ජාවාරම්කාරයන් අතට ගිය දරු සම්පත් වෙළෙඳාම

1655

මෙයට අවුරුදු 600 කට පෙර ස්පාඤ්ඤය යනු සුවිශාල රාජධානියකි. ඔස්ට්‍රියාව, ලියොන්, කැස්ටයිල්, ගලීසියා, අරගන් යන රටවල්වලින් සමන්විත වූ මේ රාජධානිය මධ්‍යකාලීන යුගයේදී ඉතාම බලවත් විය. 1454 දී 4 වන හෙන්රි නමැති වංශාධිපතියෙක් මේ රාජධානියේ රජකමට පත්විය. 1455 දී ඔහු කසාදයක්ද බැන්දේය. ඔහුගේ මනාලිය වූයේ පෘතුගාලයේ 5 වන අෆොන්සෝ රජුගේ සහෝදරිය වූ ජුවානා ය. විවාහයෙන් අවුරුදු හයක් ගතවන තුරුත් මේ යුවළට දරුවන් සිටියේ නැත. ඒ නිසා රාජකීය වෛද්‍යවරුන් කීපදෙනකු සමග සාකච්ඡා කළ 4 වන හෙන්රි තම ප්‍රජනන පද්ධතියෙන් ලබාගත් ශුක්‍රාණු ස්වල්පයක් ස්වකීය බිරිඳගේ ප්‍රජනන පද්ධතිය තුළට ඇතුල් කරවීය. ස්වල්ප කලකට පසු ජුවානා මෙහෙසිය දැරියක ප්‍රසූත කළාය. ඇගේ නම ජොආනා ය. 4 වන හෙන්රි පුරුෂ ශක්තිය නැති බෙලහීනයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ජොආනා දූ කුමරිය ඔහුගේ දරුවකු නොවන බවටද කට කතා පැතිරෙන්නට විය. එහෙත් ස්පාඤ්ඤ රාජධානිය නිල වශයෙන් පිළිගන්නා ලද්දේ ජොආනා රජකුමරිය 4 වන හෙන්රිගේ සහජාත දියණිය බවය. 4 වන හෙන්රිගේ රාජකීය වෛද්‍යවරුන් ඩිම්බ සහිත ගර්භාෂයක් තුළ ශුක්‍රාණු තැන්පත් කිරීම මගින් දරුවන් ලබාගත හැකි බව දැනගෙන තිබුණේ ගව පට්ටිකරුවන්ගෙනි. අද පැටවුන් ලබාගැනීම සඳහා එළදෙනුන්ට කරන කෘතීම සිංචනය හෙවත් ගවයකුගේ ශුක්‍රාණු එළදෙනගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීම එදත් තිබිණ. හරකුන්ට මෙසේ කළ හැකි නම් මනුස්සයන්ටත් මෙයම කළ හැකි නොවේදැයි එදා සිටි රාජකීය වෛද්‍යවරුන් කල්පනා කරන්නට ඇති. කට කතා හැදීමෙහි සහ පැතිරවීමෙහි කැමැත්ත ඇති වල් වනචර හැතිකරයක් ලෝකයේ හැම රටකම සිටිති. ජොආනා රජ කුමරිය 4 වෙනි හෙන්රිගේ සහජාත දියණිය නොවන බව කියන්නට ඇත්තේ එම හැතිකරයයි. කෙසේ හෝ වේවා කාන්තා ගර්භාෂ තුළ පුරුෂ බීජ තැන්පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණ එදා සිට පටන් ගන්නා ලදී. නෙදර්ලන්තයේ ජීවත්වූ ඇන්තනි වෑන් ලීයුවෙන්හෝක් නමැති පර්යේෂකයා 1678 දී කාන්තාවක හා පුරුෂයකුගේ එකතු වීමකින් තොරව ලබාගන්නා ශුක්‍රාණු කාන්තාවගේ ගර්භාශයේ තැන්පත් කිරීමෙන් දරුවන් ලැබිය හැකි බව න්‍යායාත්මකව නිවැරදි බව විස්තර කරන පත්‍රිකාවක්තා බ්‍රිතාන්‍යයේ රාජකීය සංගමයට ඉදිරිපත් කළේය. පසුකාලයේදී පෞද්ගලික අංශය අතට යන විශාල කර්මාන්තයක් බවට පත්වී ඩොලර් මිලියන ගණන් ඉපදවීමට මේ න්‍යායට හැකි විය.

අද වන විට මේ ගැබ් ගැන්වීමේ ක්‍රමය නළ දරු උපත් ලෙස හඳුන්වනු ලැබේ. අද වඩාත් දියුණු රසායනාගාරයක් තුළදී පුරුෂ බීජ සහ කාන්තා ඩිම්බයක් සංසේචනය කරනු ලැබේ. ඉන්පසු මඳ කලක් එම පර්යේෂණ දීසිය මතම වර්ධනය වීමට ඉඩ හරින මේ මිශ්‍රණය දරුවන් නැති කාන්තාවන්ගේ ගර්භාශයෙහි තැන්පත් කෙරේ. සමහරවිට මෙය හරියන අතර සමහරවිට මෙය වරදී. එවිට වෛද්‍යවරු එම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුකරති. ශ්‍රී ලංකාව වැනි රටක මේ කියන කෘතීම සංසේචන ක්‍රියාවලිය මගින් දරුවකු ඉපදවීම සඳහා රුපියල් ලක්ෂ 12 ක් පමණ වැය කළ යුතුය. එසේ මුදල් ගෙවීමේදී මේ ක්‍රමය මගින් ගැබ් ගැනීමක් සිදුවන බව කිසිදු ආකාරයකින් සහතික නොකෙරේ. එවිට දෙවැනි වතාව සඳහා තවත් රුපියල් ලක්ෂ 12 ක් අවශ්‍යය. මෙය හතර පස් වතාවක් සිදුකර අසාර්ථක වී හයවෙනි වාරයේදී සාර්ථක වුවහොත් මවටත්, පියාටත්, අලුත උපන් දරුවාටත් සිදුවන්නේ අම්බලමක ලැගීමටය. මන්ද දරු උපත ක්‍රියාත්මක කිරීම සඳහා පළවෙනි ව්‍යායාමයේ සිට හයවෙනි ව්‍යායාමය තෙක් ඔවුන්ට රුපියල් කෝටියක් පමණ වැයවී තිබීමය. අද මේ ක්‍රියාවලිය තනිකරම ජාවාරමක් බවට පත්ව තිබේ. කොළඹ සහ ආසන්න ප්‍රදේශවල මෙවැනි ගැබ් ගැන්වීමේ මධ්‍යස්ථාන පුද්ගලික අංශය විසින් පිහිටුවනු ලැබ තිබේ.

වේයන්ගොඩ, පත්තලගෙදර පදිංචි 37 හැවිරිදි මධුකි ලක්ෂිකා සහ ඇගේ සැමියා වන ඉසුරු පෙරේරා දිගු කාලයක් දරු උපතක් අපේක්ෂාවෙන් සිටි නමුදු එය හරිගියේ නැත. අන්තිමේදී සිදුවූයේ රුපියල් ලක්ෂ ගණනක් වැයකර සැමියාගේ පුරුෂ බීජ බිරිඳගේ ගර්භාශයේ තැන්පත් කිරීමය. ස්වල්ප කලකට පසු ගැබ් ගත් මධුකි ලක්ෂිකා සති 26 න් නිවුන් දරුවන් 6 දෙනකු ප්‍රසූත කළාය. සාමාන්‍යයෙන් දරුවකු ඉපදීම සඳහා සති 38 ක් ගතවිය යුතුය. එයට පෙර උපන් දරුවන් නොමේරූ දරුවෝ වෙති. මධුකි ලක්ෂිකා ප්‍රසූත කළ දරුවන් 6 නා ග්‍රෑම් 450 ත් 700 ත් අතර වූ ඉතා දුර්වල දරුවෝ වූහ. මේ දරුවන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයේ වෙනම කොටසක් වෙන්කරන ලද අතර ඔවුන් ඉන්කියුබේටර් වල දමා කෘතීම ස්වසනය ලබා දෙමින් රැක බලාගනු ලැබේ. එක දරුවකු අවශ්‍ය තැනකදී දරුවන් 6 ක් ඉපදුනේ කොහොමද? මෙය සිදුවන්නේ කෘත්‍රිම ගැබ් ගැන්වීම් සිදුකරන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන එක කලලයක් වෙනුවට කලල හය හතක් සංසේචනය කර ගර්භාශයේ තැන්පත් කිරීම නිසාය. ඔවුන්ගේ අරමුණ වන්නේ එක කලලයක් අසාර්ථක වුවහොත් අනෙක් කලලය සාර්ථක වනු දැකීමය. එසේ කලල සාර්ථක වීම එම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල කීර්තිය වැඩිවීමට හේතුවකි. එසේ ලබන කීර්තිය මුදල් බවට පත්කරන වෛද්‍ය මධ්‍යස්ථාන මුදලාලිලා එම මුදල් බැංකුවට ගෙන යන අතර මව්වරුන්ට සිදුවන්නේ නොමේරු දරුවන් පස් හය දෙනකු කරගසාගෙන ගෙදර යෑමටය. මධුකි ලක්ෂිකා සහ ඉසුරු පෙරේරා යුවළ මේ වන විට ගත කරන්නේ ඉතාම දුෂ්කර ජීවිතයකි. පෞද්ගලික ආයතනයක රෙප් කෙනකු ලෙස සේවය කරන ඉසුරු පෙරේරාට දැරිය හැක්කේ එක දරු උපතක් පමණි. මේ නිසා කෘත්‍රිම ගැබ් ගැන්වීම් සිදුකරන වෛද්‍ය මධ්‍යස්ථාන සියල්ල වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනයට යටත්කරන ලෙස අපි රජයෙන් ඉල්ලමු. දරුවා යනු සම්පතකි. එකෙක් නොව දහ දෙනෙක් එකවර ලැබුනත් දරු සම්පත බර වැඩි නැත. එහෙත් ස්වභාවධර්මයෙන් පිටත ව්‍යාපාරික අවශ්‍යතා මත දරුවන් තොග පිටින් ගැබ් ගැන්වීම ඉතාම අශිෂ්ට සහ සාරධර්ම විරෝධී ක්‍රියාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment