ඉන්දීය ධීවරයෝ උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම යළිත්

227

නාවික හමුදාවේ මෙහෙයුම් නිසා කාලයක් නිහඬව සිටි ඉන්දීය ධීවරයන් යළිත් වරක් උතුරු මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරමින් යාපනයේ ධීවරයන්ගේ දැල්වලට හානි සිදු කොට ඇති බව වඩමාරච්චි ධීවර සංගමයේ සභාපති නාගරාසා වර්ණකුලසිංහම් ධීවර නායකයා පැවසීය.

 
 කොවිඞ් වසංගතය නිසා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන්ව ආපසු පලවා හැරීම සිදු කරන නිසා කිසිඳු බියකින් තොරව ඉන්දීය ධීවරයෝ පසුගිය පළවෙනිදා සිට යළිත් උතුරු මුහුදට පැමිණෙන්නට පටන් ගෙන ඇති බවද ධීවර සංගමයේ සභාපතිවරයා පැවසීය.
 
 ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණිමට අමතරව උතුරේ ධීවරයින් සතු දැල් කපා දමා ඇති ඉන්දීය ධීවරයෝ එම දැල්වලට හසු වී සිටි මසුන්ද කොල්ලකා පලා ගොස් ඇති නිසා උතුරේ ධීවරයෝ දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
 
 මේ වසර අවසන්වීමට පෙර ඉන්දීය ධීවරයින්ගේ ප‍්‍රශ්නය හමාර කරන බවට ධීවර අමාත්‍යවරයා උතුරේ ධීවර සංගම් වලට ප‍්‍රතිඥාවක් දී තිබියදී ඉන්දීය ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට සිදුවන අලාභයන් හා හානි වැඩිවන්නට පටන්ගෙන ඇති බවද වඩමාරච්චි ධීවර සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment