ලංකාවේ හමුදාව දෙපැත්තට බෙදිලා ගහගන්නවා – සමහරු රුසියාවේ සමහරු යුක්‍රේනයේ

128

එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව සටන් කළ ශ්‍රී ලංකා හමුදාව අද රුසියාවට සහ යුක්‍රේනයට ගොස් එම රටවල් දෙක වෙනුවෙන් දෙපැත්තේ සිට සටන් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) කියා සිටියේය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

අපේ හමුදාවෙන් විශ්‍රාම ගිය අය රුසියාවේ කෑම්ප් හෙල්පර් විදිහට අරගෙන යනවා. මෙහිදී දැවැන්ත ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. අපේ අයව කෑම්ප් හෙල්පර්ස්ලා ලෙස අරන් ගිහින් රුසියානු – යුක්‍රේන යුද්ධයට දානවා. මේ විදිහට කුසන්ත ගුණතිලක කියන අයව අරන් ගිහින් යුද්ධ ටැංකියකට දාලා තිබෙනවා. ඒ යුද්ධ ටැංකිය පුපුරලා දෙන්නෙක් මැරෙනවා. මේ කුසන්ත කියන අය ඉන් පැනගෙන ආවත් අද වෙන තෙක් අතුරුදන්. ඔහු අපේ හමුදාවේ සිටි හොඳ සෙබළෙක්. ඔහු ඉන්දියාවේ නීතිඥයෙක් ගේ සමාගමකින් තමයි එහෙට ගිහින් තිබෙන්නේ. මේ විදිහට විශාල පිරිසක් අරන් ගිහින් තිබෙනවා. එක්කෙනෙක්ගෙන් ලක්ෂ 18ක් අරන් තිබෙනවා.

අපේ හමුදාවේ සිටි අය රුසියාවටත් යුක්‍රේනයටත් ලෙස දෙපැත්තටම බැඳිලා. ලංකාවේ හමුදාව දෙපැත්තට බෙදිලා ගහ ගන්නවා. මෙහෙම දැන් ගෙන ගිය අය කිහිපදෙනෙක් අත්අඩංගුවටත් අරගෙන තිබෙනවා. අපේ විශ්‍රාමික සෙබළුන්ට හරිහැටි ආදායමක් නැති නිසා මෙහෙම යනවා. ආණ්ඩුව මේ ගැන ගනු ලබන පියවර මොකක්ද කියලා මම අහනවා. මොකද අද ලංකාවේ හමුදාවේ අය දෙපැත්තටම බෙදිලා දෙපැත්තේ ඉඳන් ගහ ගන්නවා. වෙනදා අපි එකතුවෙලා එල්ටීටීඊ එකට විරුද්ධව සටන් කළේ. අද ශ්‍රී ලංකා හමුදාව රටවල් දෙකකට මැදිවෙලා අපේ අය අපිටම ගහ ගන්නවා.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා- මේ ගැන දැන් පොලිසියට තොරතුරු ලැබිලා තිබෙනවා. රැකියා ඒජන්සි මගින් මේ විදිහට යුක්‍රේනයට හෝ රුසියාවට ගෙන ගිහින් වෙනත්

රැකියාවල් වෙනුවට යුද්ධයට දානවා කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ගැන තොරතුරු හොයා බලනවා, පොලිසිය මේ ගැන පරීක්ෂා කරනවා. මේ සියල්ල පිළිබඳ සම්පූර්ණ විස්තරයක් හෙට දින විශේෂ ප්‍රකාශයක් මහජන ආරක්ෂක ඇමැති විසින් සිදු කරනවා ඇත’

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment