රටෙන් තුනෙන් එකක් බලගන්වන ලක්විජය, විදුලිය නිපදවන හැටි

572
ටර්බයිනය සහ ජෙනරේටරය

විවේචනයට පෙර හදාරන්න, පරිහරණය අතරේ දැනගන්න

අඳුර දුරු කර, දේශයට කුළුණුබර වූ වයඹ අහසේ කුලුනු ත්‍රිත්වය

ලක්විජය බලාගාරය ලිපි අංක – 2

ගල් අඟුරු ගොඩබෑමේ කාලය තුළ ගල් අඟුරු නැව් 40ක් පමණ අපේක්ෂා කරන අතර, එක් නැවක ගල් අඟුරු මට්‍රික් ටොන් 60,000 ක් පමණ අඩංගුය.

එක් ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකවීමේදී පැයකට ගල් අඟුරු මට්‍රික් ටොන් 110 ක් පමණ බොයිලේරුව තුළදී දහනය කරයි.

ජාතියේ බලශක්ති බලවතා ලෙස අනභිභවනීය සේවයක් සලසන ලක්විජය බලාගාරය නූතන ලක්දිව ශිෂ්ටාචාරයේ බලශක්ති බර දරා ගත් කුලුනය. ලක්විජය බලාගාරය සැබැවින් ම ජාතියේ ප්‍රණාමයට පාත්‍ර විය යුතු සම්පතකි. නොරොච්චෝලේ අහස මතින් නැගී සිටින ඒ මහා කුලුනු ත්‍රිත්වය, මේ ජාතියට බලශක්තියෙන් කුළුණු බර නොවන්නට ඔබත් මමත් මේ මොහොතේ ද සිටිනු ඇත්තේ අඳුර දරාගෙනය. බලශක්ති ඌනතාවයෙන් පෙළෙන ශ්‍රී ලංකාව මේ මොහොතේද මේ තරමින් හෝ පෝෂණය කරන්නේ ලක්විජය බලාගාරය ය. මේ ජාතියේ ප්‍රණාමයට ලක් විය යුතු සම්පතකි.

එහෙත් සිරිත් පරිදි ම එක් එක් කුමන්ත්‍රණීය අවශ්‍යතා මත සහ නිවැරැදි තොරතුරු සන්නිවේදනය වීමේ ඌනතා මත මේ බලාගාරය ද ජනතා උදහසට ලක්වන ස්ථානයක් බවට පත් ව ඇත. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා දරණ උත්සාහයකි මේ. දිවයින මාධ්‍ය කණ්ඩායමක නිරීක්ෂණ චාරිකාවක් ලෙස, ලක්විජය ගල් අඟුරු බලාගාරය සහ ජාතියේ බලශක්ති අවශ්‍යතාව පිළිබඳව පසුගිය සතියේ සිට ලිපි මාලාවක් අපි ආරම්භ කළෙමු. එම ලිපි මාලාවේ දෙවැන්න මෙවර පළවේ.

2006 වසරේ ජනවාරි මස, අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කළ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර ලෙස 2011 ජූලි මාසයේදී මෙගාවොට් 300 ක් ජාතික පද්ධතියට එක් විය. එමගින් 2011 වසරේ අපේක්ෂා කළ විදුලි හිඟය පියවා ගැනීමට හැකි විය. රටටම විදුලිය ලබාදීමේ ඉලක්කය හේතුවෙන්, 2014 වසරේදී විදුලි හිඟයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කර තිබුණි. මේ සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ජනන යන්ත්‍ර 2 සහ 3 වේගවත් කරන ලද අතර 2014 මැයි මාසයේදී මෙගාවොට් 300ක් සහ 2014 ඔක්තෝබර් මාසයේදී තවත් මෙගාවොට් 300 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වන්නේ, ඒ අනුවය. මේ ලක්විජය බලාගාරය ජාතිය බල ගන්වන පරිමාවය.

ශ්‍රී ලංකාව තුළ වාර්ෂික විදුලි අවශ්‍යතාව 8% සිට 10% දක්වා අඛණ්ඩව වර්ධනය වන අතර විදුලිබල මණ්ඩලයේ ජනන සැලසුම් තුළින් එයට අවශ්‍ය නව විදුලි උත්පාදන ක්‍රමවේද හඳුනාගෙන යෝජනා කර ඇත. ලක්විජය බලාගාරයද මෙම යෝජනා තුළ ඇතුළත්ව තිබූ බලාගාරයකි.

● අවශ්‍යතාවයෙන් 36%ක්

ලක්විජය බලාගාරයේ ධාරිතාව හා නිපදවිය හැකි ඒකක ප්‍රමාණයේ විශාලත්වය මත බලාගාරය ජාතික විදුලිබල පද්ධතියේ මූලික ජනන සැපයුම් (Baseload)

බලාගාරය ලෙස කටයුතු කරයි. වාර්ෂිකව ඒකක මිලියන 5,400 ක් පමණ නැතහොත් ශ්‍රී ලංකාවේ වාර්ෂික ගෘහස්ථ විදුලි අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරාලීමට ප්‍රමාණවත් ජනනයක්, ලක්විජය බලාගාරයෙන් සපයනු ලබයි. එය සංඛ්‍යා ලේඛන ලෙස විස්තර කළහොත් රටේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 36%කට ආසන්න බව ගණන් බලා තිබේ.

ගල් අඟුරු බලාගාරය තුළින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියකි. මූලික උපාංග වශයෙන් බොයිලේරුව (Boiler), තල බමන යන්ත්‍රය (Steam Turbine) හා ජනන යන්ත්‍රය (Generator) හැඳින්වේ. එම ප්‍රධාන යන්ත්‍ර වලට අමතරව ජල සැපයුම් යන්ත්‍ර, ගල් අඟුරු ප්‍රවාහන පද්ධතිය (Conveyor System), ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර, කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඇති යන්ත්‍රෝපාංග හා පාරිසරික තත්ත්ව ආරක්ෂා කිරීම සඳහා ඇති යන්ත්‍රෝපාංග වශයෙන්, විශාල යන්ත්‍රෝපාංග පද්ධතියකින් සමන්විත වේ.

● ගල් අඟුරු හැසිරවීම

බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු රට තුළ නොමැති බව ඔබ කවුරුත් දන්න කරුණකි. එහෙයින්, ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සපයාදෙනු ලබන්නේ ලංකා ගල් අඟුරු සමාගම මගිනි. ලබාදෙන්නා වූ ගල් අඟුරු නිසි ප්‍රමිතියට ඇති බව තාක්ෂණිකව තහවුරු කරගැනීමෙන් අනතුරුව ගොඩබෑමට අවසරය ලබාදේ. ගල් අඟුරු ගොඩබෑමේ කාලය තුළ (සැප්තැම්බර් මස සිට ඊළඟ වසරේ අප්‍රේල් මස දක්වා) ගල් අඟුරු නැව් 40 ක් පමණ අපේක්ෂා කරන අතර, එක් නැවක ගල් අඟුරු මට්‍රික් ටොන් 60,000 ක් පමණ අඩංගුය.

බලාගාරය අවට ඇත්තේ නොගැඹුරු මුහුදු තීරයක් බැවින් මෙම නැව් ගොඩබිම සිට කිලෝමීටර 4.5 ක් පමණ ගැඹුරු මුහුදේ නැංගුරම් ලෑම සිදු කරයි. නැව නැංගුරම්ලා ඇති ස්ථානයේ සිට ජැටිය දක්වා ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා බත්තල් (barges) භාවිත කරයි. ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ගබඩාවේ ධාරිතාව, මට්‍රික් ටොන් මිලියන 1.2 ක් පමණ වන අතර එමඟින් විදුලි ජනන යන්ත්‍ර සඳහා වාරකන් පවතින සමයේ හෙවත්, ගල් අඟුරු ගොඩබෑම සිදුකරගත නොහැකි මාස 6 ක පමණ කාලය සඳහාද අවශ්‍ය ප්‍රමාණය ගබඩාකර ගනී.

● ප්‍රධාන බලශක්ති උත්පාදනය

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවනු ලබන්නේ අධි පීඩනයක් සහ අධි උෂ්ණත්වයක් සහිත හුමාලයේ ගැබ් වී ඇති ශක්තියෙන් තල බමනයක් කරකැවීම මගිනි. හුමාලය සැදීම සඳහා ඉන්ධනයක් ලෙස ගල් අඟුරු යොදාගනු ලබයි. එක් ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමෙදී පැයකට ගල් අඟුරු මට්‍රික් ටොන් 110 ක් පමණ බොයිලේරුව තුළදී දහනය කරයි. දහනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු ප්‍රවාහන පටි මගින් බලාගාරය තුළට රැගෙනවිත් ගල් අඟුරු අඹරන යන්ත්‍ර මගින් ඉතා සියුම් කුඩු බවට අඹරා අධිපීඩිත වාතය සමග මිශ්‍ර කර බොයිලේරුව තුළට විදීම සිදු කරනු ලබයි. මෙසේ ඇතුළත් කරන ලද වායුව සමග මිශ්‍ර වී ඇති ගල් අඟුරු කුඩු දහනය වීමක් සිදු කරයි. එයින් නිපදවන තාප ශක්තිය මගින් ජලය හුමාලය බවට පත් වේ. බලාගාරය පණගැන්වීමේදී සහ නැවැත්වීමේදී දහන ඉන්ධනය ලෙස ඩීසල් භාවිත කරයි.

ජල විදුලි බලාගාරයක තල බමනය කැරකැවීමට ජල ප්‍රවාහයක් භාවිතා කරන පරිද්දෙන් අධිපීඩිත හුමාලය මගින් තලබමනය මිනිත්තුවකට වට 3000ක වේගයකින් කරකවනු ලබයි. ජනන යන්ත්‍රය (Generator) තල බමනය (steam turbine) සමග සෘජුවම සම්බන්ධ කර ඇති අතර ජනනය කරන ලද විදුලි බලය, බලාගාරයේ වායු පරිවරණ ග්‍රිඩ් උපපොළ (Gas Insulated Substation-GIS) මගින් අනුරාධපුර හා හලාවත උපපොළ මධ්‍යස්ථාන (Grid substation) හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි. ජනනය කරන විදුලිය 20 kV වෝල්ටීයතාවයකින් වන අතර සම්ප්‍රේෂණයට පෙර එය 220 kV වොල්ටීයතාවයකට වර්ධනය කරනු ලබයි.

රටෙන් තුනෙන් එකක් බලගන්වන ලක්විජය, විදුලිය නිපදවන හැටි
ටර්බයිනය සඳහා හුමාලය ඇතුලත් කරන පොම්ප

● බොයිලේරුව

මාදිලිය: HG-1025/17.3 – YM
(Subcritical Boiler)

නිෂ්පාදක: හර්බින් බොයිලර් සමාගම

(චීනය)

මෙය ලංකාවේ දැනට පවතින විශාලතම බොයිලේරුවයි. එමගින් පැයට වායුගෝල පීඩන 173 ක හුමාලය ටොන් 1,025 ක නිෂ්පාදන කළ හැක. මෙහි කාර්යක්ෂමතාව 91% පමණ වේ. බොයිලේරුව බට 18,500කින් පමණ සමන්විත වේ. බොයිලේරුවේ ඉහළ කොටසෙහි පිහිටි Boiler Drum නමැති විශේෂ උපාංගය තුළ පීඩනය සහිත වාෂ්ප සහ ජලය සමතුලිතතාවකින් පවතී. ලක්විජය බලාගාරයේ බොයිලේරුව 70 ප පමණ උසකින්ද, 40 m පළලකින්ද, 40m දිගකින්ද යුක්ත වේ.

● තලබමනය

මාදිලිය : N300-16.7/538/538

නිෂ්පාදක: හර්බින් ටර්බයින් සමාගම

(චීනය)

තල බමනය කොටස් තුනකින් සමන්විත වේ. එය අධි පීඩන

(High Pressure), අතරමැදි පීඩන (Intermediate Pressure) සහ අඩු පීඩන (Low Pressure) වශයෙන් නම් කර ඇත. විශේෂ ලෝහ වර්ග වලින් නිපදවූ තල බමනයේ තටු (Turbine Blades), තලබමන ඇක්සලයට (Turbine Shaft) සවි කර ඇත. අධි පීඩන ටර්බයිනයේ පිටාර හුමාල ටර්බයිනයේ අතරමැදි පීඩන කලාපයට ඇතුළු වීමට පෙර නැවත රත් කරනු ලැබේ. අනතුරුව අතරමැදි ටර්බයින අදියරේ තුළින් ගමන් කරන වාෂ්පය අඩු පීඩන ටර්බයින අදියරට ඇතුල් වේ. ඉන් පසුව වාෂ්ප ඝනීභවනය සඳහා කන්ඩෙන්සර් වෙත යොමු කෙරේ.

● විදුලි ජනන යන්ත්‍රය

මාදිලිය: QFSN-300-2
නිෂ්පාදක : හර්බින් විදුලි
යන්ත්‍රෝපකරණ සමාගම (චීනය)

ජනන උත්පාදනය : මෙය ලංකාවේ දැනට පවතින විශාලතම ජනන යන්ත්‍රය වන අතර එහි ධාරිතාව මෙගාවොට් 300 ක් වේ. එමගින් උත්පාදනය කරන විදුලියේ වෝල්ටීයතාව 20kV ක් සහ උපරිම ධාරිතාවයෙන් ජනනය සිදු කරන විට ධාරාව ඇම්පියර 10190 ක් වේ. ජනන යන්ත්‍රය ධ්‍රැව දෙකකින් (02 pole) සමන්විත වේ. ජනන යන්ත්‍රයේ රොටරි කොටස සිසිල් කිරීමට හයිඩ්‍රජන් වායුව භාවිත කරනු ලබන අතර ස්ටේටර් කොටස සිසිල් කිරීම සඳහා ජලය භාවිත කරයි. හයිඩ්‍රජන් වායුව භාවිතයෙන් සිසිලනය වන ලංකාවේ ඇති එකම ජනන යන්ත්‍රය මෙය වේ.

● හුමාල ජනනය සඳහා ජලය නිෂ්පාදනය හා සිසිලන පද්ධතිය.

බලාගාරය පිහිටි ප්‍රදේශය කෘෂිකාර්මික කටයුතු සඳහා භූගත ජලය බෙහෙවින් යොදා ගන්නා ප්‍රදේශයක් වන බැවින් මෙම බලාගාරය සඳහා භූගත ජලය ප්‍රයෝජනයට නොගනී. බලාගාරයේ කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයනු ලබන්නේ රසායනික හා භෞතික ප්‍රතික්‍රියා මගින් මුහුදු ජලය පිරිසිදු කිරීමෙන් පසුවය. බලාගාරය තුළ ඇති ප්‍රති ආසෘත (Reverse Osmosis) පෙරහන් මගින් ජලයේ දියවී ඇති සියලු ලවණ වර්ග ඉවත් කර ඉතා පිරිසිදු ජලය නිපදවයි.

තලබමනයට ඇතුළත් කරන ලද හුමාලය භාවිතයෙන් පසු ජලය බවට පත් කර නැවත බෝයිලේරුවට ඇතුළත් කරයි. මෙසේ හුමාලය ජලය බවට පත් කිරීම සඳහා එක් ජනක යන්ත්‍රයක සිසිලනය සඳහා තත්පරයට ඝන මීටර 17 ක් පමණ මුහුදු ජලය බලාගාරය තුළට ගනු ලබයි. ඒවා සිසිලනයෙන් පසු නැවත මුහුදට යොමු කරන අතර අංශක 04 ක පමණ උෂ්ණත්ව වෙනසක් පමණක් දැකිය හැකි වේ.

● බලාගාරයේ විමෝචන (Emission) පාලනය කිරීම

රටෙන් තුනෙන් එකක් බලගන්වන ලක්විජය, විදුලිය නිපදවන හැටි
ටර්බයිනයේ කොටසක්

ලක්විජය බලාගරයේ විදුලි ජනන කටයුත්තෙදී නිදහස් වන විමෝචන වායුව සහ සිසිලනය සඳහා යොදාගන්නා මුහුදු ජලය වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් නිර්දේශිත ප්‍රමිතියට අනුකූලව පරිසරයට මුදාහැරීමට වග බලාගනී. ඒ සඳහා බලාගාරයේ පහත දැක්වෙන ප්‍රධාන කොටස් භාවිතයට ගනී.

● ස්ථිතික විද්්‍යුත් අවක්ෂේපකය

(ESP- Electro Static Precipitator)

විමෝචනය වන වායුවේ ඇති පියාසර අළු වායුගෝලයට එක් වීම වැළැක්වීම සඳහා පෙරනයක් ලෙස භාවිතා කරයි. මෙහිදී විමෝචන වායුවේ ඇති ඉතා සියුම් දූවිලි කොටස් රින ආරෝපණය කොට ධන ආරෝපිත තහඩු මගින් අකර්ෂණය කර විශේෂිත වූ ස්ථානයක ගබඩා කරයි. මෙසේ ගබඩා කරන අළු සිමෙන්ති නිෂ්පාදකයන්ට අලෙවියෙන් අතිරේක ආදායමක්ද උපයාගනී.

● විමෝචන වායුවෙන් සල්ෆර් ඉවත් කිරීමේ පද්ධතිය
(Flue gas desulphurization unit)

විමෝචන වායුවෙ පවතින සල්ෆර්, සිසිලනය සඳහා යොදා මුහුදු ජලය සමග දිය කර සල්ෆයිට් සැදීමේ වාතාවරණයක් ඇති කරයි. මෙම ජලය මුදා හැරීමට පෙර වාතන ටැංකියට (Aeration Basin) ගලා යන අතර එහිදී සල්ෆයිට් හොඳින් වාතනය කිරීමෙන් පසු සාමාන්‍යයෙන් මුහුදු ජලයේ බහුල ලෙස අඩංගු සංඝටකයක් වන සල්ෆෙට් බවට පරිවර්තනය වේ.

● නයිට්‍රජන් ඔක්සයිඩ උත්පාදනය වැළැක්වීම

බලාගාරය සතු බොයිලේරුවේ දහන උෂ්ණත්වය පාලනය කිරීමෙන් (tangential firing technology& NOx) භධං උත්පාදනය වළක්වයි.

● බලාගාරයේ නඩත්තු කටයුතු

ගල් අඟුරු බලාගාරයක ආයු කාලය වසර 30ක් පමණ වන අතර එම කාලය පවත්වාගෙන යෑමට නම් නඩත්තු කටයුතු කලට වේලාවට අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ. පසුගිය වසර තුළ නව විදුලි බලාගාර සැදීම පමා වීම මත, විදුලි ජනනය පිළිබඳව ගැටලු පැන නැගී ඇතත්, ඉතා විශාල වටිනාකමක් ඇති මෙම යන්ත්‍ර නිසිලෙස නඩත්තු කිරීම අනිවාර්ය වේ.

බලාගාරයේ උපකරණවල මුල් උපකරණ නිපැවුම්කරුවන් නිර්දේශ කරන ලද ආකාරයට, දිනපතාම යන්ත්‍රයේ විශේෂ තත්ත්ව පරීක්ෂා කිරීම් හා නඩත්තු කටයුතු ඊට අනන්‍ය වූ කාලසටහනක් අනුව සිදු කරනු ලබයි.

බලාගාරයේ සහායක (Auxiliary) උපකරණ බොහොමයකට අතිරික්ත (Redundancy) උපකරණ සහිතව නිමවා ඇති බැවින් බලාගාරය ක්‍රියා කරන අතරතුර මෙම අමතර උපකරණ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. කෙසේ වෙතත් බලාගාරයේ ප්‍රධාන උපකරණ වන බොයිලේරුව, තලබමනය, ජනන යන්ත්‍රය, ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය වැනි උපකරණ වල නඩත්තු කටයුතු සිදු කළ හැක්කේ බලාගාරය නැවැත්වූ විට පමණි. බලාගාරය නතර කර සිදු කළ යුතු නඩත්තු කටයුතු බලාගාරයේ මුල් උපකරණ නිපවුම්කරු විසින් වර්ග හතරකට නම් කර ඇත. එනම් “ඒ”, “බී”සහ“සී” කාණ්ඩය වශයෙන් වේ.

“ඒ” කාණ්ඩයේ නඩත්තු කටයුත්තක් සඳහා දින 100 ක් පමණ ගතවන අතර මෙය උපරිම අවුරුදු 6කට වරක් සිදු කළ යුතුයි. මෙහිදී ප්‍රධාන බොයිලේරුව, තලබමනය හා ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ගලවා අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කර නැවත එකලස් කරනු ලැබේ. මෙවැනි ප්‍රධාන කාණ්ඩ වල නඩත්තු කටයුතු සඳහා දීර්ඝ කාලයක් ගතවෙන බැවින් හා විශාල පිරිවැයක් ද දැරිය යුතු බැවින් එය මුල සිටම නිසි සැලසුම් කිරීමක් ඇතිව කළ යුතු වේ. උදාහරණයක් ලෙස “ඒ” කාණ්ඩයේ නඩත්තු කටයුත්තක් සඳහා ඒ සඳහා වූ විශේෂ පුහුණුවක් හා පළපුරුද්දක් ඇති කාර්මික ශිල්පීන් 400 දෙනකුගේ පමණ දායකත්වය අවශ්‍ය වේ. එබැවින් මෙවැනි නඩත්තු කටයුත්තක දී

බලාගාරයේ සේවක මහතුන්ට අමතරව බලාගාරයේ මුල් නිපැයුම්කරුවන් වන චීන කාර්මිකයන් පිරිසකගේද සහාය ලබාගනු ලැබේ.

“බී” කාණ්ඩයේ නඩත්තු කටයුත්තක් “ඒ” කාණ්ඩයේ නඩත්තු කිරීම් දෙකක් අතර ඒ සඳහා දින 60 ක් පමණ ගතවේ. එබැවින් බොහෝ උපකරණ වල අලුත්වැඩියාවන් කරනු ලබන අතර ප්‍රධාන තලබමනය විශේෂ පරීක්ෂා කිරීමකට පමණක් ලක් කරනු ලැබේ. “සී” කාණ්ඩයේ නඩත්තු කටයුතු සඳහා දින 30ක පමණ කාලයක් ගතවන අතර “ඒ” කාණ්ඩයේ හෝ “බී” කාණ්ඩයේ නඩත්තු කටයුතු සිදු නොකරන සියලු ම වසරවලදී මෙම “සී” වර්ගයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.

ලංකාවේ විදුලි පරිභෝජනය සපුරාලීමට රට තුළ ඇති බලාගාර ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ මෙවැනි දීර්ඝ කාලීන නඩත්තු කටයුතු සඳහා බලාගාරය නවත්වා ගැනීම අභියෝගාත්මකය. නිසි කලට නඩත්තු කටයුතු සිදු කර ගැනීමට නොහැකි වුවහොත් එය බලාගාරයේ ආයු කාලයට බලපානු ලබන අතර නොවැළැක්විය හැකි හදිසි බිඳ වැටීම්ද ඉහළ යා හැක.

● බලාගාරයේ මෙහෙයුම් කටයුතු

ලක්විජය බලාගාරයේ සියලු මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ සුවිශේෂිත පරිගණක පද්ධතියකින් සමන්විත ප්‍රධාන පාලන මැදිරියේ සිටය. බලාගාරයේ ස්ථාපිත සියලු යන්ත්‍රෝපකරණ වල තත්ත්වය හා ක්‍රියාකාරිත්වය මෙම මැදිරියේ සිට විධිමත් ලෙස නිරීක්ෂණය හා පාලනය සිදු කරනු ලැබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ අවශ්‍යතාව අනුව බලාගාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට මුදා හරිනු ලබයි.

ලක්විජය බලාගාරයේ අප කණ්ඩායම සිදු කළ නිරීක්ෂණයේ, විද්‍යාත්මක කතාව මෙසේය. මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය කාල රාමු ප්‍රමාද වන්නේ, රටේ ඉල්ලුම සඳහා නොනවත්වා ලක්විජය බලාගාරය ධාවනය වන බැවිනි. ඒ පිළිබඳව අනේකවිද කටකතා පතුරුවන පිරිස මෙම තාක්ෂණික පසුබිම පිළිබඳව කිසිවක් නොදනියි. ලක්විජය බලාගාරය යනු ලක් මව වෙත පැලඳූ තැල්ලක් බව මේ පිරිස නොදනියි. මේ මොහොතේ පවා ඔබ සහ මා මේ රටේ විදුලිය පරිහරණය කරන්නේ ලක්විජය බලාගාරයට පිං සිදුවෙන්නටය. විවේචනයට පෙර හදාරන්න. පරිහරණය අතරේ දැන ගන්න. එම පියවර ද්විත්වය සඳහාම වූ දැනුවත් කිරීමකි, මේ.

සිරිමන්ත රත්නසේකර
ඡායාරූප- නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment