කල් අල්ලන්නට ගිහින් සැනින් පරලොව යන තරුණයෝ!

1982

ස්පාවලට යන සිසුන්ගේ වැඩි වීමක්!
ලිංගික උත්තේජන භාවිතය නිසා මාසිකව අවුරුදු 20-30 තරුණ මරණ පහක්!

සමාජය විපරීත වී ඇතැයි යන්න ඇතැමුන්ගේ මතයකි. ඊට ප්‍රබල ලෙස හේතු වී ඇත්තේ අන්තර්ජාලයයි. තරුණ තරුණියන්ද, පාසල් දරුවන් ද, වැඩිහිටියන් ද, ස්මාට් ජංගම දුරකථන අත තබාගෙන මුළු ලෝකයම නරඹන්නට පටන්ගෙන ඇත. විශ්ව දැනුම වෙනුවට විකෘති කාම ජවනිකා ද නරඹන පිරිස් සිටිතිය. සත්‍යය ඒකය.

මේ වනවිට ඇඟ කීරිගස්සවන පුවතක් පළ වී තිබෙනු දුටුවෙමි. ක්‍ෂණික ලිංගික උත්තේජන ඖෂධ ලබාගැනීම නිසා මෙරට තරුණයන් මියයෑමේ ප්‍රවණතාවක් මතු වී තිබෙන බව ඒ පුවතය.

ක්‍ෂණික ලිංගික උත්තේජන ඖෂධ ගන්නා කොළඹ නගරයේ තරුණයන් පස්දෙනෙක්වත් මසකට මියයන බව ද, කොළඹ හදිසි මරණ පරීක්‍ෂණ කාර්යාල වාර්තාවලින් තහවුරු වී ඇත. සෙසු නගරවල වාර්තා ගත් කල තත්ත්වය අතිශය බියකරුය. වයස අවුරුදු 20 ත් 30 ත් අතර අය මෙලෙස මියයන බවට වාර්තා පළ වී තිබේ.

හිරිමල් යොවුන් වියේදී ලිංගික උත්තේජන ඇතිවීම ස්වභාවයය. එහෙව් තරුණ ගැටව් මෙවැනි ඖෂධ ලබාගන්නේ මන්දැයි පළමු ප්‍රශ්නයය. දෙවැන්න වන්නේ මෙරට තරුණ පරපුර ලිංගික බෙලහීනතාවකට ලක්ව තිබෙන බව ද යන්න සොයා බැලීමට කාලය පැමිණ තිබේද යන්නය.

ලෝකයේ මෙවැනි ක්‍ෂණික ලිංගික උත්තේජන ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ ලිංගික බෙලහීනතාවට ලක්ව සිටින පිරිසට ඒවා භාවිතා කිරීමටය. නමුත් මේ රටේ අවුරුදු 20, 30 තරුණයන් මේ ඖෂධ ගන්නේ අහවල් කාරණයකට ද යන්න ප්‍රශ්නයකි. අප පෙර කී අන්තර්ජාලය නිසා බොහෝ අය අලුත් දෑ අත්හදා බලන ප්‍රවණතාවක් ද හටගෙන ඇත. විකෘති ලිංගික හැසිරීම් නරඹන තරුණ තරුණියන් ද වඩ වඩාත් මේවා අත්හදා බලන්නට පෙළඹෙන බව ද සත්‍යයකි.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසන්නේ ක්‍ෂණික ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවය. අධික රුධිර පීඩනය සහිත අයකු මෙවැනි ඖෂධයක් ගත්පසු හදිසි හෘදයාබාධවලට ලක්විය හැකිය. නමුත් මේ රටේ කිසිවෙක් මෙවැනි ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් පතන සංස්කෘතියක් රටතුළ නැත. ඒ සඳහා කාලයත්, මුදලුත් වැය කිරීමට බොහෝ අයට වත්කමක් ද නැත. විවිධ වර්ගයේ ඖෂධ ගෙන සිය සහකාරිය සමග හෝටල් කාමරවලට ගොඩවන තරුණයන් අකාලයේ මෙලෙස මිය යන්නේ එනිසාද?

රට පුරා යම් සමීක්‍ෂණයක් කළහොත් මෙවැනි ඖෂධ ගත් වැඩිහිටි පිරිස් ද හදිසි හෘදයාබාධවලට ලක්ව මියයන බව හෙළිකර ගතහැකි වනු ඇත.

මේ අතරතුර රටපුරා හතු පිපෙන්නා සේ ‘ස්පා’ මධ්‍යස්ථානයන් ය. බොහෝ ‘ස්පා’ මධ්‍යස්ථානවල බෝඩ් ලෑල්ල ‘ස්පා’ වුවත් බෝඩ් එක පිටුපස සිදුවන්නේ ගණිකා ව්‍යාපාරය ය. නීතියෙන් තහනම් වන ගණිකා ව්‍යාපාරය හොර රහසේ සිදුවන නිසා අභිසරු ලියන් වෙත යන තරුණ මෙන්ම වැඩිහිටියන්ද මෙවැනි ඖෂධ ගෙන මියයෑම පිළිබඳ එක අතකට පුදුමවිය යුතු නැත.

රටපුරා තිබෙන ‘ස්පා’ මධ්‍යස්ථානවල කටයුතු නිරීක්‍ෂණයට ආයතන තිබුණත් ඒවා තුළ සිදුවන දේ සොයාබලන පිරිස ද ඒවාට උල්පන්දම් දෙන බව නොරහසකි.

ක්‍ෂණික ලිංගික උත්තේජක ඖෂධ ලබාගන්නා පිරිස් ඉන් බලාපොරොත්තු වන්නේ එක් දෙයකි. නමුත් අවසානයේදී මරුවා ළඟට එන බව මේ බොහෝදෙනා නොසිතන්නේ සියල්ල ක්‍ෂණිකව තීරණය කරගන්නා නිසාය. මෙරට වයස්ගත ප්‍රබල හිටපු ඇමැතිවරයෙක් තරුණ ගැටිස්සියක් සමග හෝටල් කාමරයකට වැදී සිටියදී සිදු වූ කලබලය ද සිහිවේ. ක්‍ෂණික ලිංගික උත්තේජන පෙති එකක් වෙනුවට දෙකක්ම ගත් මෙකී හිටපු ඇමැතිවරයා අන්තිමට පුද්ගලික රෝහලකට ගෙන ගියේ උත්තේජනය ඒ තරමටම උත්සන්න වූ නිසාය. තව ඩිංගක් පමා වූයේ නම් ඔහුත් යන්නේ පරලොවය. තරුණ ගැටිස්සිය දෙවරක් නොසිතා ගත් ක්‍ෂණික තීරණයට පින්සිදු වන්නට ඔහු තාමත් ජීවතුන් අතරය. නමුත් ක්‍ෂණික ලිංගික උත්තේජන පෙති එකක් වෙනුවට දෙකක් හෝ තුනක් ගෙන සහකාරිය සමග සිටින බොහෝ තරුණයන් මියැදෙන්නේ හැම සහකාරියක්ම ක්‍ෂණිකව ඒ තරුණයා රෝහලට ගෙන යෑමට උනන්දු නොවන නිසාය.

ඒ නිසා මේ කාරණය පිළිබඳ දෙවරක් කල්පනා කිරීම තරුණයන්ට භාරය. වැඩිහිටියන්ට භාරය. වෛද්‍ය නිර්දේශ නොගෙන දුරදිග නොබලා ක්‍ෂණික තීරණ ගැනීමෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය හැකිය. ‘ස්පා’ මධ්‍යස්ථාන බෝඩ් ලෑල්ලට යටවී කරගෙන යන ගණිකා මධ්‍යස්ථානත්, රටපුරා පිහිටි හෝටල් කාමරවලට යන දෙපාර්ශ්වයම ‘ක්‍ෂණික ලිංගිත උත්තේජන පෙති මාරයාගේ’ තරම අවබෝධ කරගැනීම ඉතා වැදගත් ය. කොළඹ නගරයේ තරුණයන් පහක්වත් මසකට මේ ක්‍ෂණික මාරයාට ගොදුරුවීම සුළුවෙන් නොතැකිය යුතු කාරණයක් යැයි අපගේ වැටහීමය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment