අවදානම ගැන අවධානයෙන්ම සිටිනු

577

අවදානම පිළිබඳ අවධානයෙන් සිටින්නැයි අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුවේදී ඊයේ සරල උපදෙසක් රට වැසියාට දුන්නේය. ඒ උපදෙස් දෙන විට වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටී අහිංසක සිසුවියක් ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ව තිබිණි. පසුගිය කාලය පුරාවටම පාසල දරුවන්ට මෙලෙස මාරක අපල ගෙන දුන් අයුරු අපට මතකය. පාසල් යන දරුවන්ට ආපසු යහතින් ඒමට නොහැකි වීම සැබැවින්ම කනගාටුදායකය. ඉහත අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ මෙත්සරණී කෝදාගොඩ දැරිය තවම පාසල් අධ්‍යාපනයට අත් පොත් තැබුවා පමණි. දෙමාපියන්ට ඇය ගැන තිබුණේ මහමෙරක් තරම් බලාපොරොත්තුය. එහෙත් අද ඇය මතකයන් පමණක් ඉතිරිකර ජීවිතය හැර ගොසින් අවසානය.

අපේ රටේ පාසල් අධ්‍යාපනය ලබන සිසු පිරිස හාරලක්ෂයකට මඳක් වැඩිය. ඇත්තටම ගතහොත් මේ හාරලක්ෂයෙන් බොහෝ පිරිසක් පාසල් ගමන යන්නේ විවිධ අවදානම් අතැතිවයි. කඳු හෙල් පසුකර වැල් පාලම් මතින්ද පාසල් යන දූ දරුවන් ඕනෑ තරම් ඇත. කසිකබල් වාහන වල නැගී යන එන දූ දරුවන් අප දැක තිබේ. වරක් එවැනි කසිකබල් බසයක තට්ටුව බිමට වැටී දියණියක මිය ගියාය. පාසලේ විදුලි සරට සහ විදුලි පංකාවට, පිට්ටනිය තලන ගල් රෝලට ජීවිතය දුන් දරු දැරියෝ අපේ රටේ සිටියෝය. පසුගිය මාසයකදි කළුතර පාසලක බිත්ති දෙකක් අතර දියණියක සිරව සිටි ආකාරය පුදුම සහගතය.

මෙලෙසින් බලන කල්හි සුවහසක් දරු දැරියන් අතීතයේ මෙන්ම වර්තමානය වන විටත් එමෙන්ම අනාගතයේද මේ අවදානම් වලින් බැට කනු නිසැකය. මේ කාලයේ බැලුවහොත් අපේ රටේ අවදානම් සහිත ගොඩනැගිලි ඇති පාසල් හැත්තෑහතරක් හඳුනාගෙන ඇත. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේද කැඩී බිඳී යෑමට ආසන්න තට්ටු හතරේ ගොඩනැගිල්ලක් තිබේ. ඇමැතිතුමා පවසන පරිදි අවදානම හඳුනාගෙන අවධානය දක්වා මේ ගොඩනැගිල්ලේ තිබූ පංති සියල්ල ඉවත් කර තිබීම ගැන ඒ දෙමාපියන්ට නම් ඇත්තේ සැනසුමකි. තංගල්ල බාලිකා පාසල ද මෙවැනිම අවදානමක් ඇති පාසලක්ය. ඒ සඳහා දැක්වූ අවධානය අනුව ඒ පාසල දැන් සම්පූර්ණයෙන්ම පාහේ අලුතින් හදා ගෙන යති. ඇත්තම තත්ත්වය ගතහොත් පසුගිය කාලයේම පාසල් හි නිසි නඩත්තුවක් තිබුණේම නැත. කොවිඩ් මාරයා ටික කලක් පාසල් ගිල ගෙන සිටියේය. අනතුරුව මතු වූ ආර්ථික පරිහාණිය ද මේ තත්ත්වයට තදින්ම බලපෑවේය.

සාමාන්‍යයෙන් අලුත් වසරක් ආරම්භයේදී දෙමාපියන් පැමිණ පාසල් සුද්ධ පවිත්‍ර කර ගනිති. හුණු පිරියම් කර තීන්ත ද ගා ගනිති. ඩෙංගු කාලයට නැවතත් පාසල් වත්ත පෙරළ පෙරළා සුද්ධ කර ගනිති. පාසල් සංවර්ධන සමිති ද නිතර උත්සාහ කරන්නේ මෙවැනි වැඩ ටිකක් කරගෙන පාසල් කෙසේ හෝ පවත්වාගෙන යන්නටය. කැඩී බිඳී ගිය පාසල් හැදිය යුත්තේ රජයෙන් වුවත් ඒවා ගැන බලධාරීන්ට එතරම් ගාණක් නැත. එක වසරට පැමිණෙන දරුවන්ගේ දෙමව්පියෝද පාසලට සැලකිය යුතු දායකත්වයක් සපයති. මේ කියන දායකත්වය මත දරුවාට පාසලට ඇතුළුවීමේ වරම උදාවන බව ප්‍රසිද්ධ රහසක්ය. අපේ පාසල් පමණක් නොව විශ්වවිද්‍යාල ගොඩනැගිලිවලද තත්ත්වය මෙසේමය. අලුතින් නේවාසිකාගාර ඉල්ලා ශිෂ්‍යයෝ වීදි බසින ආකාරය අප ඕනෑ තරම් දකී.

මේ කියනා සහ නොකියනා පහසුකම් සපුරාලීමට රජය එතරම් උනන්දුවක් නොගන්නා සේම, අධ්‍යාපන වෘත්තීය සමිති ද අනුගමනය කරනුයේ තම ඉල්ලීම් දිනා ගන්නා ප්‍රතිපත්තීන් සහ සිය දේශපාලන අදහස් රජ කරවනා පියවර ගැනීමට පමණි. දරුවන්ගේ අධ්‍යාපනය හෝ ඔවුනගේ සුවපහසුව, යහපත් මානසික මට්ටමකින් හොඳ රැකවරණයකින් යුක්තව අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන් අපේ රටේ ඇත්තේම නැත. ඒ හේතුවෙන් මතු පරපුර මෙලෙස වරින් වර එකා දෙන්නා සිය ජීවිතවලින් වන්දි ගෙවමින් සිටී. වැල්ලම්පිටියේද සිදු වූයේ එවැන්නකි.

මේ කාලයේ වැස්ස මඳක් වැඩියෙන් ඇද හැලෙන බැවින් පාසල් ගොඩනැගිලි ගැන දැඩි අවධානයෙන් සිටීම වටී. විශේෂයෙන්ම ගංවතුරට යටවන ගොඩනැගිලි ඇත්නම් විදුහල්පතිවරුන් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතුය. නැත්නම් මේ පරණ පුස් කෑ ගොඩනැගිලි දරුවන්ගේ හිස් මතට වැටී මහ වින්නැහියක් සිදුවනු නොඅනුමානය. පාසල් හෝ ඒවායේ ඇති ගොඩනැගිලිවල අයිතිය ඇත්තේ රජයටය. අපේ රටේ රජය නිතරම ජනයාගේ ඔළු ගෙඩිවලට කුළු ගෙඩි පහර දීමට නිරන්තරයෙන්ම බලා සිටින බැවින් අපි තව තවත් පරිස්සම් වී දරුවන් බේරාගෙන අපිත් බේරී ජීවත් වීම කාලෝචිත බව අපෙටග් හැඟීමය.

advertistmentadvertistment
advertistmentadvertistment