බුදු දහමට හෝ දළදා වහන්සේට මින් මතු අපහාස කරන්නේ නෑ

203

උසාවියේදී සමාව ගත් සේපාල් නඩුවෙන් නිදහස්

මින්මතු ශ්‍රී දළදා වහන්සේට හෝ බුදු දහමට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන බවට පොරොන්දු වී විවෘත අධිකරණය හමුවේදී සමාව අයැද සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ මහතාට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තෙන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (21 දා) නියෝග කළේය.

යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ශ්‍රී දළදා වහන්සේට හා බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත සිටි සැකකාර සේපාල් අමරසිංහ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (21 දා) විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටි එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා හා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා අසලට ගිය සැකකරු ඔවුන්ට ආචාර කර තමා අතින් යම් වැරැද්දක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව ප්‍රකාශ කළේය.

සැකකරු මින්මතු එවැනි ආගමික හෝ සංවේදී කරුණු සම්බන්ධයෙන් හෝ ප්‍රකාශ සිදුනොකරන බවටත් තමන් සිදුකළ වැරැද්දට මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් හා සමස්ත ලෝකවාසී ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවටත් පොරොන්දු වී ඇති බැවින් එකී කොන්දේසි දෙකට යටත්ව සුදුසු නියෝගයක් ලබා දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

අධිකරණයට ලබාදුන් එකී පොරාන්දුව රකිමින් ඉදිරියට කටයුතු කරන ලෙසට සැකකරුට අවවාද කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු නඩු කටයුත්තෙන් මුදාහැරීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment