පේරාදෙණියේ සාතන්ගේ රාත්‍රිය

556

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට දෙව්දත් වැඩලා

නීතියට පිටින් වැඩ කිරීම බහුල වෙලා

අයිස් පාටියක් දැයි සැකයක්!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් නොව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ද ඉකුත් සතියේ ආන්දෝලනාත්මක සිද්ධීන් රටටම බෙදා හැර තිබිණි. බුද්ධිමතුන්ගේ තෝතැන්නක් සේ සලකන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙවැනි අශෝභන හැසිරීම් වරින් වර සිදුවෙද්දී එය අනාගතය කරපින්නා ගෙන සමාජගත වීමට සිටින බාල පරපුරට හොඳ ආදර්ශයක් නොවේ.

ඊටත් වඩා සාමාන්‍ය ජනතාවගේ පරිප්පු ඇටෙන් ගසන බද්දෙන් වැටුප් ලබන ආචාර්ය මහාචාර්යවරු කුමක් හෝ හේතුවක් මුල් කර ගනිමින් ඉගැන්වීම බැහැර කිරීම අද වැනි සමාජයක කළ යුත්තක් නොවේ. මේ ගැන සාකච්ඡා කිරීමට පාදක වූ මූලිකම හේතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුට සිසුන් පිරිසක් කළ අකටයුත්ත ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන අතුල සේනාරත්න මහතා මේ වනවිට කටයුතු කරන්නේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙසිනි. ආචාර්යවරයකු ලෙස වසර 43 ක සේවා කාලයක් සපුරා තිබෙන ඔහු විශ්‍රාම ලැබීමට නියමිතව ඇත්තේ මෙම මස 31 වැනි දිනය. මහාචාර්යවරයාගේ නිල නිවස පිහිටා තිබෙන්නේ වළ ලෙස කවුරුත් හඳුන්වන එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රඟහල ආසන්නයේ ය. මෙම රඟහල අසළ සිටි 300 ක පමණ සිසු පිරිසක් පසුගිය 10 වැනිදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිවසට කඩා වැදුණේ ඔහුගේ 38 හැවිරිදි පුතාට අමානුෂික ලෙස පහර දීමෙන් අනතුරුවය. සිසුන් වෙතින් එල්ල වූ ප්‍රහාරයෙන් බේරී නිවස තුළට පැමිණි පුතා පිටතට එවන ලෙස තර්ජනය කිරීමෙන් නොනැවතුන සිසු පිරිසක් මහාචාර්යවරයාගේ නිල නිවස තුළට ඇතුළුවීමට උත්සහ කර තිබුණේ එහි පිටුපස දොරටුවක් කඩා බිඳ දමමිනි.

පේරාදෙණියේ සාතන්ගේ රාත්‍රිය

පුරා පැය තුනක පමණ කාලයක් නිල නිවස ආශ්‍රිත ප්‍රදේශය උණුසුම් මුහුණුවරක් ගත්තේ පොලිසියටත් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයටත් සිසු පිරිස පාලනය කිරීමට නොහැකි වීම නිසාය. නොහික්මුණු සිසුන් දශක හතරකට වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ද පහර දීමට තරම් සැහැසි වී තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස ඒ මහතා රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධයක් වැළඳීමේ අවදානම් සහගත මට්ටමක් දක්වා රුධිර පීඩනය ඉහළ ගොස් තිබූ නිසාය. සිසුන්ගේ ප්‍රහාරයට ලක්ව ඒ වනවිටත් දැඩි අපහසුතාවකින් පසුවූ මහාචාර්යවරයාගේ පුත් විදුර සේනානායක මහතා රෝහල්ගත කිරීම සඳහා විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය නිවසින් පිටතට ගෙනවිත් තිබුණේ සිසුන් වෙතින් එල්ල වූ ප්‍රහාරවලින් බේරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමිනි.

පසුගිය ඔක්තෝබර් මස 13 වැනි දින විශ්වවිද්‍යාලයේ ගෙම්බා ආපන ශාලාව තුළ දී නීති අධ්‍යයන අංශයේ සිසු පිරිසකට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් උණුසුම් වූ විශ්වවිද්‍යාලය යථා තත්ත්වයට පත්ව ගෙවී තිබුණේ සති තුනකට වඩා අඩු කාලයකි. නිසල විශ්වවිද්‍යාල පරිශ්‍රය යළිත් මේ ආකාරයෙන් උණුසුම් වීමට හේතු වී තිබුණේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ පුත් විදුර සේනාරත්න මහතා විසින් පැදවූ මෝටර් රථයට සිසුන්ගේ යතුරුපැදි දෙකක් ගැටීම හේතුවෙන් සිදුවූ අනතුරකි. එසේ විශ්වවිද්‍යාල සිසුන් පැවසුවත් විදුර සේනාරත්න මහතා පවසන්නේ තමන් අතින් එවැනි අනතුරක් නොවුණු බවයි.

‘මම 10 වැනිදා රාත්‍රියේ තාත්තා ගේ නිවසට ආවා. ප්‍රධාන මාර්ගයෙන් නිල නිවසට හැරෙන පාර අවහිර වන විදිහට යතුරුපැදි කිහිපයක් නතර කර තිබුණා. මම වාහනයෙන් බැහැලා ඒ එක් යතුරුපැදියක් උස්සලා පැත්තකට කරන්න උත්සහ කළා. ඒ වෙලාවේ ඒක අනිත් යතුරුපැදියේ වැදිලා යතුරුපැදි දෙකම පෙරලුනා. ඒ වෙලාවේ සිසුන් කිහිප දෙනෙක් ඇවිත් පරුෂ වචනයෙන් බැනලා මට පහර දෙන්න උත්සහ කළා. මම සිද්ධ වුණ දේ කියන්න උත්සහ කළත් ඒ අය ඒකට ඉඩක් දුන්නේ නැහැ. නිල නිවස අසළ ගේට්ටුව ළඟ දී මට හොඳටම ගැහුවා. ඇහැට උඩින් එල්ල වූ පහරක් නිසා ඇහැ ඇතුළට ලේ බැහැලා තිබුණා. ඒ වෙලාවේ තාත්තායි අම්මයි එතන්ට ඇවිල්ලා මාව බේර ගන්න උත්සහ කළා. ඒ වෙලාවේ ඔවුන් ඒ අයටත් පහර දුන්නා. ගෙදර මිදුලේ තිබුණු කුඩා දරුවන්ගේ සෙල්ලම් කාර් රථවලට පවා මේ අය පහර දී තිබුණා. විදුර සේනාරත්න මහතා තමන් මුහුණ දුන් සිද්ධිය විස්තර කළේ එසේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දිනක් ප්‍රතිකාර ලැබ යළි නිවසට පැමිණි මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“මම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවයට එක් වුණේ 1982 සැප්තැම්බර් මාසේ 01 වැනිදා. වසර 43 ක සේවා කාලය තුළ මෙවන් අමිහිරි අත්දැකීමක් මා කිසිදු දිනක ලබා නැහැ. විශ්වවිද්‍යාල දිවියට සමු දී විශ්‍රාම ගැනීමට සති තුනක් වැනි කාලයක් තිබිය දී සිසුන් වෙතින් මේ ආකාර ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මට තිබෙන්නේ පුදුමාකාර දුකක්. මේ ප්‍රහාර සියල්ල වැදුනේ මගේ ශරීරයට නෙවෙයි හදවතට යි. ඒ හදවතේ ඇතිවූ රිදීම මැරෙන තුරුම පහව යන එකක් නැහැ. අන්ත වාමාංශික දේශපාලන කණ්ඩායම් සමග එකතු වී මේ සිසුන් දියත් කරන ප්‍රචණ්ඩත්වයට තිත තැබීම සඳහා සියලු දෙනා එකතු විය යුතු කාලය දැන් එළඹිලා. නිල නිවාසය කියන්නේ පොදු දේපළක්. ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගන්න දරුවෝ මේ විදිහට පොදු දේපළ විනාශ කරනවා නම් ඒ අයගෙන් රටට යහපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. දොර කඩාගෙන ගේ ඇතුළට එන්න තමයි මේ අය උත්සහ කළේ. පුතා කොහොම හරි බේරගෙන ගේ ඇතුළට දැම්මට පස්සේ මායි බිරිඳයි ඇතුළට යාගන්න බැරිව පිටත හිරවුණා. පුතාව එළියට දෙන්න කියලා අපි දෙන්නට ගැහුවා. ඒත් එක්කම මට කලන්තේ ගතියක් ආවා. ඒ අය කතා වුණා මාව අරන් යන්න.

පේරාදෙණියේ සාතන්ගේ රාත්‍රිය

මම හිතන්නේ ඒ අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියේ. එයාලට ඕන වුණේ අපිව මරන්න යි. පුතාගේ කාර් එක හැප්පිලා කියලා කිව්වට යතුරුපැදි වලට කිසිම හානියක් වෙලා නැහැ. ඒවට හානි වුණා කියලා තමයි පුතාට ගහලා තියෙන්නේ. මේ පිරිස පොලු අරන් ආවේ. මගේ වසර 43 ක සේවා කාලය තුළ ළමයෙකුගෙන් කුණුහරුපයක් තියා සැර පරුෂ වචනයක්වත් මම අහලා නැහැ. ළමයින්ට මම ආදරෙයි. මේ ළමයි මෙච්චර දරුණු වුණේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකුත් මෙතන හිටියා. එයා දැන් ශිෂ්‍යයෙක් නොවෙයි. පහර දෙන්න පැමිණි අයව මම අඳුර ගනිමින් ඉන්නවා. මේක කළ අය අඳුර ගන්න මට පුළුවන්. සී.සී.ටී.වී. දර්ශනවලින් ලබාගත් ඡායාරූප සියල්ල පොලිසියට දෙනවා. පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක කරයි කියලා හිතනවා. ක්ලාන්ත ගතියක් ආවට පස්සේ මාව විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට අරන් ගිහින් එතන දී රුධිර පීඩනය පරීක්ෂා කරලා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා. මේ තරම් ආවේගශීලී වෙන්න මේ අය මත්ද්‍රව්‍ය අරන් හිටියද කියලා මට සැකයි. පේරාදෙණිය වළේ අයිස් පාටියක් තිබිලා ද කියලා හිතන්න හේතු තිබෙනවා. එදා වළ ළඟ බයිසිකල් ගොඩක් තිබිලා. විශ්වවිද්‍යාලය ආරක්ෂිතයි කියලා අපි හිතාගෙන හිටියේ. ශිෂ්‍යයෝ අපිව බලා ගනියි කියලා නිතරම අපි හිතුවා. ඒත් විශ්වවිද්‍යාල තුළදී මට මරණ බය දැනුනා. මේ ප්‍රචණ්ඩ සිසු කණ්ඩායම් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කළ යුතුයි. විභාග නොකර විශ්වවිද්‍යාලවල රැඳී සිටිමින් අන්ත වාමාංශික දේශපාලනයේ නිරත වෙන සුළු පිරිසක් ඉන්නවා. මේ අය රැකියාවක් කරන්න උනන්දු නැහැ. දේශපාලනය කරලා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් වෙලා සංවර්ධනයට බාධා කරමින් ජනතාවට හිරිහැර කරමින් ඉන්න තමයි මේ අයට ඕන. රටේ නීතියට විශ්වවිද්‍යාල පද්ධතිය යටත් වන දවසට තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ.

පේරාදෙණියේ සාතන්ගේ රාත්‍රිය

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මෙන්ම විශ්වවිද්‍යාලය මගින් ද පරීක්ෂණ ආරම්භ කර තිබිණි. පහරදීම සිදුකර පැය 24 ක් ගත වන්නට මත්තෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මහචාර්යවරයාටත් පුතා ඇතුළු නිවැසියන්ටත් පහර දී නිල නිවසට අලාභහානි කළ සිසුන් 12 දෙනකු හඳුනා ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් සමත්වූහ. පරීක්ෂණ අවසන් වනතෙක් ඔවුන් සියලු දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට තීරණය කළ පාලනාධිකාරිය මහපොළ ශිෂ්‍ය දීමනා නතර කිරීමට ද පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියොජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා මෙසේ කීවේය. ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු සිද්ධියට ඍජුව සම්බන්ධව සිටි සිසුන් 12 දෙනකු හඳුනා ගත්තා.

විශ්වවිද්‍යාල බලධාරීන්, විනයපාලකවරයා, ආරක්ෂක අංශ සාමාජිකයන් පොලිසිය හා සම්බන්ධවී සහයෝගයෙන් කටයුතු කර අදාළ සිද්ධියට සම්බන්ධ සිසුන් හඳුනාගෙන නීතිමය කටයුතු ක්‍රියාත්මක කරනවා. සිසුන්ගේ කලහකාරී හැසිරීම් සෑම කාලයකම නිරීක්ෂණය වී තිබුණත් මේ ආකාරයට ආචාර්යවරයකුට සහ පවුලේ උදවියට පහර දුන් අවස්ථාවක් වාර්තා වී නැහැ. මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් බහුතරයක් වසර දෙකක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලද අයයි. ඔවුන්ට විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව අවබෝධයක් තිබේද යන්න පිළිබඳව සැකයක් තිබෙනවා.

ආවේක්ෂණ කැමරාවලින් හඳුනා ගෙන ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් විශ්වවිද්‍යාලය මගින් වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිසියට භාර දී තිබිණි. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

පේරාදෙණියේ සාතන්ගේ රාත්‍රිය

ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් නව දෙනෙකු විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තිදෙනෙකු විද්‍යා පීඨයේත් අධ්‍යාපනය ලබන අයය. ඔවුන් බහුතරයක් මධ්‍යම පලාතෙන් පිටත පදිංචිකරුවන් ය. බෙලිහුල්ඔය පදිංචි සසංක විකුම් විතාරණ, රඹුක්කන පදිංචි එල්. එම්. වික්‍රමසිංහ, රිදීගම පදිංචි අචල කීර්ති වාසලසිංහ අටුගොඩ පදිංචි හේවා හකුරු ප්‍රමෝද් නිපුනජිත්, ගාල්ලේ පදිංචි කරගොඩගමගේ සම්පත් සඳරුවන්, නිට්ටඹුවෙහි පදිංචි මධුෂාන් තිලකරත්න පදලංගල පදිංචි මනෝජ් තිවංක ගිරිතලේ පදිංචි චරිත් දිල්ෂාන්, හඬගම් වස්ති ගිහාන් සම්පත් උදයංග හේනේගම පදිංචි තිළිණ සඳරුවන්, මාතලේ පදිංචි වලිමුණි ගෙදර බුද්ධික ජයසුන්දර යන සිසුන්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති, දන්ත වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

පේරාදෙණියේ සාතන්ගේ රාත්‍රිය

ඔවුන් සම්බන්ධයෙන් රටේ නීතියත් විශ්වවිද්‍යාල නීතියත් ක්‍රියාත්මක විය යුතුයි. මේ ගැටුමට හේතු වූ කාරණා මොනවා වුණත් සිසුන් ක්‍රියාකර තිබෙන්නේ මේ රටේ නීතිගරුක, විනයගරුක, යුක්තිගරුක පුරවැසියන් හැසිරිය යුතු ආකාරයට නොවෙයි. ඒ අය නීතිය තමන් ගේ අතට අරන් කටයුතු කරන්න උත්සහ කර තිබෙන බව පැහැදිලියි. පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මේ සිසුන්ගේ හැසිරීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. හේතුව කුමක් වුවත් නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. විශ්වවිද්‍යාලය කියන්නෙත් මේ රටේ සමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයක්. ඉන් එහාට ගොස් ශිෂ්‍ය කණ්ඩායම හිටපු කුලපතිවරයාගේ නිවසට හානි කරලා පවුලේ අයට පහර දී තිබෙනවා. විශ්වවිද්‍යාල විනයාරක්‍ෂක නිලධාරීන්ටත් ආචාර්යවරුන්ටත් මොවුන් අවනත නොවී ඉතාමත්ම කලහකාරී අන්දමින් අශෝභන ලෙස හැසිරුණු බවට සාක්‍ෂි තිබෙනවා. සී.සී.ටී.වී. දර්ශන හා අනෙකුත් සාක්‍ෂි ඔස්සේ හඳුනා ගන්නා සිසුන්ට විරුද්ධව රටේ තිබෙන සාමාන්‍යය නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමින් තිබෙන නීති ක්‍රියාත්මක කරන්න කියලා පරිපාලනයෙන් ඉල්ලනවා. නොපමාව ඒ කාරණය සිදුවේ යැයි අපි සිතනවා. මේ වගේ සිසුන් වෙනුවෙන් පෙනී නොසිටින බවට සහතිකය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් අපි බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍ය සංගම් මේවා අනුමත කරමින් ඒවාට දායක වන පුද්ගලයන් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඒක කිසිසේත් අනුමත කරන්න බැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් නිවැරදි ලෙස මේ අවස්ථාවේ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ වගේ සිදුවීම්වලට සිසුන් පෙළඹෙන්නේ ඇයි කියලා පීඨ නවයේම සිසුන් හමුවී පීඨ මට්ටමින් කථිකාවක් ඇති කර ගැනීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ මහචාර්ය ප්‍රභාත් ඒකනායක මහතාට ද මේ ආකාරයෙන් මරණ තර්ජන එල්ල කළ අතර ඒ මහතා ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ද කළේය. විශ්වවිද්‍යාල සිසුන් නීතියට පිටින් යමින් පාලකයන්ට අභියෝග කරන අවස්ථා එන්න එන්නම වැඩි වෙමින් තිබේ. ඇතැම් අවස්ථාවල සිසුන් ඇවිස්සී කලහකාරී තත්ත්වයක් ඇතිවේ යැයි සිතා පොලිසිය ද මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඇල්මැරුණු ස්වරූපයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත. යම් පුද්ගලයකු අතින් වරදක් වුවහොත් ඒ සම්බන්ධයෙන් නීති මගින් ක්‍රියාත්මක කරනු වෙනුවට එම පුද්ගලයාට දඬුවම් පැමිණවීම සඳහා ඊටත් වඩා ලොකු වරදක් කිරීමේ හැකියාව කිසිවකුට නොමැති බව විශ්වවිද්‍යාල සිසුන් තේරුම්ගත යුතුය… විශ්වවිද්‍යාලයට ගිය ද තමන් තවමත් සිසුවකු බවද දරුවන් අවබෝධ කරගත යුතුය. බුද්ධිමතුන් ගේ තෝතැන්නක් සේ සලකන අනාගත පරපුරක් දෑස් අයා බලා සිටින වැඩිමල් සිසු දරුවන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය දැන් දැන් නම් නතර කළ යුතුමය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment