නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනයේ මළගමද?

1140
අධ්‍යාපන අවස්ථා සඳහා සමාන ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, සමාජ ආර්ථික විෂමතා අවම කිරීම සහ සමාජ හා ආර්ථික සංවර්ධනය පෝෂණය කිරීම ඇතුළු විවිධ හේතූන් මත පිහිටා “නිදහස් අධ්‍යාපනය” අප රටෙහි නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන්නේ 1945 දා සිටය. එදා මෙදා තුර පැවති බොහෝ රජයන් යටතේ මෙන් ම වර්තමාන රජයේ ද උත්සහය වන්නේ මෙරට ජීවත් වන සියලු දෙනාට ම නොමිලයේ ලැබෙන මේ විශාලත ම වත්කම අපට අහිමි කිරීමටයි. මෙය එක්තරා ආකාරයකින් වසර ගණනාවක් පුරාවට අපට නොමිලේ සෙල්ලම් කිරීමට තිබූ ක්‍රීඩා පිටිය අහිමි කිරීමකි. නිදහසේ සහ නොමිලේ සෙල්ලම් කිරීමට හැකියාව ලැබූ නිසා මෙම ක්‍රීඩා පිට්ටනියේ සියලු ආකාර පුද්ගලයන් ඔවුන්ගේ සමාජ ආර්ථික පසුබිම නොසලකා ක්‍රීඩා කළහ. එහෙත්, අද වන විට ඔබ මා ඇතුළු සියලු ම දෙනා ක්‍රීඩා කළ පිට්ටනිය අහිමි කිරීමට සහ නොමිලේ සෙල්ලම් කිරීමට ලැබූ අවස්ථා අහිමි කර ක්‍රීඩා පිටිය කඩා බිඳ දමා සමතලා කිරීමට රජය උත්සහ දරමින් සිටිති. ඔවුන් මේ උත්සහ දරන්නේ නිදහස් අධ්‍යාපනය වළලා දැමීමට ය.

නිදහස් අධ්‍යාපනයට රජය මෙතරම් බය ඇයි?

අධ්‍යාපනය යනු පුද්ගලයන්ට සහ සමස්තයක් වශයෙන් සමාජයට දිගුකාලීන ප්‍රතිලාභ ලබා දෙන මානව ප්‍රාග්ධනයේ ආයෝජනයකි. එය එක්තරා ආකාරයකින් පුද්ගලයා සවිබල ගැන්වීමකි. දැනුම, කුසලතා සහ විවේචනාත්මක චින්තන හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීමෙන් පුද්ගලයාට තමා දැනුම්වත් භාවයෙන් යුක්ත තීරණ ගැනීමට, සිවිල් ජීවිතයට ක්‍රියාකාරීව සහභාගී වීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව ලබා දෙයි. පුද්ගලයා තම පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පෙනී සිටිනවාට රජය බය ය; තමන්ගේ ස්වයං තීරණවල විශ්වාසනීයත්වය තහවුරු කර ගන්නවාට රජය බය ය.

නව ලිබරල් විශ්වාසයන් කරපින්නා යමින් රනිල් වික්‍රමසිංහගේ රජය අධ්‍යාපනය ‘අයිතිවාසිකමක්’ ය, ‘නිදහස්’ ය, ‘නොමිලේ’ ය යන තේමාව පසෙක ලා අධ්‍යාපනය “ව්‍යාපාරික ආයෝජනයක්” ලෙස සලකමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කරළියට ගෙන ඒමට සූදානම් ය. එය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට පිඹුරුපත් සකසා අවසන් ය.

අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති රාමුවක් යැයි කියන විට ඔබට සිහියට නැඟෙනු ඇත්තේ විද්වත් මණ්ඩලයක් විසින් ඉතා සාරගර්භව සම්පාදිත ගරු ගාම්භීර ලියැවිල්ලක් විය හැක. එහෙත්, මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සමන්විත වන්නේ පිටු හතළිස් තුනකිනි. මේ පිටු හතළිස් තුන ලිවීමට සම්මාදම් වී ඇත්තේ 25 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නිසා මෙයින් ගම්‍ය වන්නේ එක් කමිටු සාමාජිකයකු විසින් පිටු එකහමාරක් ලිවීමට සම්මාදම් වී ඇති බව ය. මෙහි අරුම පුදුම හාස්‍ය වන්නේ කිසිම අධ්‍යාපනඥයකු හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හෝ රාජ්‍ය අධ්‍යාපනයට වගකිව යුතු කිසිදු නිලධාරියකු හෝ අවම වශයෙන් පාසල් ගුරුවරයකුවත් මේ කමිටුව නියෝජනය නොකිරීමයි. ව්‍යාපාරික ප්‍රජාවකින් සමන්විතව පැවති කමිටුවේ සාමාජිකයන් ලෙස සේවය කර ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ නියෝජිතයන් ය, පුද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන් ය, හෝටල් හිමිකරුවන් ය. මෙවන් ප්‍රජාවකට අධ්‍යාපනය නිදහස් හෝ නොමිලේ ලබා දීම පාඩු ලබන ව්‍යාපාරයකි. ඔවුන්ට අනුව අධ්‍යාපනය පැවතිය යුත්තේ ලාභ ලැබීමටය. ඒ නිසා ඔවුන්ට අධ්‍යාපනය ව්‍යාපාරික ආයෝජනයක් මිස අන් කවරක් නොවේ.

අධ්‍යාපනය ව්‍යාපාරික ආයෝජනයක් වූ කල එසේත් නොමැති නම් ලාභ ලබන භාණ්ඩයක් බවට පත් වූ විට සිදු වන්නේ කුමක් ද?

අධ්‍යාපනය ලාභදායී භාණ්ඩයක් බවට පරිවර්තනය වන විට එය බුද්ධිමය වර්ධනය, පුද්ගල සංවර්ධනය සහ සමාජ ප්‍රගතිය පෝෂණය කිරීම අරමුණු කරගත් යහපතක් සමාජයක් ලෙස පැවතීමේ සාම්ප්‍රදායික භූමිකාවේ ගැඹුරු වෙනසක් සිදු කරනු ඇත. ඒ වෙනුවට, එය මූලික වශයෙන් සහජ වටිනාකමට වඩා වෙළඳපළ වටිනාකම අවධාරණය කරමින් මූල්‍ය ප්‍රතිලාභ උත්පාදනය කිරීමේ මාධ්‍යයක් බවට පත්වනු ඇත. මෙම වෙනස පුද්ගලයන්, ප්‍රජාවන් සහ සමාජයේ පුළුල් ව්‍යුහය සඳහා දුරදිග යන ඇඟවුම් ඇති අතර, සමානාත්මතාව, ප්‍රවේශය සහ අධ්‍යාපනයේ මූලික අරමුණ පිළිබඳ මහත් ගැටලු මතු කරනු ඇත.

අධ්‍යාපනය ව්‍යාපාරික ආයෝජනයක් ලෙස සැලකීමේ දී වැදගත් ම ප්‍රතිවිපාකය වන්නේ දැනට පවතින අසමානතාවන් තවත් උග්‍රවීමයි. වෙළෙඳපොළ මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් තුළ, ගුණාත්මක අධ්‍යාපනයට ප්‍රවේශය ගෙවීමට ඇති හැකියාව මත රඳා පවතී. තම අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති, අවාසි සහගත පසුබිමක සිටින අයට ඔවුන් තවදුරටත් කොන් කර, දරිද්‍රතාවයේ සහ සමාජ ස්ථරීකරණයේ චක්‍ර ස්ථීර කරනු ඇත. මෙය පද්ධතිමය අසාධාරණයන් ශක්තිමත් කරමින් දියුණුව සඳහා අවස්ථා අසමාන ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කරනු ඇත. ඇති-නැති පරතරය තවදුරටත් විස්තාරණය කරනු ඇත.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ දී ගුණාත්මක අධ්‍යාපනයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දීමට හේතු වේ. විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය, සෞන්දර්ය, ඉතිහාසය සහ ආගම වැනි පුද්ගල ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන විෂයන්ට වඩා ආයෝජන මත ඉහළ ප්‍රතිලාභ ලබාදෙන පාඨමාලා සහ වැඩසටහන් සඳහා ආයතන ප්‍රමුඛත්වය දිය හැකි ය. අධ්‍යාපනය සඳහා වන මෙම කූඨ උපක්‍රමශීලී ප්‍රවේශය පුද්ගල හා බුද්ධිමය වර්ධනයේ මාධ්‍යයක් ලෙස එහි ඇති සහජ වටිනාකම මෙන්ම සමාජයට අර්ථවත් ලෙස දායක විය හැකි දැනුවත් සහ නියැලී සිටින පුරවැසියන් පෝෂණය කිරීමේ එහි කාර්යභාරය අඩපණ කරනු ඇත. එය යම් ආකාරයකින් සමස්ත සමාජය බිඳ වැට්ටවීමකි.

අධ්‍යාපනය යනු හුදු මූල්‍යමය ප්‍රතිලාභ සඳහා ගනුදෙනු කිරීමේ දැනුම හුවමාරුවක් නොව සමාජගත කිරීමේ, සංස්කෘතික සම්ප්‍රේෂණයේ සහ මානව සංවර්ධනයේ ක්‍රියාවලියකි. අධ්‍යාපනය තනිකරම වෙළෙඳ භාණ්ඩයක් ලෙස බැලීමෙන් ඉගෙනීමේ පුළුල් සමාජ හා සංස්කෘතික මානයන් හෑල්ලු වනු ඇත, ලාභය මත ම පදනම් වූ ව්‍යවසායකයන් බවට පත් කිරීමෙන්, සංවේදනය, ඉවසීම සහ සාමූහික වගකීම පිළිබඳ හැඟීම වර්ධනය නොවූ පුළුල් සමාජ ප්‍රතිලාභ කෙරෙහි තැකීමක් නොකරන ප්‍රජාවක් බිහිවනු ඇත.

මීට අමතර ව, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් වීම ශාස්ත්‍රීය නිදහස සහ බුද්ධිමය ස්වාධීනත්වය ඛාදනය වීමට හේතුවකි. ආයතන වෙළෙඳපළ බලවේගවලට හසු වූ විට, අධ්‍යයන අඛණ්ඩතාව සහ බුද්ධිමය ස්වාධීනත්වයට වඩා ආයතනික අනුග්‍රාහකයන්ගේ, පරිත්‍යාගශීලීන්ගේ හෝ වෙනත් බාහිර පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමේ ප්‍රවණතාවක් පවතී. මෙය විසම්මුතික හඬ යටපත් කිරීමටත්, ශාස්ත්‍රීය විමර්ශන සීමා කිරීමටත්, තමන් වෙනුවෙන් දැනුම හඹා යෑම අඩපණ කිරීමටත් හේතු වනු ඇත. අධ්‍යාපනය ලාභදායී භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීම නියෝජනය කරන්නේ එහි අරමුණ සහ වටිනාකමෙහි මූලික විකෘතියකි. මානව සංවර්ධනය, සමානාත්මතාවය සහ පොදු යහපතට වඩා මූල්‍ය ප්‍රතිලාභවලට ප්‍රමුඛත්වය දීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමානාත්මතා සමාජයක පදනමම යටපත් කිරීමේ අවදානමක් ඇත. අපට අප නැතිවීමට ඇත්තේ තව දින කිහිපයකි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අප පරාජය කළ යුත්තේ ඇයි?

“සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇත” යන්න දක්වමින් අධ්‍යාපනය මූලික මානව අයිතිවාසිකමක් සහ පොදු යහපතක් ලෙස පිළිගනු ලැබූයේ 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ය. මෙයින් අවධාරණය කරන්නේ පුද්ගලයන්ගේ සහ සමාජවල සංවර්ධනය සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍ය වන බවයි. මිනිසුන්ට තම සිවිල් ජීවිතයට පූර්ණ ලෙස සහභාගී වීමට, ඔවුන්ගේ අභිලාසයන් ලුහුබැඳීමට සහ ආර්ථික හා සමාජ ප්‍රගතියට දායක වීමට හැකියාව ලැබිය යුතු බවයි.

එහෙත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් පැමිණෙන්නේ එදා මහජනතාව විසින් පරාජය කරනු ලැබූ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” වෙනත් හැඩයකිනි. මහජනතාව ගොනාට ඇන්දවීම පිණිස මෙහි සිංහල සහ ඉංග්‍රීසි පිටපත් දෙක ආකාර දෙකකින් පැමිණ ඇත. සත්‍ය සඳහන් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ මුල් පිටපතේ වූවත් පරිවර්තන සිංහල පිටපතේ ඇත්තේ අර්ථ විකෘති කරනු ලැබූ ව්‍යාජ කාරණාවන් ය. වැඩි බහුතරය සිංහල කතා කරන සමාජ පසුබිමක මෙය හිතා මතා කියවන්නා නොමඟ යැවීමට කළ සටකපට උපක්‍රමයකි. වසර 2024 අප අතරට ගෙන එනු ලැබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සමහරක් කරුණු 1982 ධවල පත්‍රිකාවේ ද එයාකාරයෙන් සඳහන් වේ. පොකුරු පාසල් ව්‍යාපෘතිය එක් නිදසුනකි. පොකුරු පාසල් සංකල්පයෙන් කියැවෙන්නේ සම්පත් පාසල් හරහා අනෙකුත් පාසල් යැපීමයි. සෑම පාසලකට ම මුදල් වෙන් නොකර පොකුරු පාසල් හරහා මුදල් විමධ්‍යගත කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ පාසල්වල වගකීමෙන් නිදහස් වීමයි. එවිට පාසල්වල වගකීම පැවරෙන්නේ පළාත් සභාවලට ය. එපමණක් නොව, පොකුරු පාසල්වලට අවශ්‍ය සම්පත් ලබාදීම හරහා සිදුවන්නේ සම්පත් රහිත දුෂ්කර පාසල් සම්පත් සහිත පාසල්වලින් යැපීමට සිදු වීමයි. මෙය සැමට අධ්‍යාපනය මෙන් ම සම්පත් තුලනය අහෝසි කිරීමකි. වෙනත් ආකාරයකින් මෙයින් සිදුවන්නේ සමස්ත පාසල් අධ්‍යාපනය ම දියාරු කිරීමකි.

අධ්‍යාපනය කුමකට දැයි විමසුවහොත් ඔබේ පිළිතුර වන්නේ අධ්‍යාපනය පුද්ගලික සංවර්ධනය සඳහාය, වෘත්තීය දියුණුව සඳහා ය, සමාජ සංචලනය සඳහාය, සිවිල් නියැලීම සඳහා ය, සංස්කෘතික සංරක්ෂණය සඳහාය, ආර්ථික සංවර්ධනය සඳහා ය යන්න ය. එහෙත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අනුව ඉංග්‍රීසි භාෂාව මත පදනම් වූ අධ්‍යාපනය පවතින්නේ තොරතුරු තාක්ෂණය සඳහා ය, කෘත්‍රීම බුද්ධිය සඳහා ය. උගත් ප්‍රජාවක සහය නොගෙන ව්‍යාපාරික ප්‍රජාවක් මත පිහිටා අධ්‍යපනයක ප්‍රතිපත්ති පිහිටුවීම කෙතරම් ඛේදජනක ද? මෙහි ඇති භයානකත්වය වන්නේ මෙතෙක් සමාගම් පනතක් හරහා ලියාපදිංචි කරනු ලැබූ පුද්ගලික පාසල් අධ්‍යාපන ආයතන ලෙස නීත්‍යානුකූලභාවයක් ලබා දීමට කර ඇති යෝජනාවයි. නීත්‍යානුකූලභාවය ලැබූ පසුව සිදුවන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් භාෂා ප්‍රවීණතා ලබන දරුවන් ඉතා පහසුවෙන් තම ප්‍රවීණතා මට්ටමට ළඟා වීමත්, රජයේ පාසල්වල දරුවන්ට ප්‍රවීණතා මට්ටමට ළඟා වීමට අපහසු වීමත් ය. අප දන්නා සත්‍ය වන්නේ රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට හැකි ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවයි. පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ පාසල්වල ශිෂ්‍යයන් මෙන් ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ප්‍රමාණවත් තරමේ ඉංග්‍රීසි ප්‍රවීණතාවක් නොමැති බවයි. මෙවන් පසුබිමක් ඇති වටපිටාවක, බිම් මට්ටමේ පවතින ගැටලු නොවිසඳා රජය ප්‍රතිපත්ති රාමුව හරහා වරප්‍රසාද සහිත පන්තියක් වෙනුවෙන් කැපවන ආකාරය පෙන්නුම් කරයි.

අවසාන වශයෙන්, හාස්‍ය කරුණ වන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකසා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය නො දැනුවත්ව ය. ඉදින්, රටේ අධ්‍යාපනයට වගකිව යුතු අමාත්‍යාංශය මේ ගැන නොදනී නම් මෙම අරුම පුදුම ලියැවිල්ල පරාජය කරනු විනා වෙන කුමක් කරමුද?

ඡායාරූපය -අන්තර්ජාලය ඇසුරිනි

ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර
අධ්‍යාපන පීඨය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment