රිය අනතුරින් ගණිත ගුරුවරයා ජීවිතක්ෂයට

156

මහනුවර යාපනය ඒ – නවය මාර්ගයේ, රඹෑව නගරාසන්නේදී සිදුවූ රිය අනතුරකින් ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ වයස අවුරුදු තුනක දරුවා තුවාල ලබා රඹෑව රජයේ රෝහල වෙත ඇතුළත් කළ බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මිහින්තලේ, මිස්සක මාවතේ පදිංචිව සිටි මාකදුරේ ගෙදර නාලක විරාජ් බණ්ඩාර නමැති 41 හැවිරිදි ගුරුවරයෙකි.

ඒ නවය මාර්ගයේ 142 සහ 143 කිලෝමීටර් කණු දෙක අතර වංගු සහිත ස්ථානයකදී ඉකුත් 12දා කාර් රථය දකුණු දිශාවට හැරවීමට යෑමේදී පිටු පසින් පැමිණි කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක ගැටී මීටර් 17ක පමණ දුරක් ඇදී ගොස් මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මරණකරුගේ බිරිඳ සහ වයස අවුරුදු තුනක් වූ දරුවා කාර් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් එම දරුවා සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා වන, සරස්වතී විදුහල පාර , කරවෙඩ්ඩි බටහිර, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment