මන්නාරම් ද්‍රෝණියේ එම් 2 වෙන්දේසියකට… තෙල් හමුවුණොත් විදේශ ණය කම්මුතුයි!

352

ගෑස් හා තෙල් තිබෙන බවට හඳුනාගෙන ඇති මන්නාරම් ද්‍රෝණියේ එම්. 2 කොටස විදේශ ආයෝජකයන්ට ප‍්‍රසිද්ධියේ වෙන්දේසි කර තෙල් ගවේෂණය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තුවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

ඛනිජ තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිදුවන බවත් ලංකාවේ කිසිම ධනවතකුට එවැනි ආයෝජනයක් කළ නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

දැනටමත් මන්නාරමේ එම් 2 කියන කොටසේ ළිං හාරා තෙල් තිබෙන බවට හඳුනාගෙන ඇති අතර මන්නාරම් ද්‍රෝණියේ පමණක් බොරතෙල් බැරල් බිලියන 2 ක් තිබෙන බවත් තෙල් බැරලයක මිල ඩොලර් 75 ක් ලෙස ගණන් හැදුවොත් ඩොලර් බිලියන 150 ක් වටිනා තෙල් නිධි අපට ඇති බවත් ඇමැතිවරයා කියයි.

ගෑස් සම්බන්ධයෙන් ගතහොත් ඝන අඩි ටි‍්‍රලියන 9 ක් ඇති අතර ස්වභාවික වායු එක ඝන අඩියක වටිනාකම ශත 13 ක් ලෙස ගණන් හැදුවහොත් ඩොලර් බිලියන 117 ක වටිනාකමක් එහි ඇති බව ද ඔහු කීය.

මේ දෙකේ වටිනාකම එකතු කර ගණන් හැදුවහොත් ඩොලර් බිලියන 267 ක් ලැබෙනවා. ආයෝජකයාට 50% ක් හා අපට 50% ක් විදිහට ගණන් බැලූවහොත් ඩොලර් බිලියන 133.5 ක් තෙල් හා ගෑස් විකිණීමෙන් උපයා ගත හැකිවෙයි. මෙරට විදේශ ණය තිබෙන්නේ ඩොලර් බිලියන 47 කි. ඒ වගේ තුන් ගුණයක ආදායමක් මන්නාරම ද්‍රෝණියේ තෙල් හා ගෑස් විකිණීමෙන් ලබාගත හැකි යැයි ද ඇමැතිවරයා කීය.

ලංකාවේ තෙල් ගවේෂණය ඉදිරියට ගෙන යෑමට ඛනිජ තෙල් පනත සම්මත කරගෙන ඛනිජ තෙල් අධිකාරිය පිහිටුවීමට ද පියවර ගැනෙයි. දීර්ඝ කාලයක් පුරා මෙරට තෙල් තිබිය හැකි ප‍්‍රදේශ බිම් කැබලි 20 කට කඩා වෙන් කළොත් එක් කැබැල්ලක පමණක් තෙල් ගවේෂණයට දිගු කාලයක් ගතවන නිසා විදේශ ආයෝජකයන් ඊට කැන්දා ගැනීම අරඹන බව ද ඔහු කීය.

මේ සඳහා දැනටමත් ලොව කීර්තිමත් භූ භෞතික සමීක්‍ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල්ජියෝ ස්පේස් ආයතනය ගුවන් යානයක් යොදා ආයෝජකයන්ට අවශ්‍ය ගුරුත්වාකර්ෂණ හා චුම්භක දත්ත සමීක්‍ෂණය කරන බව ද ඇමැතිවරයා කීය.

අප රටෙන් රුපියලක්වත් වැය නොවී රටට විදේශ විනිමය උපයන දැවැන්ත ව්‍යාපෘතියක් බවට මෙය පත්වනු ඇති බව ද මෙම නිධි මුහුද මතුපිට සිට කිලෝමීටර් 1 1/2 ක් ගියවිට හමුවන මුහුදු පත්ලේ තවත් කිලෝමීටර් දෙකක් ගියාම දැනට හඳුනාගෙන ඇති ගෑස් නිධි ඇති බව හෙළිවී ඇති අතර තාක්ෂණය තිබෙන දැවැන්ත සමාගම් මේ සඳහා එක්කර ගත යුතු බව ද ඔහු කීය.

මේ අතර ඩුබායිවල පිහිටි ගෑස්ටෙක් සම්මන්ත‍්‍රණයට හා ඇමෙරිකාවේ පැවැත්වෙන සම්මනත‍්‍රණයන්ටද සහභාගි වී ආයෝජන සමාගම් සම්බන්ධ කර ගැනීමට තමා හා නිලධාරීන් ක‍්‍රියා කරන බව ද ඇමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පෙරේදා (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment