සුපිරි පාඩුවට වගකිවයුතු තේ ‘ලොක්කා’ නිදැල්ලේ

574

දූෂණ චෝදනා එල්ල වී ඇති බව කියන තේ මණ්ඩලයේ ඉහළම බලධාරියකුගේ කටයුතු නිසා තේ අපනයන ක්‍ෂේත්‍රයට රුපියල් කෝටි 2000 කට අධික පාඩුවක් සිදුවී ඇතත් එම නිලධාරියා තවමත් සුපුරුදු ලෙස සිය රාජකාරියේ නිරත වන බව තේ මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරියාගේ අක්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත්කළ බවත් (CTTA) වැරදි තොරතුරු සැපයීම වැනි ක්‍රියා සිදුකර ඇති බවට අනාවරණය වීම නිසා තේ ඉතිහාසයේ ඉහළම වන්දිය වූ මිලියන 10 ක් ගෙවීම, ලිඛිතව සමාව ගැනීම ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්වීමට සිදු වූවත් නැවත වරක් ඔහු සුපුරුදු ක්‍රියාවලියේම යෙදෙන බව සේවකයෝ පවසති.

මෙම නිලධාරියාට දූෂණ චෝදනා සහ දඩ ගෙවීමට සිදුවූවත් ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරයා මෙතෙක් කිසිදු නීතිමය පියවරක් නොගැනීම මවිතයක් බව ද ඔවූහු කියා සිටිති. මොහු බෝර්න් එගේන් භක්තිවන්තයකු බවට නිදසුනක් වන්නේ ඔහු තනතුරේ සිටින කාලය තුළදී සිංහල, බෞද්ධ, දමිළ හෝ මුස්ලිම් කිසිවකුත් ආයතනයට බදවා නොගැනීම බව ද සේවකයෝ කියති. මීට පෙර තේ බ්‍රෝකර් සමාගමක සේවය කර ඇති මොහු මේ වනවිට බෝර්න් එගේන් භක්තිවන්තයකු කොමසාරිස් ධුරයට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසේ.

මෙම කොමසාරිස්වරයා බඳවා ගැනීමට උත්සාහ කරන්නේ තේ මණ්ඩලයේ ඉහළම නිලධාරීන් ලබන වසරේ විශ්‍රාම යෑමෙන් පසු ඊළඟට සිටින සුදුසු නිලධාරීන් තමන්ට අවශ්‍ය අයුරින් පාලනය කරගත නොහැකි බව දන්නා නිසා බවත්, මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා තේ අපනයනකරුවන්ට සිදුවන පාඩුව දරාගත නොහැකි නිසා මෙම නිලධාරියා සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යොමුකර ඇති බවත් සේවකයෝ වැඩිදුරටත් කියා සිටිති.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment