අම්බලන්ගොඩ ඝාතනවලට අත දුන් සමන් කොල්ලාගේ ගෙදරට වෙඩි පිට වෙඩි 18ක්

330

පුද්ගලයන් සිව්දෙනකු ඝාතනයට ලක් කරමින් ඇල්පිටිය පිටිගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව කියන සමන් කොල්ලා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් අම්බලන්ගොඩ නිවසට ඊයේ (14දා) අලුයම නාඳුනන සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් ඇත.

ටී 56 අවියක් යොදාගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර නිවසේ ඉදිරිපස කොටසට සහ ගේට්ටුවලට වෙඩි උණ්ඩ 18ක් වැදී ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සමන් කොල්ලාගේ මව සහ දරුවන් දෙදෙනා නිවසේ සිට ඇත. ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.

සමන් අජිත් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා මීට වසර කීපයකට උඩදී ඩුබායි රාජ්‍යයට පලාගිය අතර ඔහු එහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල කණ්ඩායමක් මෙහෙයවන බව පොලිසිය පවසයි.

පසුගිය 11 වැනිදා අම්බලන්ගොඩ වෙළෙඳසලක් ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ අතර ඉන් එක් තරුණයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව පොලිසිය පවසයි.

සමන් කොල්ලාට අයත් මත්ද්‍රව්‍ය මෙම තරුණයා විසින් අලෙවි කර ඇත. ධීවර රැකියාවේ යෙදෙන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය අලෙවිකර ඇත්තේ ඔහු විසින්ය.

ලබාගත් මත්ද්‍රව්‍යවලට අදාළ මුදල් නොගෙවීම මත සිදුවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ඊට අමතරව අම්බලන්ගොඩ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් විසින්ම පිටිගල ප්‍රදේශයේ වෙළෙඳසලකට වෙඩි තැබූ අතර එහිදී භාණ්ඩ මිලයට ගැනීමට පැමිණි තරුණයෝ දෙදෙනෙක් ඝාතනයට ලක් වූහ.

ඊයේ අලුයම 3.30ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සමන් කොල්ලාගේ නිවසට මෙසේ වෙඩි තබා ඇති අතර ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් එය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment