මහ බැංකුවට එරෙහිව ගෙවිඳු උසාවි යයි

407

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ 2022 වසර සඳහා ගෙවීමේදී සෙසු සාමාජිකයන්ට සියයට නවයකුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන සාමාජිකයන්ට සියයට 29කුත් ගෙවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ ශවනි රාජකරුණා මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධීපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

සෙසු සාමාජිකයන්ට එකී ප්‍රතිලාභ සියයට 9ක් වැනි අවම ප්‍රමාණයකින් ගෙවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන පිරිසට සියයට 29ක් වැනි විශාල ප්‍රතිශතයකින් ගෙවීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය හා කුමන හේතුවක් නිසා හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12 (1) 12 (2) ව්‍යවස්ථාවන් පමණක් නොව 14 (1) ව්‍යවස්ථාව යටතේ හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම ද ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති ඇතුළු වගඋත්තරකරුවන් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම්කරු අධිකරණයට කියා තිබේ. එබැවින් එලෙස පෙර කී ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ට ලබාදී ඇති අනිසි ප්‍රතිලාභ වන රුපියල් කෝටි ගණනක මුදල වහාම යළි සේවක අර්ථසාධක අරමුදලට බැර කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම්කරු ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment