හඳයාට බෙහෙතක්

1388

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනයේ යෙදී සිටින පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ඔත්තු සපයන්නේ යයි පවසමින් පාතාලයන් පිරිසක් විසින් ඉකුත්දා හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු වෙඩිතබා මරා දමා තිබිණි. මෙය බරපතල තත්ත්වයකි. කෙසේ හෝ ඊට ප්‍රතිචාර ලෙස එම ඝාතන සිදුකළා යැයි කියන වෙඩික්කරු ඊට පසුදාම ආරක්ෂක අංශ විසින් වෙඩි තබා මරා දමන ලදි. මෙසේ වෙඩිකා මළේ ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු, එසේම ගුවන් හමුදා රග්බි ක්‍රීඩා කණ්ඩායමේ ද සාමාජිකයකු සේම නිවාඩු පාඩුවේ කුලියට මිනී මරණ හමුදා සෙබළෙකි. නිකම්ම සෙබළෙක් නොව, ඔහු ගුවන් හමුදා වරප්‍රසාද ලබන කෝප්‍රල්වරයෙකි. එක් අතකින් ගේමට ගේම ඉතා ඉක්මනින්ම ලබාදී ඔහු මෙලොවින් චුත කිරීමට ආරක්ෂක අංශ දෙපාරක් නොසිතා ගත් තීන්දුව අගය කළ යුත්තකි. මන්ද මෙම කුලියට මිනී මරණ හමුදා සෙබළා රජයෙන් වැටුප් ලබමින් හා පහසුකම් භුක්ති විඳිමින් රටට කරන අපරාධයට ඔහු ජීවිතයෙන්ම වන්දි ගෙවිය යුතු වන නිසාය. අනික මෙසේ ඔත්තුකරුවන් මරා දමන සිද්ධීන් වාර්තා වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය රටේ සක්‍රීයව කටයුතු කරන කාලයේදී සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් එක්තරා සංවිධානයක් සන්නද්ධ අරගලයක් රටේ සිදු කරන කාලයේදී බව අපගේ මතකයේ තිබේ. සුප්‍රකට මිලේනියම් සිටි පාවාදීම නම් හෙළිදරව්වේදී කොටි සංවිධානයට එරෙහිව හමුදාවට ඔත්තු සැපයූ සියලුම සිවිල් ඔත්තුකරුවන් පාහේ ඝාතනයට ලක්වූ අතර එය කොටි ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමට මහත් බාධකයක් බවට පත් විය. රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පාතාලයන් ද මෙසේ ඔත්තුකරුවන් මැරීමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුම් නවතා ගැනීම හෝ මන්දගාමී කරගැනීම විය හැකිය. නමුත් රටට විනකරන කවර ආකාරයේ හෝ ජාවාරම්කරුවන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගත යුතුව ඇති අතර, එසේ පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව රජය දැඩි පියවර ගනිමින් සිටිද්දී ඊට එරෙහිව අවි ඔසවන්නෝ වෙත්ද, ඔවුන් වහා මර්දනය කිරීමද රජයේ වගකීමක් වේ. එසේ හෙයින් පාතාලයන්ගේ පැත්තගෙන පොලිසියට ඔත්තු සපයන්නේ යැයි පවසා සිවිල් වැසියන් ඝාතනය කිරීමට කවුරුන් හෝ කටයුතු කරයි නම්, ඊට බෙහෙත් දීම රජයේ වගකීමයි. එය ඉතා හොඳින් මොරගහේනේදී සිදුකර ඇත. ප්‍රතිපත්තියක් ලෙස අප මිනී මරණ සංස්කෘතියට අකැමැති නමුත්, රටට යහපතක් වන්නේ නම් එවන් ක්‍රියා හිස මුදුනෙන් අප අනුමත කරන බවද කිව යුතුය.

කොහොමටත් පසුගිය කාලයේ සිදු වූ බොහෝ මනුෂ්‍ය ඝාතන සඳහා වගකිව යුත්තේ සක්‍රීය සේවයේ නියුතු, පාතාලයන්ගෙන් වැටුප් හා සන්තෝසම් ලබන ඇතැම් හමුදා සහ පොලිස් සාමාජිකයන් බව හඳුනාගෙන ඇත. කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම ඔවුන්ගේ “පාර්ට් ටයිම්” රැකියාවයි. ප්‍රශ්නය ඇත්තේ ඔවුන් එසේ අනීතිකව හා ජරාජීර්ණ ලෙස උපයන මුදල්වලින් තම දරුවන්ට, බිරින්දෑවරුන්ට, දෙමව්පියන්ට කන්නට, බොන්නට දී ඔවුන් පෝෂණය කරන්නේ කෙලෙස ද යන්නයි. පාතාලයේ කාගේ හෝ කීමට ගේමක් දෙන මෙවන් හමුදා හෝ පොලිස් සාමාජිකයින් අනතුරුව නිරුපද්‍රිතව තම කඳවුරට පැමිණ සේවයේ නියුතු වීම එක අතකින් තමා වෘත්තිකයකු බවට පත්කරන ලද රාජ්‍ය සේවයට සිදුකරන මහා නිග්‍රහයක් වන අතර, යුද, ගුවන්, නාවික හමුදාවන්ට හා පොලිසියට එක් කරන මහා කළු පැල්ලමකි. එසේ හෙයින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා අදාළ සේනාංක හෝ ඛණ්ඩ භාර නිලධාරීන් වහාම තම යටතේ සිටින සෙබළුන් ගැන විමසිල්ලෙන් සිටින්නට කාලයයි මේ. මන්ද, ඒ මගින්ද පාතාලයට හා මත්ද්‍රව්‍ය රටින් තුරන් කරන්නට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්විය හැකි නිසාය, ඒ නැතත් කොටි සංවිධානය වැනි බලගතු ත්‍රස්තවාදී සංවිධානයක් මුලිනුපුටා දැමූ හමුදාවකට පාතාලයන්ගේ බත් බැලයන් වූ කුලී වෙඩික්කරුවන් ගාවා නොගන්නා තැනට වග බලාගත යුතු අතර, එසේ වන සෑම මොහොතකම මොරගහේනේ ගුවන් සෙබළ ආර්.පී. දිලන්ත ලක්මාල්ට දුන් බෙහෙතම ඒ සෑම බත් බැලයකුටම දෙන්නට ආරක්ෂක අංශ කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

රටෙන් මත්ද්‍රව්‍ය මාෆියාව සහ පාතාලය මඬින්නට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු රජය කටයුතු කරන සමයක ඊට එරෙහිව අවි ඔසවන්නට පාතාලයට ඇති බලය ගැන බලවත් කතාවක් මෙම මොරගහේන තරුණයන්ගේ ඝාතනයෙන් කියැවෙයි. යුක්තියේ මෙහෙයුම එක හා දෙක ක්‍රියාත්මක කරන දිනයේ පටන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාත් පාතාලයන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උදහසට ලක්වී ඇති බව ඔවුන් විසින්ම පවසා ඇත. එසේ වූ කල ඊට සක්‍රීය දායකත්වය ලබාදෙන අනෙකුත් නිලධාරීන් ද මොවුන්ගේ උදහසට ලක්ව සිටීම අනිවාර්යය. එම පළිය ගන්නේ බොහෝ විට පොලිසියට තොරතුරු ලබාදෙන සිවිල් පුරවැසියන්ගෙනි. ඒ බව ඉහත තරුණ ඝාතන දෙකෙන් පැහැදිලි වේ. එසේ වුවහොත් ගමේ කසිප්පු තිප්පළටවත් එරෙහිව කවුරුනුත් කතා නොකරනු ඇත.

ඩුබායි ඇතුළු රටවල් කිහිපයකම සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පාතාල කෙරුමන් මෙසේ ඝාතන මෙහෙයවීම බරපතල සමාජ අර්බුදයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. හඳයා, කොස්ගොඩ සුජී, කෙහෙල්බද්දර පත්මේ, ඇල්ටෝ ධර්මේ, රත්ගම විදුර, කුඩු අංජු, කන්ජිපානි ඉම්රාන් වැනි මෙකී-නොකී නම්වලින් පෙනී සිටින පාතාලයන් තවදුරටත් රට කණපිට ගසමින් හා කරණම් ගසමින් සිටින අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් නවතා කුදලාගෙන රටට ගෙනෙන්නට රජය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි දැයි අපට ද ප්‍රශ්නයක් තිබේ. පිටරට සිට ක්‍රියාත්මක මේ පාතාල රජවරුන්ගේ ක්‍රියා නවතා දමන තුරු එක අතකින් කුලියට මිනී මරණ පාතාලයන්ද මර්දනය කරනවා බොරුය. කෙසේ හෝ තවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයකුට හෝ තවත් පොලිස්පතිවරයකුට ඉඩ නොතබා පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමේ ක්‍රියාන්විතයේ ඉතිරි කටයුතු ද මේ ආකාරයෙන් ඉදිරියට ගෙන යෑම අප කාගේත් බලාපොරොත්තුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment