මන්නාරම් දූපත කියන්නේ සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක්! අවුරුද්දකට රටවල් 30කින් විතර විශේෂ 150කටත් වැඩියෙන් කුරුල්ලෝ මිලියනයක් විතර මන්නාරමට ළඟා වෙනවා!

මෙහි ඇති සිතියමෙන් පෙන්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්නයන් ප්‍රධාන පර්යේෂක කණ්ඩායම GPS-GSM තාක්ෂණය යොදාගෙන (ඒ කියන්නේ කුරුල්ලන්ගේ පිටේ සවිකරන කුඩා තාක්ෂණික උපාංගයක් භාවිත කරලා ලබාගන්න දත්ත) වලින් හොයාගත්තු ලංකාවට අතිශයින් වැදගත් කුරුලු විශේෂ 11කට අයිති කුරුල්ලො 21ක් දෙනෙක් මන්නාරම් දූපත ඇතුළෙ එදිනෙදා ගමන් කරන මාර්ග දැක්වෙන සිතියම. මේ කුරුල්ලො 21ක් දෙනෙක් විතරයි. මේකෙ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්න නම් හිතන්න කුරුල්ලො මිලියනයක් මේ මාර්ග ඔස්සේ පියාඹද්දි කොහොම වෙයිද කියලා.

මේ පරේෂණයෙන් මන්නාරම, තෙත්බිම් පක්ෂීන්ට අතිශයින්ම වැදගත් Palk Bay – Gulf of Mannar කලාපයත් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා පෙන්නනවා. සමහරෙක් නිකම්ම නිකම් මුඩු බිමක් ගානට දකින, මන්නාරම් දූපත, ලෝකයේ ප්‍රධානම සංක්‍රමණික පක්ෂි මාර්ගයක් වෙන මධ්‍යම ආසියානු සංක්‍රමණික පක්ෂි මාර්ගයෙ (Central Asian Flyway) කේන්ද්‍රාස්ථානයක් වෙන ආකාරය. මේ හැම සිතියමක් ම හිතලා ඇඳපුවා නෙමෙයි. ඇත්තම කුරුල්ලෝ real-time දෙන දත්ත වලින් ඇඳපු සිතියම්.

දහස් ගණන් සංචාරක කුරුල්ලන්ට මන්නාරම් දූපත අහිමි වෙයිද?

හැබැයි, තව ටික දවසකින් අපිට අයිති මේ ස්වාභාවික උරුමය අපිට නැති වෙන්න ඉතාමත් ආසන්න තීරණයක් තීන්දු වෙනවා. ඒ තමයි ඉන්දියාවේ අදානි ගේ මූලිකත්වයෙන් මුළු මන්නාරම් දූපත පුරාම ඉදිවෙන, මෙගා වොට් 250ක දැවැන්ත සුළං විදුලි බලාගාරය.

අපිට, අපේ රටට තිරසාර සංවර්ධනයක්, පුනර්ජනනීය බලශක්ති භාවිතයක් සිදු වෙන්න ම ඕනි. ඒත් ඒ පරිසරය විනාශ කරගෙන තියෙන ස්වාභාවික සම්පත් විනාශ කරගෙන නෙමෙයි, ඒකට ගැළපෙන විදියේ තැනක, පරිසරයට අවම හානියක් වෙන විදියට.

පරිසරවේදියෝ එක්ක රටවල් දියුණු කරන්න බෑ කියලා හිතන, ඔක්සිජන් කන්න ද අහන, විල්පත්තුව කොටස් කරලා ජනපද හදන දේශපාලකයෝ එක්ක මේවගේ දේවල් කතා කරන එක හරිම අමාරු වැඩක්. නිෂ්ඵල වැඩක් වෙන්නත් පුළුවන්. ඒත් මිනිස්සු විදියට අපිට මේවගේ ලාභය ම විතරක් අරමුණු කරගෙන පරිසර පද්ධති, වසර සිය ගාණක් තිස්සේ අපේ රට වෙනුවෙන්, අපේ රටේ වැදගත්කම වෙනුවෙන් ආපු-ගියපු පර්යටනික කුරුල්ලන්ගේ සංක්‍රමණික මාර්ග අවහිර කරන්න අපට පුළුවන්ද?, ඒ සඳහා අපට අයිතියක් හා සදාචාරයක් තිබෙනවාද? නමුත් අපි කියන දේ නසන, ඒ ගැන වගේ වගක් නැති මිනිසුන්ට, අපේ රට, අපේ රටේ සම්පත් විනාශ කරන ව්‍යාපෘතිවලට එරෙහි වෙන්න අපටත් පුළුවන්. ඒ සඳහා මේ ඔබේත් මගේත් වාරයයි. මේ දැවැන්ත විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව මහජන අදහස් දක්වන්න මාර්තු 06 වැනිදා දක්වා තවත් ඉතා කෙටි කාලයක් අපට ඉතිරිව තිබෙනවා. ඔව්, ඒ අන්තිම දවස් කීපය තමයි දැන් ගෙවෙන්නේ. පහත ලිපිනයට තැපෑලෙන් හෝ email මගින් ඔබේ – අපේ අදහස් දක්වන්න එක්වෙමු.

පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා (EIA Report) සැකසිය යුත්තේ සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට මිස, සංවර්ධන ව්‍යාපෘති යුක්ති සහගත කිරීමට නොවේ. මන්නාරම් දිවයිනේ යෝජිත නව සුළං බලාගාර ඉදිවීමට නියමිතව ඇත්තේ සුළුවෙන් හෝ දැනට ඉතිරිව ඇති කැලෑ ප්‍රදේශ එළි කරමිනි. මෙම කැලෑ ප්‍රදේශ, ශ්‍රී ලංකාවට පර්යටනය සිදුකරන පක්ෂීන් හට ආරක්ෂිත නැවතුම් පොළ ලෙස ක්‍රියාකරයි.

දහස් ගණන් සංචාරක කුරුල්ලන්ට මන්නාරම් දූපත අහිමි වෙයිද?

මෙයින් බොහෝමයක් වන පක්ෂි විශේෂ රට තුළ වැදගත් සංචාරක ආකර්ෂණ වන සිංහරාජය, හෝටන් තැන්න, හක්ගල ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය හරහා වන වනබිම් හෙළි කිරීම මෙරට සමස්ත පාරිසරික සංචාරක ක්ෂේත්‍රයට වන මරු පහරක් බව පැහැදිලිය. දැනට සිදු කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ ඇති දුර්වලතාවන් පහත පරිදි පෙන්වා දිය හැක.

  1. නිරීක්ෂණයන් සිදු කර ඇති වේලාවන් හි ඇති ගැටලු – පක්ෂීන් ගේ සංචරණ රටා නිරීක්ෂකයන් විසින් වාර්තා කර ඇත්තේ. උදෑසන 06 ත් සවස 06 ත් අතර කාලය තුළය. නමුත් මන්නාරම දිවයිනේ ආරක්ෂිත ප්‍රදේශ අතර බහුතරයක් වූ පක්ෂි සංක්‍රමණයන් සිදු වන්නේ රාත්‍රී කාලයේ බැවින්, නිරීක්‍ෂකයන්ට මේ දත්තයන් මග හැරී ඇත.
  2. අධ්‍යයනය කර ඇති කාල සීමාවන්හි පවතින ගැටලු – මෙම අධ්‍යනය කර ඇත්තේ පර්යටනය කරන පක්ෂීන් මෙරටට පැමිණෙන කාලය තුළ නොවන නිසා විශාල සංචාරක කුරුලු රංචුවල හැසිරීම සම්පූර්ණ ලෙසම නොසලකා හැරී ඇත.
  3. ගෝලීය වශයෙන් පිළිගන්නා, පක්ෂි හැසිරීම් රටා අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන තාක්ෂණික ක්‍රම භාවිත කර නැත. (එම තාක්ෂණික ක්‍රමවේදයන් දැනට මන්නාරම ප්‍රදේශයේ භාවිතයේ තිබුණත්)
  4. පක්ෂි පර්යටනයේ මධ්‍ය ආසියාතික ගමන් මග (Central Asian Flyway) හා සංක්‍රමණික වනජීවීන් සංරක්ෂණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (Convention on the Conservation of Migratory Species of Wild Animals) වලට අදාළව මන්නාරම දිවයිනේ ඇති වැදගත්කම මෙම වාර්තාවේ නොසලකා හැර ඇත.
  5. අදාළ සියලුම දත්තයන් සලකා බලා ඇති බවට වාර්තාවෙන් ගෙන හැර දැක්වූවත්, දැනටමත් ප්‍රසිද්ධ කර ඇති චන්ද්‍රිකා කක්ෂය ඔස්සේ සලකුණු කර ඇති ( satellite tagged) පක්ෂීන් දැනට සුළං බලාගාර පිහිටුවීමට නියමිත ප්‍රදේශ හරහා සංක්‍රමණය වන බවට වන වාර්තාවන් සලකා බලා නොමැත.
  6. වාර්තාවෙන් යෝජනා කර ඇති ආරක්ෂිත ප්‍රදේශ අතර වන කොරිඩෝව, මිලියන ගණනක් වූ පර්යටනය වන පක්ෂීන් සඳහා පහසුකම් සපයා දීමට අසමත් තර්කානකූල නොවන යෝජනාවකි. තවද එම වාර්තාවෙන් ම පිළිගන්නා ආකාරයට එම කොරිඩෝව යෝජනා කර ඇත්තේ, එය සුළං බලාගාර පිහිටි ප්‍රදේශයෙන් මඳක් එපිටින් පිහිටීම යන සාධකය පමණක් සැලකිල්ලට ගෙනය. වෙනත් කිසිදු විද්‍යානුකූල සාක්ෂි සලකා බලා නොවේ.

මන්නාරම පක්ෂි විද්‍යා කවය
Mannar Birds Club

මහජන අදහස් කියන්න

අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, බත්තරමුල්ල හෝ
Email( [email protected] සහ Copy to [email protected] & [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment