අංගොඩ රෝහලේ රෝගියාගේ මරණයට සේවකයෝ 4 ක් රිමාන්ඩ් – කොසු මිටවලිනුත් පහරදීලා

544

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි රෝගියකුට කොසු මිටවලින් පහරදී මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම රෝහලේ සේවකයන් සිවුදෙනකු ලබන 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 29 වැනිදා නියෝග කළේය.

පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි එම රෝගියා නොසන්සුන්කාරීව හැසිරීමේදී වැටීමකින් අනතුරුව මියගොස් ඇති බව රෝහල් සේවකයන් පවසා තිබුණත් මෙතෙක් සිදුකළ විමර්ශන අනුව සැකකාර රෝහල් සේවකයන් ඔහුට කොසුමිටිවලින් පහරදී ඇති බවට සී.සී.ටී.වී දර්ශන අනුව මෙන්ම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව ද පෙනී යන බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණයට පැවැසූහ.

සැකකාර රෝහලේ සේවකයන් එම පහරදීම සඳහා යොදාගත්තේ යැයි කියන කැඩීගිය කොසු මිටි කැබලි කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර විමර්ශන නිලධාරීන්ගේ එම කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළේය.

එම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එකී මරණය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද රෝහල් අධ්‍යක්‍ෂවරිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ වගකිවයුතු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment