පාස්කු විවාදයේදී මෛත්‍රී – ෆොන්සේකා ‘ගිනි පිඹිති’

282

පිස්සා – නිවටයා නරුමයා වචන රැව්දෙයි

මහ මොළකාරයෝ දෙන්නයි එක්කෙනෙක් ගෝඨාභය අනික් කෙනා මෙයා – සරත් ෆොන්සේනා

මෙයා මූලස්ථානය බේරාගන්න බැරි වුණු හමුදාපති කෙනෙක්: බෝම්බත් කෑවා – මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ප්‍රහාරයට බයෙන් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රටින් පැන ගොස් ඉන්දියාවේදී වත්මන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ හමුවූ බවට මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා (සජබ) විසින් කරන ලද චෝදනාවක් හේතුවෙන් දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) උණුසුම් තත්ත්වයක් ඇති විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී මෙම තත්ත්වය ඇති වුණි.

එහිදී දෙදෙනා අත් දිගු කර ගනිමින් විවිධ චෝදනා එල්ල කර ගත් අතර ඇති වූ එම සංවාදය මෙසේය.

සරත් ෆොන්සේකා මහතා-

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු පියවර භාර දූර කටයුත්තක්. ඒ සඳහා විශේෂ තීන්දුවක් ගන්න ඕනා පොලිස් ඇඳිරි නීතිය දැමීම වැනි දෙයක්. ඒ තීන්දුව ගන්න ඕනේ ආරක්ෂක කවුන්සලයෙන්. නමුත් ආරක්ෂක කවුන්සලේ රැස් නොවුණු නිසා ඒ නිලධාරීන්ට ඒ ගැන අවසරයක් ගන්න බැරිවුණා. එහෙම කරන්නේ නැතුව මෛත්‍රිපාල සිරිසේන අප්‍රේල් 21ට දවස් 04කට පෙර රටින් ඉන්දියාවට පැනලා ගියා. එතැනින් සිංගප්පූරුවට පැන්නා. ඒ ඉන්දියාවේ හිටපු කාලේදී මට සියයට දාහක් විශ්වාසයි මොහු අනිවාර්යයෙන්ම සලේ හමුවෙන්න ඇති. ජනාධිපති කෙනෙක් එහෙම රටකට යනවා නම් ඒ රටේ තානාපති කාර්යාලයේ සිටින ආරක්ෂාව ගැන සිටින නියෝජිතයා ඇවිත් අනිවාර්යයෙන් ජනපති හමුවෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා-

සලේ හිටියේ කොහෙද තිරුපති තිබෙන්නේ කොහේද? මම ඉන්දියාවේ ගිහින් තිබෙනවා ඕනා තරම්. නමුත් මම සලේව කවදාවත් හමුවෙලා නෑ. එයා ඉන්න තැනක් ගැන දන්නෙත් නෑ. මේ පට්ටපල් බොරු කියන්නේ. හමුදාපති ලෙස ඉන්නකොට මෙයාට තමන්ගේ කාර්යාලයට ඇවිත් පහර දුන්නා.

සරත් ෆොන්සේකා මහතා-

ඒවාට මම උත්තර දෙන්නම්. මේ පිස්සා හැමදාම ඔය කතාව කියනවා. මෙයා හිතාගෙන ඉන්නේ යුද හමුදා මූලස්ථානය සහ හමුදාපති කියන්නේ එහි ආරක්ෂක මුරය භාරව ඉන්න කෙනා කියලායි. මේ වල්ගේ පාගගෙන කතා කරන්නේ. එහි ආරක්ෂාවට වෙනම ජෙනරල් කෙනෙක් හිටියා. ඒකට හමුදාපති වග කියන්නේ නෑ. ප්‍රහාරය එල්ල වෙනකොට සිංගප්පූරුවට දවල් 12යි. එදා 03ට ගුවන් යානයක් ආවා. ඒත් එකේ ආවේ නෑ. හැංගිලා හිටියා හෝටලයට වෙලා. ඇඳ යට ඉඳලා තියෙන්නේ. කාමරයට ගෙන්න ගෙන කෑම කාලා තිබෙන්නේ. දැන් ලේ රත් වෙලා කෑ ගහනවා. මේ ඉන්නේ මහ මොළකාරයා. මහ මොළකාරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ගෝඨාභය. අනෙක් කෙනා මෙයා. සලේ කියන්නේ මැද පෙළ මිනිහෙක් විතරයි. මම එදා ඇහුවම තේරීම් කාරක සභාවේදී ඇයි වහාම රටට ආවේ නැත්තේ කියලා ඒ ගුවන් යානාවල සීට් තිබුණේ නෑ කිව්වා. ඒත් බොරු. මෙහේ මිනිස්සු නිදා ගත්තහම රෑ 01ට තමයි ආවේ. මේ වගේ නිවට ජනාධිපති කෙනෙක් ලෝකයේම ඉන්නේ නැතුව ඇති. මම එදා හමුදා මූලස්ථානයේ ආරක්ෂාව තර කළා. 200 හිටපු තැනට සෙබළු 500ක් දැම්මා. කර්නල් වෙනුවට ජෙනරල් කෙනෙක්ට ආරක්ෂාව භාර දුන්නා. ඒත් මෙයා එදා බෝම්බ ගහයි කියලා ලේකම්ගේ වාහනේට නැගලා ලේකම්ව එයාගේ වාහනයේ යැව්වා. බෝම්බේ වැදුණේ ලේකම්ට. මේ වගේ නිවට වැඩ අපි කළේ නෑ. මම උතුරට නිතර ගියා. මගේ හෙලිකොප්ටරයට ගහයි කිව්වාත් අපි භය වුණේ නෑ. මෙයා පොදු අපේක්ෂකයෙක් වුණා. අපිට ඒක ලැජ්ජයි. මෙයා හිටපු ග්‍රාමසේවක කෙනෙක්ලු. ඒක ග්‍රාම සේවක නිලධාරීන්ටත් ලැජ්ජාවක්.

මෛත්‍රීපාල සිරිසේන මහතා-

මේ පට්ටපල් බොරු කිව්වේ. මෙයා හමුදාපති කාලේ අපේ කොල්ලෝ දාහ එක්දහස් පන්සීය මැරුණේ. ඒවා ගැන මොනවත් කතා නෑ. හමුදා මූලස්ථානය රැක ගන්න බැරි හමුදාපති. බෝම්බේ වැදිලා බඩවැල් ගෙනිච්චේ එක වාහනයක. මෙයාව ගෙනිච්චේ තව වාහනයක. පාස්කු පිළිබඳ පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්පූර්ණයෙන්ම ඒක පාක්ෂිකයි.

සරත් ෆොන්සේකා මහතා-

මම හමුදාපති කාලේ දාහක් එක්දහස් පන්සීයක් මැරුණා නොවෙයි සෙබළු පන්දහස් දෙසීයකගේ ජීවිත නැති වුණා. ඒ අය වීරයෝ යුද පිටියට ගිහින් ඒ කැප කිරීම කළේ. ඒ කැපකිරීම නිසායි ත්‍රස්තවාදියෝ 25000ක් මැරුවේ. අනෙක මගේ බඩවැල් එළියට ආවා කියනවා හැමදාම. හමුදාපතිගේ බඩවැල් කැඩුනහම ඒක ගැන කියන නරුමයෙක් කොහොමද මේ රටේ ජනාධිපති වුණේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment