බැෂලේගේ ප‍්‍රකාශයට මනාපයි… මනාපයි… සුමන්තිරන් කියයි

221

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් මේ වන විට නිකුත් කර ඇති වාචික ප‍්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය පිළිගන්නා බවත් ඊට පක්ෂය කැමැත්ත පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා වවුනියාවේ දී පැවසීය.

වවුනියාවේ දී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පසුගිය මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් වගවීම ප‍්‍රතිසන්ධානය හා මානව හිමිකම් යන කරුණු සම්බන්ධයෙන් 46/1 යන යෝජනාව සම්මත වීමෙන් පසුව කොමසාරිස්වරියගේ වාචික ප‍්‍රකාශය වඩා වැදගත් බවයි.

වගවීම ප‍්‍රතිසන්ධානය හා මානව හිමිකම් පිළිබඳව වූ සම්මත යෝජනාව ක‍්‍රියාවට නැංවීමට තම රජය සූදානම් බවත් ඊට එකඟ වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජුනි මාසයේ දී ‘ට්විටර්’ පණිවුඩයක් මගින් දන්වා සිටීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සතුටට පත් වන නමුත් මෑත දිනවල එක් එක් ඇමැතිවරුන් ප‍්‍රකාශ නිකුත් කරමින් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රකාශ කිරීම ඉතා බරපතළ තත්ත්වයක් බව ද සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිරිහෙමින් පවතින බව කියමින් උදාහරණ කිහිපයක් සඳහන් කළ මන්ත‍්‍රීවරයා අතුරුදන් වූවන්ගේ සිද්ධියේදී, ඔවුන්ගේ ඥාතීන් බලාපොරොත්තු වන පරිදි යුක්තිය ඉටු විය යුතු යැයි ද නැවත සඳහන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment