රට බංකොලොත් කරපු හිටපු ජනපති අද ජනතා මුදලෙන් නඩත්තු වෙනවා

109

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

“රට බංකොලොත් කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා මුදලින් හොඳ ගෙදරක ආරක්ෂාවක් ඇතුව රජයේ වාහන එක්ක සැප සම්පත් භුක්ති විඳින බවත්, ඔහුට අමතරව රට බංකොලොත් කරපු සියලුදෙනා තවමත් නිදැල්ලේ සිටිනවා” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (16 දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

රටක් බංකොලොත් කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි මීට අවුරුදු තුනකට කලින් මේ රටේ ජනතාව රවට්ටලා පත්කෙළේ. හැබැයි ඒ අය තවමත් නිදැල්ලේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒකට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ ජනතා මුදලින් හොඳ ගෙදරක ආරක්ෂාවක් ඇතුව රජයේ වාහන එක්ක ඒ සැප සම්පත් භුක්ති විඳිනවා. ඒ විතරක් නෙමෙයි මේ රට බංකොලොත් කරපු සියලු දෙනා තාමත් නිදැල්ලේ ඉන්නවා. අපි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලුවා පාර්ලිමේන්තුවේ කථානායක තුමාගෙන් මේ රට බංකොලොත් කරපු අය කවුද? ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. එය දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද, මහින්ද රාජපක්ෂ මැතිතුමාද, බැසිල් රාජපක්ෂ මැතිතුමාද අජිත් නිවාඩ් කබ්රාල්ද, පී. බී. ජයසුන්දර වැනි රාජ්‍ය නිලධාරීන්ද කවුද මේ විදියට රට බංකොලොත් කළේ කියලා හොයන්න කියලා. නමුත් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නෑ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා මේවා අමතක කරන්න බෑ. මේ රට බංකොලොත් කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නැවතත් මේ කනගාටුදායක දිනයේ සිහිපත් කරන්න කැමතියි.

රට බංකොලොත් කරලා ආණ්ඩුවේ තියෙන එකම බලාපොරොත්තුව අයිඑම්එෆ් ණය පහසුකම. පහුගිය අවුරුද්දේ ඉඳන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගන්න කිව්වා. නමුත් මේ රට බංකොලොත් කරපු දේශපාලනඥයන් ඇතුළු ඒ නිලධාරී කණ්ඩායම තමයි කිව්වේ අපි නම් කවදාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නෑ කියලා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන විසඳුම නම් දැන් අයි.එම්.එෆ්. ලෝන් එකේ තත්ත්වය මොකක්ද? මේ ආණ්ඩුව කිව්වා අගෝස්තු මාසයේදී අපිට ලැබෙනවා කියලා. ඔක්තෝම්බර් කිව්වා, නොවැම්බර් කිව්වා දැන් නොවැම්බර් ඇවිත්. දැන් කියනවා දෙසැම්බර් කියලා. හැබැයි ඒ එන පාටකුත් නැහැ. ඒ නිසා අද මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ. මේ රට වැටිච්ච වළෙන් ගොඩ එන්න. එක්කෝ අයි.එම්.එෆ්. සරණං ගච්ඡාමි එහෙම නැත්නම් විකුණන් සරණං

ගච්ඡාමි. එක පැත්තකින් අයි.එම්.එෆ්. එක එනකම් බලං ඉන්නවා. අනිත් පැත්තෙන් අයවැයේදී ඉදිරිපත් කරලා තියෙනවා ඉතාම ලාභ ලබන රාජ්‍ය ආයතන ටිකක් විකුණන්න. අපිට කිසිම ගැටලුවක් නෑ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළාට. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන් පාඩු ලබනව නම් කෝටි ප්‍රකෝටි ගාණක් ජනතාවට ඒ පාඩුව තුළින් තවත් බරක් වෙනවා නම් ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න.

ලාභ ලබන ආයතන වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන බිලියන ගණන් ලාභ ලබනවා. රජයට ආදායම් උපදවන මේ ආයතන දෙක විකුණන්නයි මේ ආණ්ඩුව අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟයි. හැබැයි මේ ලාභ ලබන ආයතන විකුණනවා කියන එක මහා අපරාදයක්. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුගත කරන්න. ලාභ ලබන ආයතන විකිණීම වහාම නතර කරන්න. ඒකට අපි විරුද්ධයි.

2020 මැතිවරණයේදී එක පාර්ලිමේන්තු පුටුවක්වත් ලබා නොගත්ත, රට ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද රටේ ජනාධිපති වෙලා ඉන්නවා. රටේ ජනමතය අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. සම්පූර්ණම විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක්.

අකිත පෙරේරා,

advertistmentadvertistment
advertistmentadvertistment