මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් ඉතිරෙන්න හම්බ කරලා නැති වෙන්න මත් වෙච්ච අවුරුදු 17 කොල්ල කියන අමුතු කතාව

662

මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන්න පටන් ගන්නකොට වයස අවුරුදු පහළොවයි…

බන්ධනාගාරයට විසිට් කරන පරිප්පුව කෑවොත් දවසම මත් වෙලා…

දැන් ඉස්කෝලෙ යන කොල්ලන්ට වඩා කෙල්ලො මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා…

නහයෙන් කටෙන් ලේ ගිහින් ලෙඩ දෙනකොට ජීවිතය ගැන මට බයක් දැනුණා…

මත නිසා වැනසෙන සමාජයේ නොපෙනෙන පැතිකඩ ගැන දුක හිතෙන කතාවක් කන වැකිණි. ඒ කතාව අපට කීවේ පැල්මඩුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන තරුණයෙකි. තවමත් දහහත්වෙනි වියේ පසු වන ඔහු කොළඹ ප්‍රදේශයේ ධනවත් පවුලක බඩපිස්සෙකි. පිටරටක නැවක ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක නිරතව සිටින පියාගේ රැකවරණය අහිමිව මව සමඟ උස් මහත් වූ හේ මතට ඇබ්බැහි වී ඇත්තේ වැඩිමහල් සහෝදරයා මත්ද්‍රව්‍ය භාවිත කරන අයුරු නිතර දැකීමත් සමගය.

කොළඹ පිරිමි පාසලක නවය වසර පන්තියේ ඉගෙනුම ලබන වයසේදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ ඔහු එක දිගට මත්ද්‍රව්‍ය භාවිත කළා පමණක් නොව මත් කුඩු වෙළෙඳාම ද ජයටම කරගෙන ගොස්ය. කඩවසම් සුන්දර පෙනුම ඇස් පනාපිට දිරාපත් වෙමින්, ශරීර කූඩුව ටිකෙන්, ටික ලෙඩ දෙන තත්ත්වයට පත් වන විට මතේ අදීනව තේරුම් ගෙන එයින් මිදීමට කොප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ සරණ පතා පැමිණ ඇත්තේ ද ස්ව කැමැත්තෙනි.

“මම හරිම ලස්සනට හිටියා. වයසට වඩා ලොකු කඩවසම් බවක් තිබුණා. අපේ ඉස්කෝලෙ පහළොවෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු හොඳම පන්දු යවන්නා. ඒ වගේම මම හිතුවෙ, වැඩ කළේ වයස ඉක්මවා ගිහින්. යාළුවොත් එක්ක සෙට් වෙලා සිගරට් බොන්න, ගුලි කන්න පටන් ගත්තෙ නවය වසර පන්තියෙදි. එහෙම පොඩි, පොඩි දේවල් කරගෙන ඉන්නකොට අයියා, යාළුවොත් එක්ක කාමරේ තියාගෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නිතර දැක්කා. අපේ අයියා මත්ද්‍රව්‍ය පාවිච්චි කළා විතරක් නෙමෙයි විකුණනවා කියලත් ආරංචි වුණා. එතකොට අයියට වයස අවුරුදු විසිහතයි. දවසක් අයියා නැති වෙලාවක කාමරයට ගිහින් බලනකොට වීදුරු කෑල්ලකුයි, ලයිටරයයි, ගිනිකූරු කිහිපයකුයි, කඩපු අයිස් පැකට් එකක මත් කුඩු බාගයක් විතර තිබුණා. වීදුරු කෑල්ලට දාලා අයියල පාවිච්චි කරන විදිහට බොන්න ගත්තා. ඒත් මට හරියට බී ගන්න බැරි වුණා. ඔහොම ඉන්නකොට ටියුෂන් පන්තියකදි මට අලුත් යාළුවෙක් සෙට් වුණා. ටික දවසක් යනකොට එයා නිතර අපේ ගෙදර එන්න, යන්න පටන් ගත්තා. ගමේ දන්න, කියන පවුලක ළමයෙක් වෙච්ච නිසා අම්මත් අකැමැත්තක් තිබුණේ නෑ. ඒ යාළුවත් මම වගේම අලුත් අද්දැකීම් විඳින්න හරි කැමැත්තෙන් හිටියා. පළමු වතාවට අරක්කු බොන්න සෙට් වුණෙ අපි දෙන්නා. පාළු වත්තක තියාගෙන හැංගිලා වගෙ බිව්වෙ. එදා ඉඳලා හැමදාම පන්ති කට් කරලා යාළුවත් එක්ක අරක්කු බිව්වා. වාහනෙන් ගිහින් අම්මා පන්ති ළඟට දානවා. මම අනිත් පැත්තට පන්තියෙන් එළියට ඇවිත් යාළුවත් එක්ක සෙට් වෙනවා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ යනවත් අඩුයි. දවසක් යාළුව ගංජා පැකට් එකක් ගෙනත් මගෙ කාමරේ ඉඳගෙන එතුවා. මගේ ජීවිතේ පළමු වතාවට ගංජා බිව්වේ එදා. ගංජා සුරුට්ටුව මට මාර විදිහට ෆීල් වුණා. යාළුවා නැතිවත් කාමරේ තියාගෙන ගංජා බිව්වා. දවසක් මම ගංජා බොනකොට අපේ නෑනා දැක්කා. එතකොට අයියා කසාද බැඳලා තිබුණේ. වෙඩින් එක අරගෙන තිබුණේ නෑ. අක්කා ඒ සිද්ධිය අම්මට කියලා තිබුණා. අම්මා මටත් බැනලා, යාළුවටත් බැන්නා. එයත් අපේ ගෙදර එන්නෙ නැතිව ගියා. ඒත් අපි පාරෙදි සෙට් වුණා. දවසක් යාළුව කිව්වා ගංජාවලට වඩා පෙති ෆීලින් වැඩියි, පෙති දෙකක් බීලා බලමු කියලා. පෙතිත් බිව්වා. ඒ වෙනකොට, පෙති, ගංජා, අරක්කු, සිගරට් සේරම බොනවා. සල්ලිවලින් කිසිම අඩුවක් තිබුණෙත් නෑ…”

“අවුරුදු පහළොවේ ඉඳලා ගෑනු ළමයිත් ආශ්‍රය කරන්න පටන් ගත්තා. එතකොට මගෙ හිතට ගොඩක්ම ෆීල් වෙලා තිබුණේ කොළඹ ප්‍රසිද්ධ බාලිකාවක ඉගෙනගත්ත කෙල්ලෙක්. එයාට වයස අවුරුදු දහහතරයි. මම පෙති දාපු හැටියේ එයාව හොයාගෙන බයික් එකේ ඉගිලෙනවා. එයාගෙ අම්මයි, තාත්තයි ජොබ්වලට යනවා. අක්කා ක්ලාස් යනවා. එයාගෙ ගෙදර පැය ගාණක් අපි දෙන්න විතරයි. මම ඉන්නෙ පදමට මත් වෙලා. මම හිතන්නෙ වැඩිහිටියො හිතන විදිහට. එයාගෙන් බාධාවක් තිබුණෙත් නෑ. අපි දෙන්නා වැඩිහිටියො විදිහටම හැසිරුණා. එයාටත් වැඩි ෆීලින් එකක් ඕන කිව්වම පෙත්තක් දුන්නා. අන්තිමේ එයා මට වඩා පෙතිවලට ඇඩික් වුණා. මට වධයක් වෙනකොට අතහැරලා දැම්මා. ඒ වෙනකොට මම අයිස් බොන්නත් පටන්ගෙන තිබුණා. අම්මා කියන දෙයක් කනකට ගත්තෙ නෑ. සති ගණන් යාළුවන්ගෙ ගෙවල්වල නතර වෙලා, අයිස්, පෙති, ගංජා සේරම එකට බීලා මහ රෑට නයිට් කල්බ් හොයාගෙන ගියා. එක යාළුවකුගෙ ගෙදර හිටියෙ ආච්චි විතරයි. එයාටත් ගොඩක් වයසයි. ඒ යාළුවගෙ ගෙදරට පාන්දර වාහනෙ දාගෙන එන ගෑනිව ගෙනිහින් බස්සන්නෙ ඊට පහුවෙනිදා රෑට. මුළු දවසක්ම අපේ කාමරෙ තියාගෙන ඉන්නවා. නයිට් ක්ල්බ්වල වැඩ කරන ගෑනුත් කෑම, බීම ෆීලින් එක දෙනවා නම් ඕන කාලයක් තියාගන්න පුළුවන්. අපි පොඩි කොල්ලො, ඇති වෙන්න වියදම් කරන නිසා බලෙන් අපිත් එක්ක ආවේ. ඔය කාලෙ වෙනකොට බෝලෙ වගෙ හිටපු මම ඉරට්ටක් ගාණට කෙට්ටු වෙලා හිටියේ. ඇස් ගිලිලා. කොණ්ඩෙත් පාට කරලා. ඉස්කෝලෙ ගමනත් සම්පූර්ණයෙන්ම වගේ නතරම වෙලා තිබුණා…”

‘ඔයා කොච්චර ලස්සනට හිටිය ද? බලන්න දැන් හැටි…’ කියලා අම්මා මාව බදාගෙන ඇඬූ වාර අනන්තයි. ඔය කාලෙ වෙනකොට අයියත් තාත්තා වැඩ කරන නැවට ගිහින් හිටියේ. ගෙදර හිටියේ මමයි, අම්මයි, නෑනයි විතරයි. මම පරවියෙක් වගේ උදේට ගෙදරින් ගිහින් හවසට කූඩු වුණා. රෑට ගෙදර නොයෙන දවස් අනන්තවත් තිබුණා…” එක දිගට ගලාගෙන ගිය කතාවට විරාමයක් ලබා දී හේ වතුර වීදුරුව තොල ගෑවේය.

පවුලෙ බඩස්සා පොඩි වයසේදීම අයාලේ යෑම මවට දරාගැනීමට නොහැකි විය. ඇය පියාට කතා කර පොඩි පුතාගෙ නොමග යෑම සැල කළේය. වැඩිමහල් පුතාට ද කතා කර කීවාය. එහෙත් ඔවුන්ගෙන් ඇයට සැනසිලිදායක ප්‍රතිචාරයක් නොලැබුණාය. නිවාඩුවට පැමිණි වැඩිමහල් සහෝදරයා නොමඟ ගිය සහෝදරයාට දැනමුතුකම් දෙනව වෙනුවට සිගරට් පැකට්ටුවක් අතට දුන්නේය. එදින රාත්‍රියේදී යාළුවන්ට ලබාදුන් මත්පැන්, මත්ද්‍රව්‍ය සාදයට එකම සහෝදරයාව ද එකතු කරගත්තේය. එදා සිට අයියා, මලෝ දෙදෙනා මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පටන් ගත්තා පමණක් නොව මත්ද්‍රව්‍ය වෙළෙඳාම ද අයියා විසින් මල්ලිට භාර කළේය. මත්ද්‍රව්‍ය වෙළෙඳාම පටන් ගැනීමත් සමඟ ‘මල්ලි’ ප්‍රදේශයේ ජනප්‍රිය මත් ව්‍යාපාරිකයෙක් විය. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු පහළොවකි. ඒ පොඩි වයසෙදි ඔහු සන්තකයේ ඇති වෙන්න මත්ද්‍රව්‍ය තිබිණි. ඉතිරෙන්න මුදල් හම්බ කළේය. නැති වෙන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කළේය. තේ එකක් බිව්වද, මොන යම් හෝ කෑමක් කෑව ද, පඩිපෙළක් නැග්ග ද අයිස් චුට්ටක් බොන තත්ත්වයට හේ නන්නත්තාරෙටම අයිස්වලට ඇබ්බැහි වී සිටියේය.

මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් ඉතිරෙන්න හම්බ කරලා නැති වෙන්න මත් වෙච්ච අවුරුදු 17 කොල්ල කියන අමුතු කතාව

“අයියත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියල ගෙදර අය දැනගත්තා. අක්කා කෑගහලා එයාව නැවත රට යැව්වා. මම සුපුරුදු වෙළෙඳාම කරගෙන ගියා. සුපුරුදු විදිහටම මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. අතේ සල්ලි යහමින් ගැවසුණු නිසා සල්ලාලකමත් වැඩි වුණා. අම්මට, තාත්තට, අයියට වෙන, වෙනම වාහන තිබුණු නිසා මම ඒ වාහන මාරුවෙන්, මාරුවට පැද්දා. කෙල්ලොත් ඇති වෙන්න සෙට් වුණා. කිසිම කෙල්ලෙක්ව එල්ලගෙන ආදරය කරන්න ගියෙ නෑ. ඇති වෙන්න පාවිච්චි කරලා එපා වෙනකොට ඈත් කළා. මට වයස අවුරුදු දහහතරෙ ඉඳලා දාහහත වෙනකොට කෙල්ලො විස්සක් විතර ඇසුරු කළා. ඒ සේරම කොළඹ ජනප්‍රිය ඉස්කෝලවල සුපිරි පවුල්වල ළමයි. මට වඩා අවුරුද්දක්, දෙකක් වැඩිමහල් කෙල්ලො දෙන්නෙක් හිටියා. අනිත් සේරම මට බාලයි. ඒත් ගොඩක්ම අය අමාරුවේ වැටිලා හිටියේ. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා දැනගත්තම සමහර කෙල්ලො ඉල්ලගෙන බිව්වේ. ඒ මත්ද්‍රව්‍යයට තියෙන ආශාවට නෙමෙයි, සෙක්ස් ෆීලින් එක වැඩි කරගන්න. පොඩි කෙල්ලො සෙක්ස්වලට පුදුම කෑදරකමක් තියෙන්නෙ. සමහර කෙල්ලො එක්ක උදේ රූම් එකට ගියාට පස්සෙ හවස් වෙනකොට ගෙදරට කතා කරලා රෑට යාළුවෙක්ගෙ ගෙදර නවතිනවා කියලා මාත් එක්ක ඉන්නවා. එළිවෙනකම් නිදාගන්න දෙන්නෙ නෑ. එහෙම අයව ඉක්මනටම ඈත් කළා. අක්කලා, ඇන්ටිලත් එක්කත් ඇති වෙන්න සෙක්ස් කරලා තියෙනවා. ජනප්‍රිය ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඉගෙනගන්න අක්කල තුන්දෙනෙක් දවස් දෙකක් මාව බෝඩිම් කාමරයක තියාගෙන හිටියා. ඒ කාමරය මත් ගුලක්. ඒ කැම්පස් එකේ ඉගෙනගත්ත ගොඩක් කෙල්ලො මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ අයට ඕන මත්ද්‍රව්‍යයයි, සෙක්ස් ෆීලින් එකයි විතරයි. හරිම ලස්සන කෙල්ලො. ඒත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා පිස්සු නටනකොට හරිම කැතයි. අදටත් මම ආදරේ කරන්නෙ මට වඩා අවුරුදු තුනක් වැඩිමහල් කෙල්ලෙක්ට. එයා අපේ ගෙදරත් එනවා, යනවා. මාව මත්ද්‍රව්‍යයෙන් ගලවගන්න පුදුම විදිහට මහන්සි වුණා. ඒත් මට මත්ද්‍රව්‍ය නතර කරගන්න බැරි වුණා. අන්තිමේ අම්මා මාව අයිස් මිලි ග්‍රෑම් ගාණක් එක්ක පොලිසියට කොටු කර දුන්නා…” නැවතත් අපි ඔහුට විරාමයක් දුන්නෙමු.

පොලිස් සම්බාහනයෙන් රිදෙන්න පිරිමැද අධිකරණයට ඉදිරිපත් කළ ඔහුව දින දහතරකට බන්ධනාගාරගත කෙරිණි. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු පහළොව අවසාන වී නැත. වයසෙන් පොඩි වුව ද ලොකු වැඩ කරපු හේ හිතවත් බන්ධනාගාර නිලධාරියෙක් මාර්ගයෙන් ඇති වෙන්න අයිස් ඇතුළට ගෙන්නගෙන ‘කොලු වාට්ටුවට’ වී නිදහසේ මත් වූයේය. අයිස්වලට අමතරව, ඈස්, ගංජා, සිගරට්වලින් ද ඔහුට අඩුපාඩු වී නොමැත. මත් පෙති සියයක් පමණ කුඩු කර පරිප්පු හොඳිවලට, පොල් සම්බෝලවලට කලවම් කර බන්ධනාගාරය තුළට විසිට් කරන අයුරු, ඒ පරිප්පු හොදිවලින් මේස හැන්දක් කෑ පමණින් බිම නිදාගන්න තරමට මත්වන ආකාරය හේ අපට විස්තර කළේය. වාට්ටුවේ ඉන්න හිතවත් පිරිසට දින දෙකකට ප්‍රමාණවත් එවැනි පරිප්පු හොද්දක් සතියට වරක් බන්ධනාගාරය තුළට ලැබෙන බව ද ඔහු කීවේය. බන්ධනාගාරගත වී සිටි මාස තුනට ඔහුට අහිමි වී ඇත්තේ මවගේ සෙනෙහස සහ කාන්තා ඇසුර පමණි. තව ටික දිනක් බන්ධනාගාරගත වී සිටියා නම් මුදල් වියදම් කර කාන්තා ඇසුරත් ලබා ගන්නා බව හේ උජාරුවෙන් අපට කීවේය. එහෙත් ඊට පෙර ඔහුට ඇප ලැබී තිබිණි. බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි හේ සති දෙකක් පමණ ගෙදරින් දොට්ට නොගොස් මවගේ සෙනෙහස සහ පෙම්වතියගේ ආදරය සමඟ ජීවත් වූයේය. එහෙත් කොණ්ඩය, රැවුල කැපීමට සැලෝන් එකට ගිය මොහොතට පරණ හිතවතෙකුගේ පෙරැත්ත කිරීම මත හේ නැවත අයිස් බිව්වේය. ටික දිනක් යනවිට ‘බර පන්තියෙන්ම’ හේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළේය. සන්තකයේ පිච්චියත් නැති වී වෙළෙඳාමෙන් උපයන මුදලත් මතට දිය වී ගිය පසු නිවසේ විදුලි උපකරණ උකස් කරන්නට ඔහු පටන් ගත්තේය. අයිස් පාවිච්චියට අමතරව මිලි ග්‍රෑම් 150 මත් පෙති 15 ක් පමණ දවසට බිව්වේය. අයිස් එන්නත් කරගන්නා තරමට ඇබ්බැහිය වැඩි වුණේය. මත ඇගේ නැති මොහොතට ගත සීතල වී, හිරිගුඩු ඉලප්පී වෙව්ලන තරමට සික් එක හැදුණේය.

“මට නින්ද යන්නෙ නැතිව ගියා. හිටි හැටියේ නාහයෙන් ලේ යන්න පටන් ගත්තා. මුත්‍රා කරනකොට, වැසිකිළි යනකොට ලේ ගියා. කෙළ ගහනකොට ලේ ගියා. වතුර එකක් බොනකොටත් නහර දිගේ යන හැටි දැනෙන්න පටන් ගත්තා. එක පැත්තක් පණ නැති වී ගෙන ආවා. මගේ ජීවිතය ගැන ලොකු බියක් දැනුණා. දවසක් අයිස්, පෙති දෙකම බීලා පාන්දර 1 ට විතර අම්මාව නින්දෙන් ඇහැරවගෙන බදාගෙන මම ඇඬුවා.”

“මේ ජාරාවට ඇබ්බැහිවීමත් එක්ක මට ගොඩක් දේවල් නැති වුණා. සාමාන්‍ය පෙළ විභාගයවත් කරගන්න බැරි වුණා. මගේ ජීවිතය වෙලා තිබුණු ක්‍රිකට් නැති වුණා. මට තවම අවුරුදු 17 යි අම්මේ… ජීවත් වෙන්න ඕන… තව මාසයක් දෙකක් මේ විදිහට මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් මාව මැරෙනවා. මට මැරෙන්න බෑ… මේ අපායෙන් මිදෙන්න පාර කියන්න අම්මේ…” මගේ කතාවට අම්මා කෑගහලා ඇඬුවා. අන්තිමේ දෙන්නත් එක්කම අඬලා අම්මට මගෙ තුරුළේම නින්ද ගියා. එදා රෑ එළිවෙනකම් මම කල්පනා කළා. ගෙදර හිටියොත් යාළුවො මට මත්ද්‍රව්‍ය නොගෙන ඉන්න දෙන්නෙ නෑ. කාමරේ ජනේලෙන් හරි අයිස් පැකට් එකක්, පෙති කාඩ් එකක් විසි කරලා යනවා. ඒ නිසා කාලයකට මේ ගමෙන් ඈත් වෙන්න ඕන කියලා මට හිතුණා. ඒ වෙනකොටත් මිතුරු, මිතුරෝ ආයතනය ගැන මම දැනගෙන හිටියේ. බෝධානන්ද හාමුදුරුවො ගැනත් දැනගෙන හිටියා. දවසක් උදේ පාන්දරක අපේ හාමුදුරුවන්ට කතා කරලා මගෙ දුක කිව්වා. ඒ මොහොතෙ ඉඳලා එදා හවස් වෙනකොට මත්පෙති කාඩ් එකහමාරක් බීලා අම්මයි, කෙල්ලයි එක්ක මේ ආයතනයට ආවා. අදට මාස තුනක් වෙනවා. දැන් මගෙ ජීවිතේ නැවුම් පිබිදීමක් තියෙනවා. ඒ වෙනසට මම හරිම ආදරෙයි. ඒත් මම ගෙදර ගියොත් යාළුවො මාව නැවත නරකාදියට ඇදගෙන යනවා. ඒ නිසා මේ ආයතනයේ තියාගන්න කාලයක් මෙතැන ඉඳලා තාත්තා ඉන්න නැවට යනවා. දැන් සේරම ලෑස්ති කරලා තියෙන්නෙ. මාත් එක්ක රට යන්න කෙල්ලත් කැමැත්තෙන් ඉන්නෙ. අම්මවත් ඒ රටටම අරගන්න පුළුවන් වුණොත් අපි නැවත ලංකාවට එන්නෙ නෑ…”

“ඒ වගේ අවුරුදු දහහතරෙදි නොමඟ ගිහින්, දහහත වෙනකොට ජීවිතයේ වටිනාකම හඳුනාගෙන එයින් මිදීමට පුළුවන්වීම ගැන අද මම සතුටු වෙනවා. මාස තුනක් වැනි කෙටි කාලයකින් ජීවිතයේ වටිනාකම අවබෝධ කරගන්න පුළුවන් වුණේ බෝධානන්ද හාමුදුරුවන්ගෙ දහම් වැඩසටහන් නිසයි. මෙතැන අමුතු තැනක්. පාන්දරට රිල්හේන කඳු මුදුන දිහා බලාගෙන හිටියත් සිත සුවපත් වෙනවා. ඒ වගේම මතට ඇබ්බැහි වී සිටි කාලය ගැන සිහිපත් කිරීමත් දැන් මට අප්‍රසන්නයි. මත නිසා විනාශ වෙච්ච හැටි කියන්න හිතුවේ මගේ කතාව අහලා තව කෙනෙක්ට හැදෙන්න මඟ පෙන්වීමටයි. මත්ද්‍රව්‍ය කියන්නෙ එක පුද්ගලයෙක් විනාශ කරන පිළලයක් නෙමෙයි, පවුලක්, සමාජයක් විනාශ කරන මහා පිළලයක්. කෙටි කාලයක් ඒ පිළිලය සමාජගත කරපු එක ගැන අද මම දුක් වෙනවා. මතක් වෙනකොට ඇඬෙනවා…”

හේ බුද්ධිමත් දරුවෙකි. වසර තුනක් වැනි කෙටි කාලයකින් මතේ ආදීනව තේරුම් ගෙන ඇත්තේ ඒ නිසාය. එවැනි දරුවෙක්ට නැවත ජීවිතය වරදින එකක් නැති වෙයි කියා අපි විශ්වාස කරන්නෙමු. යන දේශයක යහපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවායි! ප්‍රාර්ථනා කරමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment