පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් තුනට වෙනස්කම් කළා – ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

111

පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තුනට වෙනස්කම් පෑම, බාධා කිරීම මෙන්ම විරුද්ධ කිරීම් නිසා තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව කියමින් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (03දා) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත් සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට 2021 ජනවාරි මාසයේදී භාරදුන් බව මන්ත්‍රීවරයා කීය.

මේ පනත් කෙටුම්පත් තුන ගැසට් කර 2022 ජූලි 06 දා පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒ සඳහා අදාළ අමාත්‍යාංශයේ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කිරීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව සිදු කෙරෙන්නක් බවද ඒ අනුව එය අමාත්‍යාංශයට යොමු කළ ද 2023 ජනවාරි පළමුවැනිදා තෙක්ම ඒ පනත් කෙටුම්පත් සඳහා අදාළ වාර්තා පාර්ලිමේන්තුවට එවා නැතැයි බාකීර් මාකර් මහතා පැවසීය. එම පනත් කෙටුම්පත් සඳහා වාර්තාවන් අමාත්‍යාංශයෙන් මාස හයක් ඇතුළත නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (7) අනුව අදාළ මන්ත්‍රීවරයාගේ කැමත්ත පරිදි දෙවැනි වර කියැවීම සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකිව තිබෙන අතර ඒ අනුව තමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත 2023 ජූනි 06 දාතම ලිපියෙන් ලිඛිතව ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා කීය.

ඒ පිළිබඳව කිසිදු පියවරක් සිදුනොවීම හේතුවෙන් යළිත් වරක්, 2023 සැප්තැම්බර් 22 දින දාතම ලිපියකින් එම ඉල්ලීම නැවතත් කළ බව ද බාකීර් මාකාර් මහතා පැවසීය. මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත් කෙටුම්පතේ අරමුණ සඳහාම වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් 2022 නොවැම්බර් මස 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද 2022 නොවැම්බර් මස 10 එය පාර්ලිමේන්තුව විසින් විෂය භාර අමාත්‍යවරයාට යොමුකර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කර මාස ගණනකට පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ වාර්තාව තම පනත් කෙටුම්පත සමගින් සම්බන්ධ කර එක් වාර්තාවක් වශයෙන් විෂය භාර අමාත්‍යවරයා විසින් 2023 ජනවාරි මස 05 දා පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලදුව එම වාර්තාව, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව විසින් 2023 පෙබරවාරි 28 සලකා බැලීම සිදු වූ බව පවසන බාකීර් මාකර් මහතා එසේ සලකා බැලීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙකක් වන හෙයින් වෙන් වෙන් වශයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අමාත්‍යාංශයට නියෝග කර තිබෙන බව ද කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment