බංගලියන්ගේ නින්දිත ඉල්ලීම

1112

මහත්මා ක්‍රීඩාවේ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රදර්ශනය කළ පහත් හැසිරීම මත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවාසනාවන්තම දැවී යෑමට ගොදුරුවීමට ඉන්දියාවේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස් ට ඊයේ (06 දා ) සිදු වූයේය.

සධීර සමරවික්‍රම දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙස පිටියට පැමිණි මැතිව්ස් පිටිය මැද සිටි චරිත් අසලංක සමග මඳ වේලාවක් කතාකර පන්දුවට පහරදීම සඳහා සිය අන්තයට ගොස් සූදානම් වීමේදී ඔහූගේ හෙල්මටයේ පටිය ගැලවී තිබෙන අයුරු නිරීක්ෂණය වේ.

එහිදී ඔහු වෙනත් හෙල්මටයක් රැගෙන එන ලෙස ක්‍රීඩාගාරයට සංඥා නිකුත් කළ අතර අතිරේක ක්‍රීඩක චාමික කරුණාරත්න හෙල්මටයක් රැගෙන එන අතරතුර බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් මැතිව්ස් සම්බන්ධයෙන් විමසීමක් විනිසුරු මරෙයිස් එරස්මස්ගෙන් විමසා සිටියේය.

ඊට හේතුව වූයේ මැතිව්ස් ඒ වනවිටත් නවක පිතිකරුවකු ලෙස පිටියට පැමිණි පසු තරගයේ එක පන්දුවක්වත් ක්‍රියාත්මක නොවී තිබියදී මඳ වේලාවක් කල් ගෙන තිබීමයි.

එනම් සධීරගේ දැවී යෑමෙන් පසුව කිසිදු පන්දුවක් ක්‍රියාත්මක නොවී තිබියදී මැතිව්ස් විනාඩි 5 ක් යනතුරුත් පන්දුවට පහර දී නොතිබිණි.

පන්දු යවමින් සිටි නායක ශකීබ් සහ ලිටන් දාස් ඒ අනුව මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයකු දැයි යළිත් විනිසුරුගෙන් විමසූ අතර එහිදී විනිසුරුවෝ ඔහු දැවි ගිය පිතිකරුවකු ලෙස නම්කළහ.

එහිදී විශ්මයට පත්වූ මැතිව්ස් විනිසුරුවන්ගෙන් ඒ පිළිබඳව විමසූ අතර ඔවුන් පැවසූවේ ප්‍රතිවාදී කණ්ඩායම කැමති නම් තීරණය ආපසු හැරවිය හැකි බවයි. එමෙන්ම ඉල්ලීම කළේ ද ඔවුන් බවයි.

ඒ අනුව මැතිව්ස් බංග්ලාදේශ නායක ශකීබ්ගෙන් එම තීරණය ආපසු හැරවීමට කැමැති දැයි පිළිබඳව විමසා සිටි අතර ඔවූහු මැතිව්ස්ගේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කළහ.

ඒ අනුව මැතිව්ස්ගේ දැවී යෑම ක්‍රියාත්මක වූ අතර කිසිදු පන්දුවකට මුහුණ නොදී පිටියෙන් ඉවත්ව යෑමට මැතිව්ස් ට සිදු වූයේය.

වසර 146 ක ක්‍රිකට් ඉතිහාසයේ එවැනි අවාසනාවන්ත දැවී යෑමකට ගොදුරු වූ පළමු ක්‍රීඩකයා ලෙස මැතිව්ස් ට පිටියෙන් ඉවත් වන්නට සිදුවීම පිළිබඳව තරගය නැරඹීමට පැමිණ සිටි සමස්ත ප්‍රේක්ෂකයන්ගේ කුතුහලයට ලක්ව තිබුණි.

අනතුරුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග ද ඒ පිළිබඳව සාකච්ඡා කළේ ඉන් අනතුරුව වුවද ප්‍රතිවාදී කණ්ඩායමේ එකඟත්වය තිබේ නම් යළි පන්දුවට පහරදීම සඳහා මැතිව්ස් පිටියට කැඳවීමට හැකියාව ක්‍රිකට් නීති පොතේ තිබූ නිසාවෙනි.

එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් වූ අතර ක්‍රිකට් නීති අනුව මැතිව්ස් විනාඩි 2 ක් ඇතුළත පන්දුවට පහර නොදී සිටීමේ වරද මත දැවී ගිය ද බංග්ලාදේශය ප්‍රදර්ශනය කළ පහත් හැසිරීම අරුන් ජෙට්ලි පිටියේ තරග ඉතිහාසයට එක්වුණි.
කුෂාන් සුබසිංහ දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment