උසාවි නොවේ වහාම රෝහලට ගෙනියන්න – ජේ.එම්.ඕ. පොලිසියට කියයි

7546

බොරැල්ලේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියාට ඇප
අවම බලය යනු නිරායුධ පුද්ගලයකුට පහරදී අත්අඩංගුවට ගැනීමද?
ජනාධිපති නීතිඥ පොලිසියෙන් අසයි

පසුගිය 28 වැනිදා බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනක් අතරතුරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික මාධ්‍යවේදී තිරිඳු උඩවරගෙදර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 29 වැනිදා නියෝග කළේය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර මාධ්‍යවේදියා නිරීක්‍ෂණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර අද (31) වැනිදා එම ඇප කොන්දේසිය අධිකරණය හමුවේදී සපුරාලන තෙක් රුපියල් ලක්‍ෂයක පෞද්ගලික ඇපයක් මත හෙතෙම මුදාහැරීමට ද නියම කළේය.

සැකකාර මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන පැය 15 කට පමණ පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අතරතුරදී ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. නීතිමය අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා එලෙස එම සැකකරු ඉදිරිපත් කර තිබූ නමුත් සැකකරු පරීක්‍ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඔහුව අධිකරණයට නොව වහාම රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙසට පොලිසියට උපදෙස් දී තිබිණි. එකී උපදෙස් අනුව සැකකරු වහාම රෝහල්ගත කළ පොලිසිය පෙරකී විරෝධතා පාගමනේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාර එල්ල කර හානි කිරීම ඇතුළු චෝදනා යටතේ බී වාර්තාවක් මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී කරුණු දැක්වීය.

වෘත්තීය මාධ්‍යවේදියකු වන සැකකරු එම ස්ථානයට ගොස් ඇත්තේ වෘත්තිය කටයුත්තක් වෙනුවෙන් බවත් ඉන් අනතුරුව ත්‍රිරෝද රථයකට නැග එම ස්ථානයෙන් පිටව යමින් සිටියදී හඹා ආ පොලිසිය ඔහුට පහරදී ඉන් පිටතට ගෙන බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසීය. තමන් ජනමාධ්‍යවේදියකු බවත් මාධ්‍ය ආවරණයක් සඳහා එම ස්ථානයට පැමිණ බවත් ඔහු කොතෙක් පැවසුවත් ඒ කිසිවක් නොතැකූ පොලිසිය අපරාධකරුවකු ග්‍රහණයට ගන්නා ලෙස ඉතා නිර්ලැජ්ජිත ආකාරයෙන් ඔහුට හිරිහැර කරමින් අත්අඩංගුවට ගෙන පොලිස් රථයකට දමාගෙන එම ජීප් රථය තුළදීද පොලිස් නිලධාරීන් තිදෙනකු ඔහුට පහරදී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවැසීය.

එකී පහරදීම් සිදුකළ පොලිස් නිලධාරීන්ගේ නම් හා තනතුරුද අධිකරණයට අනාවරණය කළ ජනාධිපති නීතිඥවරයා සිය කරුණු සටහන් කරගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව එම කරුණු සටහන් කිරීම සිදුකෙරිණි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන විට පොලිස් නිලධාරීන්ට අවනත නොවීම නිසා අවම බලය යොදා අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව බොරැල්ල පොලිස් සථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු එහිදී අධිකරණයට පැවැසූහ. අවම බලය යනු නිරායුධ පුද්ගලයකුට පහරදී අත්අඩංගුවට ගැනීම හා අත්අඩංගුවට ගත් පසුත් ජීප් රථයේ දමාගෙන පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව අමානුෂික ලෙස පහරදීම වන්නේ දැයි පොලිසියෙන් විමසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පොලිස් නිලධාරීන්ගේ එකී අමානුෂික හැසිරීම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රට ලෝකය හමුවේ අනාවරණය කළ බවද පැවැසීය. පොලිසිය නඟන එම චෝදනා සනාථ, කළහැකි කිසිදු සාක්‍ෂියක් පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර ඇත්දැයි විමර්ශන නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපති නීතිඥවරයා කිසිදු සාක්‍ෂියක් හෝ නොමැති අසත්‍ය චෝදනා නඟමින් පොලිසිය උත්සාහ දරනුයේ මහජන විරෝධතා මැඬපැවැත්වීම සඳහා ඔවුන් අනුගමනය කරන නිර්දන ක්‍රියාමාර්ග මධ්‍යවලින් වසංකිරීම සඳහා මාධ්‍යවේදීන් දඩයම් කිරීමක් වන්නේ දැයිද පැවැසීය.

එකී චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සී.සී.ටී.වී. දර්ශන ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් සැකකරු ඊට දින කිහිපයකට පෙරද එම ප්‍රදේශයේ පැවැති වෙනත් විරෝධතා ව්‍යාපාරයකදී පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගන්න ලෙස හැසිරී ඇතැයිද පොලිසිය අධිකරණයට පැවැසීය. ඔහු ඇතුළු පිරිස එම විරෝධතා පාගමන හා රැස්වීම පවත්වා ඇත්තේ පොලිසියේ උපදෙස් පමණක් නොව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගයක් පවා උල්ලංඝනය කරමින් බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවැසූහ.

පෙර සිදුවූයේ යැයි කියන සිදුවීමක් මෙම නඩුකරයට කිසිසේත්ම පාදක කරගත නොහැකි බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවැසීය. මෙම නඩුකරයට අදාළ සිද්ධීන් සිදුවී ඇත්තේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ බලප්‍රදේශය තුළ නොවන බැවින් එම අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය මෙම නඩුකරයට පාදක කරගත හැක්කේ දැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් විමසූ අතර මෙම සිද්ධිය කොළඹ අධිකරණ බලසීමාවේ සිදුවී ඇති බව පොලිසිය එහිදී පිළිගත්තේය.

නීතිඥ සුනිල් වටගල, උපුල් කුමාරප්පෙරුම, ජයන්ත දෙහිඅත්තගේ, රන්ජන් රාමලිංගම් හා ස්වස්තිකා අරුලාලිංගම් ඇතුළු 20 කට අධික නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සැකකාර මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටියේය. එම නඩුව ලබන අගෝස්තු 30 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක විතානගේ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

රජය විසින් දියත් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළු අදූරදර්ශී ක්‍රියාමාර්ග කිහිපයකට විරෝධතා දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඇතුළු පක්‍ෂ හා සංවිධාන කිහිපයක් එම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment