ක්‍රිකට් කතාව – අපට කෙළවුණේ ඇයි (1)

1121

පිත්තකින් බෝලයකට ගැසීම ක්‍රීඩාවකි. පිත්ත බෝලයේ වැදුණු විට පිත්ත අතේ ඇති එකාට මහත් වූ ආතල් සහගත හැඟීමක් එයි. පිත්ත බෝලයෙහි වදින විට එතැන ලකුණක් උපදින්නේ නම් එය තරගයකි. ක්‍රිස්තු වර්ෂ 912 දී පමණ ප්‍රංශ සහ ස්කැන්ඩිනේවියානු සම්භයක් සහිත නෝමන්වරුන් නමැති ජනකොට්ඨාසයක් එංගලන්තයට සංක්‍රමණය වූහ. මේ අතර ක්‍රිස්තු වර්ෂ 500 දී පමණ ජර්මන් සම්භවයක් ඇති ජනකොට්ඨාසයක් වූ සැක්සන් වරුද එංගලන්තයේ පදිංචිය පිණිස පැමිණ සිටියහ. පසුකාලයේදී බි්‍රතාන්‍ය ජාතිය බිහිවන්නේ නෝමන්වරුන් සහ සැක්සන්වරුන් අතර අවාහ විවාහ ඇතිවීමෙනි. දෙගොල්ලෝ පදිංචිව සිටියේ ගිනිකොණ දිග එංගලන්තයේය. එකට ගොවිතැන් කර එකට ගුටි කෙළගත් ඔවුහු එකට සෙල්ලම්ද කළහ. ක්‍රිකට් ක්‍රීඩාව බිහිවන්නේ බෝලයකට ලෑල්ලකින් පහරදීමේ ප්‍රීතිය භුක්ති විඳීමට පුරුදු වූ නෝමන් ළමයින් සහ සැක්සන් ළමයින් වෙතිනි. පසුව ක්‍රිකට් යන නම ලැබූ මේ ක්‍රීඩාව 1611 දී වැඩිහිටියන්ගේ සෙල්ලමක් බවට පත්වෙයි. 17 වන සියවස මැදවන විට එංගලන්තයේ කෝරල හෙවත් වසම් අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙයි. 1744 දී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නීති මාලවක් සාදනු ලැබේ. බි්‍රතාන්‍ය යටත් විජිතවාදය එංගලන්තයෙන් නැව් නගින්නේ ක්‍රිකට් ක්‍රීඩාවද සමගය. අද වනවිට ෆුට්බෝල් ක්‍රීඩාවෙන් පසු ලොව දෙවන විශාලතම වාණිජ්‍ය වටිනාකමක් ඇති ක්‍රීඩාව බවට ක්‍රිකට් පත්ව තිබේ. එසේම සල්ලි සෙවීම සඳහා මේ ක්‍රීඩාවට පැමිණි ක්‍රීඩකයන්ද ක්‍රීඩා පරිපාලකයන්ද නිසා ක්‍රිකට් අලවී තිබේ. කලක් ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල ය. ජනප්‍රිය සහ දක්ෂයන්ගෙන් පිරුණු මේ පිලේ සිටි ක්‍රීඩකයෝ අන්තිමේදී බැට් එකෙන් බෝලයට ගසනවා වෙනුවට සල්ලි මලුවලට ගසන්නට පුරුදු වූහ. අහසින් එන බෝලය සල්ලි මල්ලක් ලෙස දුටු ඔවුහු එම catch එක සඳහා ඕනෑවට වඩා උඩ පැන්නාහ. අන්තිමට කිසිකෙනකුට පාලනය කරගැනීමට බැරිවූ බටහිර ඉන්දීය කොදෙව් පිල මකබෑවී නන්නත්තාර වී ගියේය. එම පිලේ ක්‍රිකට් ඛේදවාචකය ලංකාව අද මුහුණදී සිටින ක්‍රිකට් ඛේදවාචකයේ හරස්කඩක් හා සමානය. මෙරට ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු රෝගියකුට සැත්කමක් කිරීම සඳහා වෛද්‍ය ගාස්තු වශයෙන් රුපියල් කෝටියක් අතට ඉල්ලන ලද බව පසුගියදා අපට දැනගන්නට ලැබිණ. ස්නායු දොස්තර එසේ කළේ එම මුදල රෝහල හරහා ආවොත් බදු ගෙවීමට සිදුවන බැවිනි. පසුගිය අවුරුදු 20 ක පමණ කාලය තුළ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩිදෙනා ස්නායු දොස්තරගේ පාට් එක ඇක්ට් කළ බව දැනගැනීමට තිබේ. බිම වැටුණු බෝලය ඇහිඳගන්නට දෙකට නැමීම සඳහා ඔවුන් කම්මැලි බව පෙනුනද අශූචි ගොඩේ තිබෙන සත පහ දිවෙන් ගැනීම සඳහා ඔවුන් නොපැකිලෙන බව පෙනෙන්නට තිබිණ. මෑත කාලයේදී මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන ලද්දේ ඉන්දියාවේ බුකිකාරයන් යැයි කියමනක් තිබේ. ඉන්දියන් ක්‍රිකට් බුකිය පාලනය කළේ එංගලන්තයේ ක්‍රිකට් බුකිය විසිනි. එහෙත් අද වන විට ඉන්දියන් ක්‍රිකට් බුකියට එංගලන්ත ක්‍රිකට් බුකියද නතුවී ඇත.

මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ල්ඩ් කප් ජයග්‍රහණය දක්වා පොලිෂ් කිරීමට පාර්ශ්ව කිහිපයක් මැදිහත් විය. මුලින්ම මේ රටේ සුදු ජාතික වතු අයිතිකාර ප්‍රජාව ස්වකීය ආත්ම ලාභය උදෙසා ක්‍රිකට් පොලිෂ් කළහ. ඊළඟට රවි සතාසිවම් ගේ සිට අනුර තෙන්නකෝන් දක්වා වූ පිරිසක් නැවතත් ක්‍රිකට් පොලිෂ් කළේය. 1977 දී ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගාමිණි දිසානායක විසින් ක්‍රිකට් ක්‍රීඩාව කොපමණ පොලිෂ් කළේද යත් එය ජාත්‍යන්තර තලයටම ගියේය. අර්ජුන රණතුංග මෙරට ක්‍රිකට් කැප්ටන්කම කරද්දී ලංකාව world cup එක දිණුවේය. එයින් ස්වල්ප කලකට පසු හඳ බලා යමින් තිබූ අපේ ක්‍රිකට් රොකට් එකේ Trajectory ය හෙවත් ගමන් මාර්ගය වෙනස් වූ අතර එය නැවත පොළොව බලා ගමන් කරන්නට විය. ක්‍රිකට් පාලනය බෙහෙවින් දූෂණය වූ අතර බැට් කිරීමත් බෝල් කිරීමත් යන දෙකම ඉන්දියන් බුකියට භාර විය. ලංකාව අවසන් ක්‍රිකට් පරාජය වාර්තා කරන තුරුත් අපේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රධානියා වූයේ ශම්මි සිල්වා ය. ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවත් ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හැරිය යුතු බවත් පොදුජන මතයක් ලෙස පැතිර යන්නට පටන් ගත්තේය. මේ අතර තම කාලයේදී මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වූ බවත් තමා කිසි ලෙසකින්වත් ක්‍රිකට් බෝඩ් එකෙන් අස්වන්නේ නැති බවත් ශම්මි සිල්වා කීවේය. එසේ කියා පැය 48 ක් ගතවීමට පෙර ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ෂම්මිගේ බෙල්ලෙන් අල්ලා පෙරේතයා පොළොවේ ගැසුවාක් මෙන් පොළවේ ගසා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු අතුරු කමිටුවක් පත්කළේය. මේ සිද්ධියත් සමගම ෂම්මි සිල්වාත් ක්‍රිකට් බෝඩ් එකේ සිටි ජයන්ත ධර්මදාස ඇතුළු හයදෙනකුගේ කල්ලියත් චොර වී, කුජීත වී, පජාත වී ගියහ. ෂම්මි සිල්වා හැමවිටකම කීවේ ක්‍රිකට් බෝඩ් එක පුද්ගලික අංශයට අයත් ඒකකයක් මිස රජයට අයත් ඒකකයක් නොවන බවය. එහෙත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් ශම්මිගේ බෙල්ලෙන් අල්ලා පොළවේ ගැසීමෙන් පසු රටක ආණ්ඩුවකට කරන්නට බැරි දෙයක් නොමැති බව පෙනී යයි. ක්‍රිකට් ගසා විශ්‍රාම ගිය පසු අර්ජුන රණතුංගට කිසිම ආණ්ඩුවක් ක්‍රිකට් ක්‍රීඩාවේ තැනක් දුන්නේ නැත. එහෙත් ක්‍රිකට් බෝඩ් එකේ දැනට සිටින හෝතඹුවන් රැළ එලවා දමා අර්ජුනට එම බෝඩ් එක භාරදෙන ලෙස පසුගිය ‘ඉරිදා දිවයින’ද සිය කතුවැකියෙන් යෝජනා කළේය.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම හා බැසීම ඉතා වටිනා Case Study එකකි. මේවාට සිංහලෙන් කියන්නේ සිද්ධි අධ්‍යයන කියාය. කිසිදු පහසුකමක් නැතුව ක්‍රිකට් තරග ජයගන්නේ කෙසේද යන කාරණයට ඇති හොඳම සිද්ධි අධ්‍යයන නිදසුන වන්නේ ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායමය. ඒ පිළිබඳ හෙට මේ තීරුව ඔස්සේ සාකච්ඡා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment