වාර්තාගත රුපියල් බිලියනයක අයවැයක් පාපන්දුවට

121

සභාපති ජස්වර් වැඩ අරඹයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2024 වසරට අදාළ එක් බිලියන, හතළිස් තුන් මිලියන හත්සිය හැට හතර දහස් පන්සිය තිස් අට (1,043,764,538)ක වාර්තාගත අයවැය ලේඛනය සම්මේලන සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් පෙරේදා (03දා) අනුමත විය.

කටුනායකදී පැවති අතිවිශේෂ රැස්වීමේදී එම අයවැය අනුමත වූ අතර මෙම අයවැය පාපන්දු ඉතිහාසයේ දැවැන්තම අයවැය බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම මුදල අවසන් වරට 2021 වසරේ සම්මත වූ අයවැයට වඩා සියයට 91 ක වැඩිවීමක් වන අතර මේ අතරින් වැඩිම වියදමක් සිදු කිරීමට ඉලක්කගතව ඇත්තේ ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායමට වේ. එය රුපියල් 323,545,970 කි.

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු නගා සිටුවීමට කාන්තා කණ්ඩායමට රුපියල් 148,182,110 ක මුදලක් වැය කිරීමට නියමිත අතර එය 2021 වර්ෂයට වඩා සියයට 1178 ක වැඩිවීමක් වේ.

මෙම විශේෂ මහා සභා රැස්වීම සඳහා පාපන්දු විධායක කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 12 දෙනකුම සහභාගි වූ අතර ලීග් 65 න් 63 ක් සහභාගි වූහ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලන (ෆිෆා) හා ආසියානු පාපන්දු සම්මේලනය (ඒ.එෆ්.සී.) ව්‍යාපෘති මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වැඩකටයුතු මගින් රුපියල් 995,088,000 ක ආදායමක් ලබාගැනීමට කටයුතු කරන බවද මෙහිදී සභාපති ජස්වර් උමර් මහතා විසින් නිවේදනය කරන ලදී. එය 2021 වසරේ අපේක්ෂිත ආදායමට වඩා සියයට 186 ක් බවද මෙහිදී නිවේදනය කෙරිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment