මවත් සමග යතුරු පැදියේ ගිය දැරිය ටිපර් මාරයාට බිලි

776

සිය මව සමග යතුරුපැදියේ පිටුපස නැගී නිවස වෙත ගමන් කරමින් සිටි දැරියක් ටිපර් රථයක රෝදයට යටවීමෙන් මරණයට පත්වී තිබේ.

තලහිටියාගොඩ ප‍්‍රදේශයේ පාසල අසන්නයේ 27 දා සන්ධ්‍යාවේ සිදුවූ අනතුරින් මෙසේ මරුමුවට පත්ව ඇත්තේ කොටුවේ ගෙදර සමගි මාවත, තලහිටියාගොඩ, රත්මලේ පදිංචි තිනෙලි දිහන්සා සුබසිංහආරච්චි නමැති දැරියකි.

මවත් සමග යතුරු පැදියේ ගිය දැරිය ටිපර් මාරයාට බිලි
අනතුරට පත් ටිපර් රථය

මව මදුෂා ජයමිණි වන අතර ප‍්‍රසන්න කුමාර (41) පියා බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරුවෙකි. ඉදිරියෙන් පැමිණි වැලි පිරවූ ටිපර් රථයක් යතුරුපැදියේ ගැටී දැරිය විසිවී මාර්ගයට ඇද වැටී ටිපරයේ රෝදයකට හිස යටවීමෙන් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව දික්වැල්ල පොලිසිය කියයි. අනතුරුව ප‍්‍රදේශවාසීන් එක්ව මියගිය දැරිය හා සුඵ තුවාල ලද 36 හැවිරිදි මව එම ටිපර් රථයෙන්ම දික්වැල්ල රජයේ රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බව වාර්තා වේ. දික්වැල්ල මරණ පරීක්ෂක ජයන්ත සමරසිංහ මහතා රෝහලට පැමිණ මූලික නිරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මාතර රෝහලේ මෘතශරීරාගාරයට යැවීමට පොලිසියට උපදෙස් දුන්නේය. දික්වැල්ල හුන්නදෙණිය ප‍්‍රදේශයේ 63 හැවිරිදි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් (67067) නිශාන්, (70016) සංජීව යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment