මුලින්ම ජනාධිපතිවරණය !ඡන්දය පෙබරවාරි හෝ මාර්තු වේ

619

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවති සතියක් නොවීය. එහෙත් අපේ රටේ දේශපාලන කරළිය කාර්යබහුල විය. ඊට බලපෑ හේතු කීපයක්ම තිබිණි.

ප්‍රධානම හේතුව වූයේ තිස් අවුරුද්දක් තිස්සේ මේ රටට හා ජනතාවට වධ දෙමින් පැවැති සාපලත් යුද්ධය නිමාකර අවුරුදු දාහතරක් සම්පූර්ණ වීමේ සැමරුම් උත්සවය මේ සතියට යෙදී තිබීමයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දමා යුද්ධය ජයග්‍රහණය කළේ 2009 මැයි මස 18 වැනිදා ය. යුද ජයග්‍රහණයේ 14 වන සංවත්සර උත්සවය මේ සතියට යෙදී තිබූ බැවින් එක් පැත්තකින් ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලධාරීන් කීප දෙනෙක් කාර්යබහුලව සිටියහ. අනිත් පැත්තෙන් තවත් වැදගත් කාරණාවක් වූයේ දේශපාලනමය වශයෙන් මේ රට අවිනිශ්චිත සන්ධිස්ථානයක පසුවෙද්දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති ධුරය භාර ගෙනද වසරක් සම්පූර්ණ වීමයි. ඒ හැරුණු විට බුදු දහම විවේචනය කරමින් පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු කරන ලද ප්‍රකාශය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි දුමින්ද හටන, කැබිනට් මාරුව, අගමැති මාරුව, ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඉවත් කර ඒ වෙනුවට නව ආණ්ඩුකාරවරු පත් කිරීම වැනි කරුණු ගණනාවක්ම නිසා පසුගිය සතියද දේශපාලනමය වශයෙන් උණුසුම් සතියක් විය.

● අගමැති ධුරයේ කටු ඔටුන්නක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් පමණක් තිබියදී ඉකුත් වසරේ මැයි මස 12 වැනි දා මේ වගේ අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම භාරගන්නේ අභියෝග රාශියක් මධ්‍යයේ ය. ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහුට සහයෝගය දුන් මුත් බහුතර කණ්ඩායමක් බලා සිටියේ පාර්ලිමේන්තුවේ බලයක් නොමැතිව ඔහු ඉතා ඉක්මනින් අසාර්ථක වේ ය කියාය. අරගලය ඔහුව ආමන්ත්‍රණය කරන්නට වූයේ ම “පින් අගමැති” කියාය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසු අගමැතිකම භාරගන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට විවෘත ආරාධනයක් කළත් විපක්ෂයේ කිසිවකුත් ඒ අභියෝගය භාර ගන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ වන විට අරගලකාරීන් ජනාධිපතිවරයාට ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ල කරමින් සිටියහ. යම් යම් තානාපති කාර්යාලද ඇතුළත්ව රාජ්‍ය නොවන සංවිධාන සහ දෙස් විදෙස් බලවේග රාශියක් මේ වෙලාවේ උදව් කළේ අමාත්‍යවරයාට හා රජයට නොවේ. අරගලයට හා අරගලය මෙහෙයවූ පාර්ශ්වවලට ය. එහෙත් ඒ සියලුම අභියෝග මැද තනිව සටනක් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට රට අලුත් මාවතකට ගන්නට යත්න දැරුවත් විපක්ෂයේ බහුතරයක් බලා සිටියේ අගමැති රනිල්ගේ ආණ්ඩුව අසාර්ථකවී ඇද වැටෙන තුරුය. අන්තිමේ ඔවුන් විසින් පින් අගමැති යැයි කී රනිල් මේ රටේ ජනාධිපති වී දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික යාන්ත්‍රණය හසුරවන සුක්කානම අතට ගත්තේය.

දැන් ඒ වෙනස් කමට වසරක් සම්පූර්ණ වී අවසානය. සමාජයේ එවකට තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හරවා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද ලංකාවට පැමිණ බිඳ වැටුණු රට ගොඩනඟන ආකාරය පිළිබඳ සාකච්ඡා අරඹා තිබිණ. සැබැවින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ භාරගත් අභියෝගය හමුවේ තමන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ තෘප්තිමත් ව ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය කාලයේ ලොකුම හිසරදයක්ව තිබුණේ මේ රටේ ආණ්ඩුකාරවරු හතර දෙනෙක් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් නැඟෙන පැමිණිලිය. විශේෂයෙන්ම වයඹ, නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් නොයෙක් විදියේ පැමිණලි තිබිණි. වයඹ ආණ්ඩුකාර කරන්නාගොඩට එරෙහිව පැමිණියේ ඔහු කිසිදු මහජන නියෝජිතයකු සමග වැඩ කිරීම්වලදී සුහද නැතැයි කියන චෝදනාව ය. ඔහු හමුවී කිසිදු ප්‍රශ්නයක් කතාබහ කරන්නට තමන්ට අවස්ථාවක් නැතැයි ප්‍රදේශයේ බලවත් මන්ත්‍රීවරු පවා පැමිණිලි කළහ.

නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට ද එරෙහිව පැමිණිලි රැසක්ම තිබිණි. ඇයට එරෙහිව සිංහල දෙමළ මුස්ලිම් යන තුන් වර්ගයේම මන්ත්‍රීවරු පැමිණිලි කළේ ඈ කිසිදු මන්ත්‍රීවරයකු ගණන් ගන්නේ නැතැයි කියාය. කිසිවකුටත් ඇහුම්කන් දෙන්නේ ද නැතැයි කියාය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් විමසන්නට කල්පනා කළේය. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ සියලුම ආණ්ඩුකාරවරු ඉවත් කර තමන්ට අවශ්‍ය පරිදි ඔවුන්ව මාරු කිරීමට හා කීපදෙනෙක් අලුතින් පත් කිරීමටය. එහෙත් ඒ සඳහා පොදුජන පෙරමුණේ එකඟතාවක් නොවීය. ජනාධිපතිවරයා හා පොදුජන පෙරමුණේ නායකයන් අතර පසුගියදා මේ පිළිබඳව පැවති සාකච්ඡාවේදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ කොන්දේසි කීපයක්ම විය.

පළමු කොන්දේසිය වූයේ දකුණේ විලී ගමගේ, උතුරුමැද මහීපාල හේරත්, ඌව මුසම්මිල් සහ ලලිත් යූ ගමගේ මාරුකරන්නට බැහැ කියාය. ඉතිරි පස් දෙනා සම්බන්ධයෙන් කැමති තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපති භාරගන්නවාටත් විරෝධතාවක් නොවීය.

එහෙත් දෙවැනි කොන්දේසිය ලෙස අලුතෙන් ආණ්ඩුකාරවරු පත් කරන්නේ නම් ඒ සඳහා නම් දෙකක් ද නිර්දේශ කර තිබිණි. එකක් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගේය. ඉතිරි නම කුමාරි බාලසූරියගේ ය.

තවත් කොන්දේසියක් තිබුණි. අලුතෙන් ආණ්ඩුකාරවරු පත් කරන විට ඒ අය දේශපාලනය කරන ලද දිස්ත්‍රික්කයට හෝ පළාතට පත් නොකරන්නැයි කියා ඉල්ලීම එම කොන්දේසියයි.

ඒ අනුව මීට සතියකට පෙර ජනාධිපතිවරයා තීරණය කළේ පළාත් කිහිපයක් නම් කර ඒ ආණ්ඩුකාරවරුන්ට නම්බුව ඇතුව ඉල්ලා අස්වීමට අවස්ථාව සලසා දීමට ය. සබරගමුව, වයඹ, උතුර සහ නැගෙනහිර ඒ අතර විය.

● ආණ්ඩුකාරවරුන්ට වෙච්චි දෙයක්

අදාළ ආණ්ඩුකාරවරු හතර දෙනාට ඉල්ලා අස් වන්නට ජනාධිපති කාර්යාලයෙන් දන්වනු ලැබූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුකාරවරුන් ඉවත් කරන්නට ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදනයක් නැතැයි කියා කවුරුන් හෝ දුන් වැරදි අර්ථකථනයක් මත ආණ්ඩුකාරවරු අස් නොවී ඉන්නට තීන්දු කළේය. එහෙත් ඒ වගන්තියේ එක් තැනක ජනාධිපතිවරයාට ඒ සඳහා අවස්ථාවක් තිබිණි. එහි තිබුණේ “ජනාධිපතිවරයාගේ ප්‍රසාදය” ඇති තාක් කල් පමණක් ආණ්ඩුකාරවරයාට ධුරයේ සම්පූර්ණ නිල කාලය සිටිය හැකි බවයි.

මේ පිළිබඳව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රතිචාරය ඉතා රළු එකක් බව දැනගත් ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ සිදුවිය යුත්තේ කුමක්ද කියා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අද්මිරාල් කරන්නාගොඩ, අනුරාධ යහම්පත් සහ ජීවන් ත්‍යාගරාජා සඳුදා දින වන විට තනතුරුවලින් ඉවත්ව නොසිටියොත් තම අභිමතය පරිදි ඉවත් කිරීමට ලිපි නිකුත් කරන්නැයි ජනාධිපති කීවේය.

මධ්‍යම ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඒ වනවිට සිටියේ ආණ්ඩුකාරවරයා ලෙස නිල රාජකාරි කටයුත්තක් සඳහා විදේශ සංචාරයකය. අතරමගදී මෙසේ බලයෙන් පහකිරීම සංචාරයට බාධාවක් වෙතැයි සිතා ඔහුගේ ලිපිය ඔහු සංචාරය නිමවා පැමිණෙන තෙක් පමා කරන්නැයි ජනාධිපති කීවේය.

සඳුදා හවස් වන විට ආණ්ඩුකාර කාර්යාලවලට එම බලයෙන් පහකිරීමේ ලිපි තුන ලැබී තිබිණි. ඔවුන් තිදෙනා වෙනුවටත් තවත් තිදෙනෙක් නම් කිරීමද ඒ සමගම සිදුවිය. නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත් කර තිබිණි. ලංකා කම්කරු කොංග්‍රසය සමග පහුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතිකරගත් එකඟතාව අනුව ඔවුන්ගේද ඉල්ලීම් දෙකක් තිබිණි. එකක් ඇමැතිකමකි. අනික ආණ්ඩුකාරකමයි. ඇමැතිකම ජීවන් තොණ්ඩමන් මීට ටික කලකට ඉහතදී ලබාගත්තේය. ආණ්ඩුකාරකම සෙන්දිල් තොන්ඩමන්ට ලැබිණි. ඒ සමගම උතුරේ ආණ්ඩුකාරකම කලක් මෙරට කීර්තිමත් දිසාපතිනියක් ලෙස සේවය කළ ප්‍රින්ස් සරෝජිනී මන්මතරාසා චාල්ස් මැතිනියට ලබා දුන් ජනාධිපතිවරයා වයඹට ලක්ෂ්මන් යාපා අබේවර්ධනව පත් කළේය.

ටිකිරි කොබ්බෑකඩුව මහතා පැමිණි පසු ඔහුව මධ්‍යම පළාතෙන් ඉවත් කොට නවීන් දිසානායකට මධ්‍යම පළාත දෙනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළත් පොහොට්ටුවේ කොන්දේසිය අනුව ඔහුට මධ්‍යම පළාත නොලැබෙන බවට මතයක් ද තිබේ. ඔහුට සබරගමුව භාර දී දැනට සබරගමුවේ සිටින ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාතට යවනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේය.

දේශපාලනඥයන් සමඟ සුහදතාවය වර්ධනය කර නොගත්තා යැයි චෝදනා තිබුණත් නැගෙනහිර ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් නැගෙනහිරට වැඩ කළේය. ඕ එහිදී ගත කළේ දුෂ්කර ජීවිතයක් බව කියැවිණි. ඇයගේ ආණ්ඩුකාර නිල නිවස වන ත්‍රිකුණාමලයේ ඕල්ඩ් හිල් මාවතේ Eastern house නිවස පවා අබලන් තත්ත්වයක ය. සියලු වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිතව තිබුණි. ඒවා අලුත්වැඩියා කරන්නට ආණ්ඩුකාර ලේකම් ට දන්නවා තිබුණත් ඔහුගේ උත්තරය වූයේ ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති බවකි.

එහෙත් පසුගිය බදාදා වන විට එම Eastern House නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්නට ආණ්ඩුකාර ලේකම්ට මුදල් තිබිණි. එම නිවස වෙනුවෙන් ත්‍රිකුණාමලය අබාන්ස් ප්‍රදර්ශනාගාරයෙන් අලුතින් වායු සමීකරණ යන්ත්‍ර එකක් නොව, පහක්ම ඇනවුම් කර තිබිණැයි වාර්තා විය.

● බුදුන්ට ගල් පෙරළා පාස්ටර් පැනලා

පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු නම් පුද්ගලයෙක් ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් බුදුන්ට බුදු දහමට හා බෞද්ධයන්ට අපහාස කළැයි කියන කතාව පසුගිය සතියේ අපේ සමාජයේ වඩාත්ම කතාබහට ලක් වූ මාතෘකාව විය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ ජාතික සංවිධාන විවිධ දේශපාලනඥයෝ හා පුද්ගලයෝ රැසක් මේ පිළිබඳව දිගින් දිගටම පාන්නට වූ විරෝධතාවය හේතුවෙන් ජනාධිපතිවරයා අද දැඩි පියවරක් කල්පනා කළේය. ඔහු පසුගිය සතියේ මේ කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට අදාළ නීති අංශවලට උපදෙස් දෙනු ලැබීය.

ඊට අමතරව මේ රටේ මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට මහා නායක හිමිවරු මුණගැසෙන්නට ගොස් සිටියහ. කිසිදු හේතුවක් නොමැතිව බෞද්ධයන්ට හා බුදුන්ට අපහාස වන අයුරින් මෙවන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධයෝ බහුතරයක් දෙනා බැලුවේ උපේක්ෂාවෙනි. ඒ වූ කලී බෞද්ධ දර්ශනයෙන් ම ලද හික්මීම නිසා බව සැකයක් නැත.

තත්ත්වය එසේ වුවත් එවන් හිංසාකාරී ප්‍රකාශයක් නිකුත් කළා යැයි කියන පාස්ටර්වරයාගේ අයිතිය වෙනුවෙන් කතා කරන පිරිසක් ද සිටියහ. මේ පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ ආගමික නිදහස ගැන විවිධ මත පළ කරමින් අදාළ පාස්ටර්වරයා වෙනුවෙන් ඉදිරිපත් වන ආකාරය අපට දැකගත හැකි විය.

ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙකී පාස්ටර්වරයා අත්අඩංගුවට ගන්නට පොලීසිය සැරසෙන විට පාස්ටර් ජෙරොම් දේව බලයෙන් නොව, නීත්‍යානුකූල ගුවන් මාර්ග ඔස්සේ මැලේසියාව දක්වා පිටත්ව ගිය බව දැනගන්නට ලැබීම විශේෂත්වයක් විය.

● ශ්‍රීලනිප ලේකම් පුටුව රංජිත්ට හෝ දුමින්දට

පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා දුමින්ද දිසානායක අතර ගැටුමයි.

මේ දෙදෙනා අතර කලක පටන් පොඩි පොඩි ආරවුල් තිබුණත් පසුගියදා මේ මේ ආරවුල කරළියට ආවේ මහනුවර පැවති මැයි පෙළපාලියේ ගම්පොල සංවිධායකවරයා රැගෙන හා එක්තරා බැනරයක් නිසා ය. බැනරයේ එක් කෙළවරක දයාසිරිගේ පින්තූරයත් අනෙක් කෙළවරේ දුමින්දගේ පින්තූරයත් ලොකුවට දක්නට ලැබුණි.

මේ නිසා කලබලයට පත් දයාසිරි එම ගම්පොල සංවිධායකවරයාට දැඩි කෝපයෙන් යුතුව බැණ වැදී තිබුණි. දුමින්දගේ පින්තූරය ගහනවා නම් තමන්ගේ පින්තූරය අයින් කරන්න තිබුණා යැයි කියමින් දයාසිරි ඔහුට බැණ වැදී ඇති ආකාරය දනවන හඬපටයක් ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. යම් යම් මාධ්‍ය ආයතනවලින් ද මේ පිළිබඳ පසුගිය දිනෙක පුවත් පළ විය.

මේ සිද්ධිය නිසා කෝපයට පත් දුමින්ද පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවනු ලැබීය. එම ලිපියේ තිබුණේ දයාසිරි ජයසේකර පුද්ගලික කෝන්තර පිරිමහ ගනිමින් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ඇති කරන බවට ගොනු කරන ලද කරුණු රාශියකි. මේ හේතු නිසා සාමූහිකව එකට වැඩ කිරීමට බැරි නම් මහලේකම් ධුරයෙන් දයාසිරි ඉවත් කර වෙනත් සුදුසු පුද්ගලයෙක් ඒ සඳහා පත් කරන්නැයි කියා යෝජනාවක්ද දුමින්දගේ ලිපිය තුළ විය. මේ ලිපිය එක් පැත්තකින් පක්ෂ නායකයා ට යැව්වත් අනිත් පැත්තෙන් මාධ්‍යවලට ද විවෘත වී තිබිණි. ලිපිය පිළිබඳ තොරතුරු හා කරුණු මාධ්‍යවල ද පළ විය.

මෙමඟින් කලබලයට පත් දයාසිරි දුමින්දට එරෙහිව පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කරුණු කියන්නට පටන් ගත්තේය. ඒ සඳහා සහභාගී වන්නැයි තවත් ආසන සංවිධායකවරු කීපදෙනකුට දයාසිරි ආරාධනා කර තිබුණත් ඔවුන්ගේ එකඟතාවයක් නොවූයෙන් මාධ්‍ය සාකච්ඡාව තනිව පවත්වන්නට දයාසිරිට සිදුවිය.

එයින් නොනැවතුණු දයාසිරි දුමින්දගේ ක්‍රියාකලාපය ගැන පක්ෂ නායකයාට ලියුමක් ලියා යැව්වේය. පසුගිය සතියේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට මේ ගැටුම් විසඳනවාට වඩා වැඩි වැඩක් නොවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් මේ අයුරින් උත්සන්න වනු දුටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ කීපදෙනෙක් පසුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන හමුවන්නට ගියහ. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ඇතුළු මේ කණ්ඩායම පක්ෂයට අත්ව තිබෙන අලුත් ඉරණම ගැන නායකයා හා බොහෝ වෙලා සාකච්ඡා කළහ. වහාම පක්ෂය ප්‍රතිසංවිධානය කොට ලක් කළ යුතු බව ඔවුන්ගේ අදහස විය…

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට නායකයාගෙන් මේ කණ්ඩායමට විවෘත ආරාධනයක් ලැබුණි. මෙතෙක් දිනක් පක්ෂෙ නිලතලවලින් ඉවත් කර සිටින සියලුම දෙනාට යළිත් පක්ෂයේ නිලතල බාරගන්නට ආරාධනයක් කළේ යැයි වාර්තා විය.

එපමණක්ද නොවේ. නුදුරු දිනකම පක්ෂයේ නිලතල සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවට නායකයා වූ පොරොන්දුවක් ගැන ද මාධ්‍යවලට තොරතුරු හෙළි විය. ඒ අනුව නුදුරේදීම පක්ෂයේ මහ ලේකම් පදවිය සුදුසු කෙනෙකුට පවරා දීමට තමන් ක්‍රියා කරන බව නායකයා කීවේ යැයි පවසන සාකච්ඡාවට සම්බන්ධ වූ දේශපාලනඥයෝ කියන්නේ එම මහ ලේකම් පදවිය නැවතත් දුමින්දට හෝ රංජිත් සියඹලාපිටිය ට ලැබීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි කියාය.

● දිනේෂ්ගේ අගමැතිකම මහින්දට ලැබෙයිද

මේ කතාවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ වත්මන් ආණ්ඩුවට පක්ෂපාත පිරිස නම් නොවන බව බැලූ බැල්මට පැහැදිලි විය. මහින්දට නැවතත් අගමැතිකම දෙන්නට පුටුවේ සැලැස්මක් ඇතැයි කියා කතාවක් දේශපාලන කරළියේ තිබුණු බව සැබෑය. සමාජ මාධ්‍යවලින් යම් යම් පිරිස් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කරන නිසා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මේ ගැන විවෘතව මතයක් පළ කළේය. එසේ තීන්දුවක් කවරෙක්වත් ගෙන නැතැයි කී ඔහු පෙන්වා දුන්නේ දිනේෂ් ගුණවර්ධනවන් කෘතහස්ත දේශපාලනඥයෙක් අගමැති තනතුරේ සිටිනතුරු එවන් අවශ්‍යතාවයක් ද මතු වන්නේ ද නැති බවකි.

කතාවට ඒ කුමක් කීවත් පොදුජන පෙරමුණේ ම දේශපාලනඥයෝ පිරිසක් මේ ගැන නිතර කතා කරන්නට වූහ. ඔවුන්ගේ මතය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින මේ රජයේ වැඩි බලය හිමි වන්නේ පොහොට්ටුවට බැවින් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නම් එය පොහොට්ටුවේ කටයුත්තක් විනා නම් අන් කවරෙකුගේවත් කැමැත්තක් නො වන බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂව අගමැති කරන්නට පොහොට්ටුවේ පිරිසක් උත්සාහ කරනවා යැයි කියන කතාව දේශපාලන කරළියේ බැහැර කිරීම කාටවත් පහසු කාරණාවක් වූයේ නැත. බොහෝ දෙනා කලබල වූයේ මේ නිසා ආණ්ඩු පක්ෂය අභ්‍යන්තරයේ ඇති විය හැකි විරසකය සම්බන්ධවයි.

මේ ගැන කතා කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පරිවාර පක්ෂවල නියෝජිතයෝ කීපදෙනෙක් පැමිණියහ. එහිදී ඔවුන්ගේ මතය වූයේ මහින්ද රාජපක්ෂ දේශපාලනය තුළ නායකත්වයක් භාරගන්නට සූදානමක් ඇත්නම් ඊට අභියෝගයක් කරන්නට කිසිවෙකුටත් නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වන්නට ද කල්පනා කළ පරිවාර පක්ෂ එකමුතුව ඒ කටයුත්ත ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණට බාර කළේය.

ඒ පුවත්පත් සාකච්ඡාව පසුගිය සතියේ පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී මාධ්‍ය අමතා සුගත් කතා කළේය. අරගලයෙන් පසුව ජනාධිපතිවරයා විසින් මේ රට භාර ගෙන වසරක් ඇතුළත මේ තරම් ප්‍රගතියට ගෙන ආවේ ආණ්ඩුවේ සිටින බලවත් නායකයින් තුන්දෙනෙකුගේ කැපවීම හා ක්‍රියාකාරීත්වය නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී ජාත්‍යන්තරය දිනා ගත් නායකයා වන රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමත් භූ දේශපාලනය තුළ අද සිටින බලවත්ම නායකයා වන මහින්ද රාජපක්ෂගේ පරිණතභාවයත් ව්‍යාපෘති කළමනාකරණය හා අර්බුද කළමනාකරණය පිළිබඳ අසමසම නායකයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමත් මහපොළොව තුළ යථාර්ථයක් ද තිබෙන බව පැහැදිලි යැයි ඔහු කීවේය. මේ ත්‍රිමූර්තියේ සහජීවනය හා කැපවීමෙන් තොරව තවදුරටත් මේ ගමන ඉදිරියට යා නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. එබැවින් ඉදිරියේදී පවතින ජනාධිපතිවරණයක් වේවා, මහ මැතිවරණයක් වේවා, පළාත් පාලන ඡන්ද වේවා මේ සියල්ලක්ම කළ යුත්තේ මේ එකමුතුව තුළ විනා වෙන් වෙන්ව නොවන බව සුගත් පෙන්වා දුන්නේය.

පසුගිය සතියේ ජනාධිපතිවරණයක් ගැන සමාජය කතාබහ කරන්නට පටන් ගත්තේ ය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවා මේ ජනාධිපතිවරණයේ වැදගත්කම ගැන කියමින් ඔහු ඕනෑම මොහොතක ඒ සඳහා සූදානම් බවද විවෘතව සඳහන් කළේය. ජනාධිපතිවරණයක් ඉදිරියට ගැනීමට යෝජනාවක් එන්නේ නම් ඒ සඳහා තමන් ද තම පක්ෂය ද සහයෝගය දෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් දේශපාලනඥයන් අතර ලොකු කතිකාවක් ඇති විය. බොහෝ විට මෙම වසර අගදී ජනාධිපතිවරණය පවත්වන්නට ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කළේය. එම ජනාධිපතිවරණය ලබන වසරේ පෙබරවාරියේ දී හෝ මාර්තුවේ දී පැවැත්වෙනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කළේ ඒ අනුවය.

● සුමන්දිරන්ගේ අදහසට දිනේෂ්ගෙන් තර්කයක්

පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සහ අගමැති සහභාගී වූ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකිව බොහෝ කාලයක් ගතවීම හේතුවෙන් මතුව ඇති ගැටලු සහ ඒවාට විසඳුම් සාකච්ඡා කිරීමටය. එහිදී දෙමළ ජාතික සන්ධානය දිගට ම ඉල්ලා සිටියේ පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බවය.

“පළාත් සභා පිහිටෙව්ව අරමුණ ඉටුවෙන්නේ නෑ, ඒ නිසා ඒ ඡන්දේ ඉක්මනට පවත්වන්න ඕනේ.”

ටී එන් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියද්දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නයක් නැගීය.

“හරි දැන් ඔය පළාත් සභා මැතිවරණය තියන්න කියන්නේ, අලුතින් අපි හදපු මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේද, නැත්නම් පරණ සමානුපාතික ක්‍රමය යටතේද?”

“කේවල, සමානුපාතික දෙකම එකතු වෙච්ච මිශ්‍ර ක්‍රමයනේ අපි එදා පාර්ලිමේන්තුවේදී අනුමත කළේ.”

වෙනත් පක්ෂ නියෝජිතයකු පවසද්දී ටී එන් ඒ නියෝජිතයෝ නිහඬව සිටියහ.

යළිත් දිනේෂ් හඬ අවදි කළේය.

“හරි, මම අහන්නේ හැමෝම එකඟයිනේ ඒකට.”

එවිට සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට එකඟතාව පළ කළේය.

“එදා පළාත් සභා සඳහා මිශ්‍ර ක්‍රමය ඇතුළත් නව ක්‍රමය පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ ටී එන් ඒ මන්ත්‍රීවරුත් ඡන්දය දීලනේ ඒක සම්මත කරගත්තේ.”

අගමැති දිනේෂ් තවදුරටත් එම කරුණ පැහැදිලි කරගැනීමට පැරණි සිදුවීම සිහිපත් කළේය.

“මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කතා කරලා තීරණයකට එමු, ඒක අගමැතිතුමා කරයි” ජනපති, දිනේෂ් දෙසට හැරෙමින් කීවේය.

“හරි එහෙම හොඳයි, දැන් හැමෝම එකඟයිනේ මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය තියනවට” දිනේෂ් එසේ කියමින් රැස්ව සිටි පක්ෂ නියෝජිතයන් දෙස බැලීය. කිසිවකු විරෝධය පළ කළේ නැත. ඒ අනුව පළාත් සභා ඡන්දය පවත්වන විට මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේ එය පවත්වන්නේ කෙසේද සහ පාර්ලිමේන්තුවේ එය හිරවී ඇති නීතිමය තත්ත්වය විසඳා ගැනීම පිළිබඳ, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, අගමැති දිනේෂ් විසින් ඉදිරියේදී කැඳවනු ඇත.

පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අතිබහුතරයකින් සංශෝධන සහිතව සම්මත වූයේ 2017 සැප්තැම්බර් 20 වැනි දාය. මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159ක් ද විපක්ෂව ඡන්ද 34 ලැබුණ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

● රණවිරු ස්මාරකය තියෙන හොඳම තැන

ඊළාම් යුද්ධය නිමවී වසර දාහතරක් පිරීගිය 18 වැනි බ්‍රහස්පතින්දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විවේකයක් නොවීය. ඒ ඔහුව හමු වන්නට ආ දේශපාලනඥයින් හා හමුදා නායකයන් නිසාය. උදේ පටන් හවස් වන තුරුම වැලනොකැඩී දේශපාලනඥයෝ හා විවිධ හමුදා නිලධාරීන් පැමිණ හිටපු ජනාධිපතිවරයාට සුබ පතා යන්නට අමතක නොකළහ.

මේ අතර විමලවීර දිසානායක ඇතුළු දේශපාලනඥයින් පිරිසක් පැමිණ සිටියහ.

“අද මේ රටේ සමාජ මාධ්‍යවල වැජඹෙන අවුරුදු දාහතේ 18 කොල්ලො කෙල්ලො මීට අවුරුදු 14 කට කලින් අපේ රට මූණ දීපු භයානක යුද්ධය ගැන දන්නේ නෑ. එක පවුලේ අයට පාරට බැහැලා එක බස් එකේ යන්න බැරි තත්ත්වයක් එදා තිබුණා. ඔව්වා නැති කරන්න මුල් වූ නායකයා කවුද කියලා දන්නේ නැති නිසයි සමහර එවුන් ෆේස්බුක් එකේ සර්ට අපහාස කරන්නේ…”

“ඕව මොනාද විමලේ… මේ රටේ පොඩි ළමයි ගැන නෙවෙයි. ලොකු මිනිස්සු ගැන හිතන්නකෝ. කොච්චර ටික කාලයක් ද උන්ට මතක තියෙන්නේ. මේ රටේ හිටපු එව්වො අනගාරික ධර්මපාලතුමාට කරපු අපරාදේ දන්නවනේ. ඉතින් අපි වගේ මිනිස්සු ගැන කවර කතාද…”

“එහෙම කියලා බෑ සර්… අපි මුන්ට ඉතිහාසය මතක් කරලා දෙන්න ඕන…” විමලවීරගේ කතාවත් සමග ඔය සංවාදය තරමක් දුර දිග ගියේය.

ඒ අතර පාර්ලිමේන්තුව අභියස රණවිරු ස්මාරකය ඉදිරියේ විජයග්‍රහණය සමරන්නට ලොකු උත්සවයක් ද ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබිණි.

19 සිකුරාදා උදේ රණවිරු ස්මාරකය අභියස උත්සව භූමිය දැකබලාගෙන පාර්ලිමේන්තුව ද දැකබලා ගන්නට පාසල් ළමුන් පැමිණ සිටියහ. පාසල් ළමුන් පාර්ලිමේන්තුවට පැමිණ එහි ඇති වැදගත් තැන් නරඹමින් අධ්‍යයන කටයුතු කරමින් සිටින අතර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සමග කතාබස් කරන්නට ද අවස්ථාවක් උදාවිය.

උසස් පෙළ ළමුන් පිරිසක් විවිධ ප්‍රශ්න ඇසීය. සමහරුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව අභියස ම රණවිරු ස්මාරකයක් පවත්වාගෙන යෑම ගැනය. ඒ ගැන නියෝජ්‍ය කථානායකවරයා හොඳ පැහැදිලි කිරීමක් කළේය.

“පාර්ලිමේන්තුව අසලම රණවිරු ස්මාරකය තිබීම මම නම් හිතන්නේ ඉතාම සුදුසුයි. ඒ මොකද ඒගොල්ලෝ නිසා තමයි මේ පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා වුණේ. ඒගොල්ලො එදා ඒ යුද්ධය නොකර තිබුණු විදියට රට තියෙන්න ඇරියා නම් මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ…”

“ඒ මොකද සර් එහෙම කියන්නේ… එසේ ඇසුවේ එතන සිටි ගුරුවරියකි.

“ඒ කියන්නේ අපේ රණවිරුවො ජීවිත පූජා කරලා මේ යුද්ධය ජයගත්තෙ නැත්තං මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ… ඉස්සර එහේ ඊළාම් අධිකරණ තිබුණා, ඊළාම් බැංකුව තිබුණා, ඊළාම් මුදල් තිබුණා. එහේ තිබුණේ වෙනම ඊළාම් ආණ්ඩුවක්. ඒගොල්ලන්ට මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ. පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා ව්‍යවස්ථාවට ඇතුළත් කරන නීතිරීති ඒ ගොල්ලො පිළිගත්තෙ නෑ. අණපනත් ඒ ගොල්ලො පිළිගත්තෙ නෑ. අන්න ඒ ඊළාම් රාජ්‍යය බිඳලා අපේ මේ පාර්ලිමේන්තුවට වැදගත්කම පිළිගැනීමක් දුන්න ඒක තමයි රණවිරුවෝ කළේ. ඒක තමයි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනා දුන්නා කියන්නේ.

ඉතින් ඒ ක්‍රමය දිනා දීපු, ඒකේ ජයග්‍රහණය රටට අරන් දීපු රණවිරුවන්ගේ ස්මාරකය පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන එක ගැන ප්‍රශ්නයක් නෑ. ඔය ස්මාරකය ඔතන හදන එක ගැන සමහර පක්ෂ විරුද්ධ වුණා. මම නම් හිතන්නේ නියම තැන තමයි ස්මාරකය තියෙන්නේ. රණවිරුවෝ නැත්නම් මේ පාර්ලිමේන්තුව ආරක්ෂා වෙන්නේ නෑ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි…”

අජිත් රාජපක්ෂ එසේ කීවේ මෑතකදී පාර්ලිමේන්තුව වට කර බිමට සමතලා කරන්නට අරගලකරුවන් ගැනද යම් ඉඟියක් කරමින් බව පැහැදිලි විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment