින් ඉංගී‍්‍රසි ආභාසයෙන් තමන්ට ලද නාමය වෙනස් කොට ස්වදේශිකයන් අතීතයේ භාවිතා කළ ආගමික නාමකරණයට අනුව ‘‘ධර්මපාල’’ නමින් තම නාමය වෙනස් කරගත් එතුමා නායකයා හැම කල්හිම ස්වදේශ වාත්සල්‍යයෙන් යුතු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉංගී‍්‍රසි නම් ගම් ගෞරවයෙන් භාවිත කළවුන් ප‍්‍රසිද්ධියේ සමච්චලයට ලක් කොට දේශීය නම් ගම් තබා ගැනීමේ අගය වටහා දුන්නේය. ඒ අනුව සමාජය වෙනස් වී පැරණි රාජ යුගවලින් පසු සිංහල බෞද්ධ නම් ගම් තබාගන්නට ජනයා යොමු වීමෙන් සංස්කෘතිකමය වශයෙන් ලොකු වෙනසක් ඇතිකරලීමට හැකි වීය.

දැයේ දැක්ම විය යුතු ධර්මපාල චින්තනය
ධර්මපාලතුමා රටපුරා ගිය වාහනය

සිංහල නම් ගම් පමණක් නොව ස්වදේශික සිංහලයා සිංහල භාෂාවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය. ඒ පිළිබඳ එතුමා ‘‘දැන ගත යුතු කරුණු’’ නම් කෘතියෙහි මෙසේ පවසා තිබෙයි.

‘‘ලාංකික සිංහලයන් ස්වකීය ජන්ම භාෂාව ඉගෙන නොගෙන ඉංගී‍්‍රසි පමණක් ඉගෙන ගැනීම ජාතිය නැති කිරීමට කරන උපක‍්‍රමයකි. පුරාණ උතුම් චරිත ඇති සිංහලයන් ගැන දැනගැනීමට ඇති එකම මාර්ගය සිංහල භාෂාවයි. සිංහල, පාලි භාෂා දෙක හොඳින් ඉගෙන ගත් කල සිංහල ජාතිය කෙරෙහි පේ‍්‍රමයක් ඇතිවීමට මාර්ගයක් වෙයි. මේ භාෂා දෙක ඉගෙන ගන්නා කාලයේ ඉංගී‍්‍රසි ඉගෙනීම කළොත් පහසුයි.’’

20 වන සියවසේ මුල් භාගයේදී සිංහල බස හැදෑරීමේ වැදගත්කම පිළිබඳව එතුමා දැක්වූ එම අදහස් වර්තමානයටත් එලෙසම වැදගත් වෙයි. සිංහල බසේ අභිමානය මෙසේ එතුමා හැම තැන්හිදීම ඉස්මතු කිරීමත්, ඉංගී‍්‍රසි අධ්‍යාපනයෙහි යෙදීමේ අවශ්‍යතාව පෙන්වා දීමත් නිසා නිදහස් අධ්‍යාපන පනත, සිංහල රජ බස වීම හා ස්වභාෂික අධ්‍යාපනය අපට උරුම විය. රජයන්ට එවැනි තීන්දු තීරණ, කි‍්‍රයාත්මක කරලීම උදෙසා අනගාරික ධර්මපාලතුමන් නැගූ ප‍්‍රබල හඬ හේතු විය. එමෙන්ම ඒ ඔස්සේ ගොඩනැඟුණු ස්වභාෂික සමාජය වෙතින් දැයට උරුම වූ දායදයෝ රාශියකි. සිංහල සංස්කෘතිය, සිංහල සාහිත්‍යය හා කලාවන් මෙන්ම මධ්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල ද අපට වෙයි.

එතුමා හැම විටෙකම සන්නිවේදනය සඳහා හෙළ බසෙහි ප‍්‍රබල වදන් භාවිතයට යොදා ගත්තේය. සමාජයේ ඇස් ඇරවීම උදෙසා ‘‘ගොන්තඩියා’’ වැනි ආමන්ත‍්‍රණ එතුමාගේ වාග්කෝෂය පුරාම විය. සුරාපානයට, ගෙරි මස් කෑමට එරෙහිව එතුමාගේ ආමන්ත‍්‍රණ ප‍්‍රබල විය. එතුමා නායකයකු වශයෙන් සැපිරිය යුතු සියලූ ගුණාංගයන්ගෙන් පිරිපුන් විය. බුදු දහම හා අපේ අතීතාභිමානය මනාකොට නිරීක්ෂණයෙන් ලබාගත් දැනුම එතුමාගේ දර්ශනය විය. බුදු දහමේ එන සරල ඉගැන්වීම් මෙන්ම ප‍්‍රබල ජාතක කතා නිතර උපුටා ගනිමින් ජනයාට දේශන පැවැත්වීය. ‘‘සිංහල බෞද්ධයා’’ පුවත්පත අරඹා අසිපතක් ලෙසින් ජන මනස වෙනස්කරලීමට ඒ ඔස්සේ තම අදහස් ඉදිරිපත් කළේය. වරක් වට්ඨකී සූකර ජාතකය උපුටා ගනිමින් ව්‍යාඝ‍්‍රයකුගෙන් සූකර වර්ගයාට පැමිණි අභියෝගයක් ජයගන්නට බෝසත් සූකරයකුගේ නායකත්වය හේතු වූ ආකාරය පැහැදිලි කොට ජාතිය බේරා ගැනීමට ඌරාට තිබූ මොළේ වත් සිංහලයාට නොමැති ඇයි දැයි ප‍්‍රශ්න කළේය. මහාජනක ජාතක කතාව උපුටා ගනිමින් හෙළ කාන්තාව බුදු දහමින් ශික්ෂණය ලද උපාසිකාවක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ලෝක ගොල්ෆ් ශුරයා වන ඇමෙරිකානු ජාතික ටයිගර් වුඞ්ස් විසින් ‘‘මාගේ ලෝකයේ වීරයා ධර්මපාලතුමා’’ යැයි අන්තර්ජාලයට එක් කළ ප‍්‍රකාශයක් ලොව පුරා මෑතදී ප‍්‍රකට විය. ඔහුගේ මව බෞද්ධ කාන්තාවක වූ බැවින් ධර්මපාලතුමාගේ පොතපත නිවසේ තිබී ඒවා පරිශීලනයෙන් ලද දැක්ම ලෝක ශුරයකු නිර්මාණය කරන්නට සමත් විය. එහෙත් අපේ රටේ උපන් කිසිවකුට මගේ ලෝකයේ වීරයා ධර්මපාලතුමා යැයි කියන්නට හුරුවක් කවදාවත් ඇතිවන්නේ නැත. ඒ එතුමා අප විසින් අධ්‍යයනය නොකරනු ලබන බැවිනි.

සංඝ සමාජයේ පවා පැවැති දුර්වලතා ප‍්‍රබල ලෙස විවේචනය කළ ධර්මපාලතුමා භික්ෂුව නිරන්තරයෙන් ජනතාවගේ මුරදේවතාවා බවට පත් විය යුතු බව කියා සිටියේය. මිථ්‍යා දෘෂ්ටිකයන් සම්මා දිට්ඨියට පත්කරලීම, අකුසල් කරන අය කුසලයෙහි යෙදවීම, ආදිය උදෙසා රාති‍්‍රයක් පාසා ගම්වල බුදුන්ගේ ධර්මය නිවැරදිව දේශනා කළ යුතු බව කියා සිටියේය. භික්ෂුන් වහන්සේලාගෙන් වැඩි කොටසක් අලසව කටයුතු කරන බවත්, එබැවින් භික්ෂුවගේ වගකීම කවරේද යන්න එතුමාගේ ලේඛනවලින් අවධාරණය කෙරිණි.

සිංහල දරුවන් නිසි පරිදි ශීලාචාරව සකසා  නොගැනීමෙන් මුළු මහත් ජාතියම විනාශ වී යන බවට ධර්මපාලතුමන් පළ කර ඇති පහත ප‍්‍රකාශය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමු.

‘‘සිංහල දරුවන්ට බාල කාලයේදී වත්පිළිවෙත් කියා දීමට කිසි කෙනකු නැති බැවින් ඔවුහු තරුණ වයසට පැමිණි කල ශීල විපත්ති, ආචාර විපත්ති, දෘෂ්ටි විපත්ති යන මේවාට පැමිණෙත්. මරක්කල ගැහැණු පිරිමි දරුවන්ට බාල කාලයේ පටන්ම ඔවුන්ගේ ආචාර්යයන් විසින් ඔවුන්ගේ කොරාන් පොතෙන් ධර්මය ද අරාබි දෙමළ භාෂා ද ගණිතය ද උගන්වනු ලැබේ. දෙමළ වර්ගයාටත් එසේමැයි. යුරෝපීය වර්ගයා ඔවුන්ගේ දරුවන්ට නොයෙක් ශිල්පාදිය උගන්වනු ලැබේ. සිංහල දරුවන්ට ගුරුකම් දීමට කිසිවකු නැති බැවින් දුප්පත් බෞද්ධ දරුවෝ පාපීන්ගේ වසඟයට පැමිණ විනාශ වෙත්, පුරාණ කාලයේ සිල්වත් භික්ෂූන් වහන්සේලා අනුකම්පා සිතින් බෞද්ධ දරුවන්ට කුලදේවතාවුන් මෙන් කටයුතු කළෝය.’’

මෙවන් ප‍්‍රකාශයක් ධර්මපාලතුමන් වෙතින් කෙරෙන්නට ඇත්තේ මොන තරම් කරුණාබර හැඟිමකින්දැයි කල්පනා කළ යුතුය. අන්‍ය ජාතීන් පිළිබඳ වෛර හැඟීමක් කිසිවිට ඇති නොවන ලෙසින් ඔවුන්ගෙන් අප ඉගෙන ගත යුතු දේ උපුටා ගෙන පෙන්වා දුන්නේය. මේ ප‍්‍රකාශ සියවසකට පෙර කළ ද ඒවායෙහි වර්තමාන වටිනාකම් ද බොහෝ ඇති බව සිතිය යුතුය.

ධර්මපාලතුමා තරම් මෑත යුගයේ අපට පහල වූ සංස්කෘතික වීරයකු තවත් නැත. අද අප බුක්ති විඳින සංස්කෘතික වටිනාකම් යමක් වෙතොත් ඒ ධර්මපාලතුමන් විසින් අපට උරුම කරන ලද දේයි. ධර්මපාලතුමාගේ ප‍්‍රකාශයක් මෙසේ උපුටා දක්වමු.

‘‘උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා එක් කොස් ඇටයක් වී ඇටයක් සිටවන්නේ නැතිව. සුද්දගෙ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බජිරි දීලා උඹලගෙ සම්පත් ටික සූරගෙන උන්ගෙ රටට

ගෙනියන එක උඹලට පේන්නෙ නෑ.

කෝ උඹලට තිබිච්ච ප්‍රෞඪ ඉතිහාසය.

කෝ උඹලගෙ සංස්කෘතිය

කෝ උඹලගෙ මනුස්සකම

බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද?

උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩකරපල්ලා.

(අනාගතය විනිවිද දුටු ධර්මපාල වීරයා)

2008-09-17 ලංකාදීප

ජනතාවගේ දෑස් පුබුදුවන්නට මෙවන් ප‍්‍රබල ප‍්‍රකාශ කළේ රටටත් ජාතියටත් එතුමා තුළ පැවැති බලවත් පේ‍්‍රමය නිසාය. මේ වදන් නිදහස් රටක දශක 07 ක් ගෙවා දැමූ අපට පෙරදාට වඩා කොතෙක් ගැළපේදැයි සිතා බැලිය යුතුය. තිරි`ගු පිටි සංස්කෘතියෙහි වහලූන් වී ඇති අප පරපුර දිනෙන් දින ගොවිබිමෙන් ඈත් වෙමින් පවතී. අධිරාජ්‍යවාදී පාලකයන්ට බිය නොවී සිංහලයකු සේ දිවා රාතී‍්‍ර වෙහෙසෙමින් ජාතිය ගොඩනැංවීම උදෙසා ධර්මපාල ශී‍්‍රමතාණන් ඉටු කළේ සංස්කෘතික විප්ලවයක කාර්යභාරයයි. අලසයනට බැට දුන් ඔහු වේලාවට වැඩ කිරීමේ අගය ජාතියට හඬගා කීවේය. වරක් ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හමුවීමට ඔහුට වේලාව ලබාදී තිබුණේ ප.ව. 1.00 ටය. එහෙත් ඔහු පැයක් පමා වී ප.ව. 2.00 ට පැමණියේය. එවිට ධර්මපාලතුමා කීවේ නුඹලා වැනි වෙලාවට වැඩ නොකරන මෝඩයන් නිසා මගේ වටිනා කාලය අපතේ ගිය බවයි. මට නුඹ සමග කිසිදු කතාවක් අවශ්‍ය නැතැයි බැණවදිමින් රජ ගෙදරින් නික්ම ගියේ අපේ සිංහලයාට ද වේලාවට වැඩ කිරීමේ අගය පෙන්වමිනි. එමෙන්ම එතුමා ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගමන් කරද්දී අහංකාර සුද්දකු තමා ඉදිරියේ දුම්වැටියක් උරමින් මත්පැන් පානය කරද්දී එය නොකරන්නැයි අණක් දුන්නේය. එය නොතකා සිටි විට මත්පැන් බෝතලයත්් වීදුරුවත් ගෙන දුම්රිය කවුළුවෙන් එළියට විසි කළේය. එයින් කලබලයට පත් සුද්දාට ඔහු තර්ජනය කළේ නැවත එසේ කළහොත් සුද්දා ද කවුළුවෙන් එළියට විසි කරන බවට ගෝරනාඩු කරමිනි.

අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රේෂ්ඨ බව දැයට ලියා තැබූ ගණේගම සරණංකර හිමියෝ එහි මෙසේ දක්වති..

ධර්මපාලතුමා තරම් වැඩ කළ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් රට රාජ්‍යයන්හි ඇවිදපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් කතා පැවැත්වූ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් පරිත්‍යාග කළ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් රට ජාතිය ආගම වෙනුවෙන් දුක් විඳපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් බැණුම් අහපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් ලියපු සිංහලයෙක් වෙන නැත. එක මිනිස් ජීවිතයකදී අවුරුදු පනහක් තුළ එතුමා කරපු වැඩ මෙතෙක් මේ රටේ උසස් කිසිදු සිංහලයෙක් කර නැත. ඒ වැඩ රාශිය සිංහලයන් දස දහසකට ද කළ නොහැකි තරම්.

භාරත දේශයෙන් අතුරුදන්ව ගිය බෞද්ධ උරුමය සුරකින්නට එතුමා විදින ලද දුක කෙතරම් ද යන්න දැනගැනීමට ඉන්දියාවේ බුද්ධගයාව, සාරනාත්, ලූම්බිණි කුසිනාරා ආදී ස්ථාන වෙත යා යුතුය. වර්තමානයේ එක් දිනකට ලක්ෂ ගණනක් ලෝවැස්සන්ගේ වන්දනාවට ලක්වන බුද්ධගයාව, ධර්මපාල තුමන්ගේ ශ්‍රේෂ්ඨ මෙහෙවරෙහි ප‍්‍රතිඵලයක් බව ඔවුහු කිසිවෙක් නොදනිති. රටක් තුළ පමණක් නොව රටකින් රටකට ද ගොස් බුදු දහමේ උන්නතියට මෙවන් මෙහෙවරක් කළ කිසිවකු ඉන්දියාවේ ධර්මාශෝකයන්ගෙන් පසු හමු නොවේ. එබැවින් ධර්මපාල ශී‍්‍රමතාණෝ මතු බුදුව නිවනින් සැනසෙත්වා.

දැයේ දැක්ම විය යුතු ධර්මපාල චින්තනය

මහාචාර්ය පූජ්‍ය අගලකඩ  සිරිසුමන හිමි
සිංහල අධ්‍යයනාංශය – කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment