ගම්පහ STF

893

පසුගිය දිනක ගම්පහ ප්‍රධාන පාසලක සිදුවූ සිද්ධියක් ගැන සාකච්ඡා කිරීම පිණිස අද මේ තීරුව වෙන්කරනු ලැබේ. මේ පාසලේ කැඩෙට් කණ්ඩායම පසුගියදා විදුහල් භූමිය තුළ පෙරෙට්ටුවක් පැවැත්වූහ. එහිදී ඔවුන් ඇඳ සිටියේ විශේෂ කාර්ය බළකායට අයත් නිල ඇඳුමය. එසේම ඔවුන් අතේ සැබෑ T 56 වර්ගයේ ගිනි අවි තිබිණ. පාසලක කැඩෙට් කණ්ඩායමක් සමන්විත වන්නේ ශිෂ්‍යයන්ගෙනි. කැඩෙට් කණ්ඩායමේ තබා මොන කණ්ඩායමේ සිටියත් ඔවුන් සලකනු ලබන්නේ බාල වයස්කාර දරුවන් ලෙසය. මේ බාලවයස්කාර දරුවන් එස් ටී එෆ් එකේ original නිල ඇඳුම ඇඳ original T 56 තුවක්කු රැගෙන පෙනී සිටින විට අභව්‍ය තත්ත්වයක් හටගනී. මෙය සමාන වන්නේ ව්‍යාජ එල්ලුම් ගසක් ඉදිකර මිනිස් ඩමියක් යොදා එල්ලුම් ගස ක්‍රියාත්මක කරනවා වෙනුවට සැබෑ එල්ලුම් ගසක් ඉදිකර සැබෑ මිනිසකු යොදා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර පෙන්වීමටය. පාසලක කැඩෙට් පෙරෙට්ටුවක් සඳහා එස් ටී එෆ්, පොලිස්, ආමි, නේවි, එයාර් ෆෝර්ස් යන ආරක්ෂක අංශවල ඔරිජිනල් ඇඳුම් යොදාගැනීම ඉතාම භයානක වරදක් මෙන්ම ඉතාම වැරදි ආදර්ශයකි. මේ නිල ඇඳුම් ඇන්දවූ ළමයින් අතට සැබෑ T 56 තුවක්කු ලබාදීමෙන් එම තත්ත්වය ඩබල් වී තිබේ. සාමාන්‍යයෙන් T 56 තුවක්කුවක් ලබාදෙන්නේ පූර්ණ සංග්‍රාමික පුහුණුවක් ලත් කෙනකුට පමණි. එසේ නොවන කැඩෙට් ශිෂ්‍යයන් සඳහා වායු තුවක්කු හෝ සැර අඩු අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් නිර්දේශ කරනු ලැබ ඇත. ගම්පහ පාසලේ කැඩෙට් ශිෂ්‍යයන් සඳහා නිල ඇඳුමට අවශ්‍ය රෙදි ලබාගෙන ඇත්තේ අනුරාධපුරේ රෙදි කඩයක් වෙතිනි. ඔහු දැනට කූඩුවට යවා ඇත. ශිෂ්‍ය භටයින් එම නිල ඇඳුම් ඇඳගෙන T 56 ද අත දරාගෙන ටික් ටොක් කර ඇත. ටික් ටොක් යන යෙදවුම සහ අනෙක් සමාජ මාධ්‍ය සමාජ වසංගතයක් සේ හඳුන්වනු ලැබ ඇතත් ගම්පහ පාසලේ සිදුවූ එස් ටී එෆ් සිද්ධිය වැනි මගඩි වැඩ හෙළිකර ගැනීමට හැකි වූයේ පෙරකී යෙදවුම සහ සමාජ මාධ්‍ය නිසාය. මේ නිසා නවීන තාක්ෂණයට අප ස්තුතිවන්ත විය යුත්තෙමු. හොරු ඇල්ලීම සහ අපරාධ හෙළිකර ගැනීමේ කටයුත්තේදී CCTV සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දශකය තුළ කරන ලද සේවය ඉමහත්ය.

දැන ගැනීමට ඇති පරිදි ළමයින් අතට ගිනිඅවි ලබාදී ඇත්තේ නෛතික අවසරය මතය. මෙම අවි සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කර නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ළමයින් අතට පත්කළ බව කියනු ලැබේ. මේ සිද්ධියට අදාළ පාසලේ කැඩෙට් ළමයින් පිළිබඳ ප්‍රශ්නයක් අපට නැත. එහෙත් මෙහි විදුහල්පතිතුමා සහ ළමයින් අතට ගිනිඅවි නීත්‍යානුකූලව ලබාදුන් නිලධාරීන් සම්බන්ධයෙන් අපට ලොකු ප්‍රශ්නයක් තිබේ. ඊළඟ දවසේදී අප මේ පාසලට කාලතුවක්කු හෝ රොකට් වෙඩි ලබාදෙනවාද? ඊටත් අමතරව අවශ්‍යතාව මත RPG නිකුත් කරනවාද? හමුදා නිල ඇඳුම් ඇඳගෙන කඩවල් කොල්ලකන සහ වාහන මංකොල්ලකන පිරිස් ඕනෑතරම් අපි දැක ඇත්තෙමු. පැන ගිය යුද හමුදා සෙබළුන් යොදවා ස්වකීය විරුද්ධවාදීන් මැරීම සඳහා කොන්ත්‍රාත් දෙන කුඩු මුදලාලිලා සහ පාතාල මැරයන් අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. සමාජ මාධ්‍ය සහ රූපවාහිනී මගින් මෙබඳු තොරතුරු නිතරම ප්‍රචාරය කරනු ලැබේ. STF ්‍නිල ඇඳුම මැසීම සඳහා ඒ වර්ගයේම රෙදි අනුරාධපුරේ රෙදි සාප්පුකාරයාට ලැබුණේ කොහෙන්ද? යුද හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් හා සමාන ඇඳුම් ඕනෑතරම් පිටකොටුවේ කඩවල විකිණීමට ඇත. මෙයට කලකට පෙර එවැනි රෙදි හෝ එවැනි ඇඳුම් විකිණීම රජය මගින් තහනම් කරන ලදී. අප දන්නා පරිදි ඒ තහනම අදටත් එසේම පවතී. එහෙත් හමුදා නිල ඇඳුම් මසන රෙදි හා සමාන රෙදි ද ඇඳුම් ද කැප් තොප්පි ද ඕනෑතරම් විකිණීමට තිබේ. රටේ ආරක්ෂාව පිළිබඳ ඒකායන ප්‍රතිපත්තියක් ආණ්ඩුවට තිබිය යුතුය. එය කාලයෙන් කාලයට වෙනස්වීමත් සමගම සිවිල් ජනතාවගේ ජීවිත අවදානම ඉහළ යයි. ගම්පහ පාසලේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලන ලෙස අපි රජයෙන් ඉල්ලමු. ඒ සඳහා පුරුදු පරිදි කොමිසමක් පත් කිරීමට අවශ්‍ය නැත. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය නීති දණ්ඩ නීති සංග්‍රහය තුළ ඕනෑතරම් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment