තරගාවලි ජයක් සමඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් සොයා ගිය සිංහ පැටව්

338

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් සිටින්නේ සිම්බාබ්වේ ය. ඔවුහු සිම්බාබ්වේ දේශයේ සිට ලෝක කුසලාන තරගාවලියට යන්න සුදුසුකම් සොයති. ඒ නිමිත්තෙන් පැවැත්වෙන තරගාවලියට එකතු වන ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා ගියේ පසුගිය සිකුරාදාය. ඒ කියන්නේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගාවලියේ ජය ලැබූ දාට තෙදිනකට පසුය. එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමකට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ඉදිරිපත් වීමට සිදු වීම එක් අතකින් කනගාටුවට කරුණකි. එහෙත් එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට මේ ආකාරයෙන් හෝ ජයග්‍රාහී මානසිකත්වයකින් යෑමට හැකිවීම ද සතුටට කරුණකි.

කෙසේ වෙතත් එහිදී අපේ නම්බුව යන්තමින් හෝ රැක දෙමින් බටහිර ඉන්දීය කොදෙව්වෝ ද සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සාමාජිකයෝ වෙති. ඔවුහු ආරම්භක ලෝක කුසලාන තරගාවලි දෙකේම ජයග්‍රාහකයෝය. 1975 සහ 1979 ලෝක කුසලාන දිනූ බටහිර ඉන්දීය කොදෙව් දැවැන්තයෝ ද අද ඒ ලෝක කුසලානයට යන්න සුදුසුකම් සෙවීමද අරුමයකි. එය කාලය මැව් වෙනසක අරුමයක්ද නැතිනම් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සහ 1996 ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල කඩාවැටීමක් ද? නොඑසේනම් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය වැනි පසුව ජගත් ක්‍රිකට් පිටියට පැමිණි කණ්ඩායම් ලෝකයේ සෙසු කණ්ඩායම්වලට
අභියෝගයක් වෙමින් ඉදිරියට පැමිණීම නිසා අත්විඳින්නට සිදුවූ දෙයක්ද?

ඒ කෙසේ වුවද දැන් ශ්‍රී ලංකාව ද බටහිර ඉන්දීය කොදෙව්වෝ ද සිටින්නේ සිම්බාබ්වේ ය. ඔවුන් නැතිව ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පවත්වා නැත. දැන් තිබෙන්නේ ඒ අපකීර්තිමත් තැනට නොවැටී කෙසේ හෝ ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වීමේ අවස්ථාව උදා කර ගැනීමයි. දසුන් ප්‍රමුඛ ක්‍රීඩකයෝ ඒ පැතුම් නුසුන් කර ශ්‍රී ලංකාවට ජය ගෙන දෙනු ඇතැයි බොහෝ අය ප්‍රාර්ථනා කරති.

එහෙත් ප්‍රාර්ථනාවලින් පමණක් සියල්ල ඉටු නොවේ. එසේ වනවානම් ලොව වැඩිම ජනතාවක් වෙසෙන ඉන්දියාවේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔවුන් කවදාවත් නොපරදිනු ඇත. ඒ නිසා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අවශ්‍ය දේ කළ යුතු කාලයකි. එක අතකට සුදුසුකම් ලැබීමේ තරගාවලියකදීත් අප පරදිනවා නම් රටේ ක්‍රිකට් ගැන කතා කර ප්‍රයෝජනයක් නැත. ඊට වඩා සිම්බාබ්වේ දේශයේ දුප්පත්කම ගැන කතා කිරීම වටී. ශ්‍රී ලංකාව ද ඒ අතින් ඊට ආසන්නයේම වේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් අතින් ඉතා පෝෂණය වූ රටකි. අවශ්‍ය හැමදේම ඔවුන්ට ලැබේ. ඇෆ්ගනිස්තානය හා සිම්බාබ්වේ වැනි රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නොලැබෙන්නේ මොනවාද? ඇෆ්ගනිස්ථානයේ අඩුම තරමේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්නටවත් නොහැක.

එහෙත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඇෆ්ගනිස්තානය මීට වසර කීපයකට ඉහත දී දුටු ඇෆ්ගනිස්ථානය නම් නොවේය. ඔවුන්ගේ රටේ ක්‍රිකට් ගහන්න බැරි වුණත් ඔවුන්ගේ ක්‍රීඩකයන් දැන් සෙල්ලම් නොකරන ප්‍රිමියර් ලීග් එකක් ලොවේ නොමැත. බොහෝ ප්‍රිමියර් ලීග් තරගාවලියන්හි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ප්‍රධාන සාමාජිකයෝ වෙති. රෂීඩ් ඛාන්, නූර් අහමඩ්, ෆසල්ලාහ් ෆරුකි, මොහොමඩ් නබි, රහමනුල්ලා ගුර්බාස්, මුජීබ් උර් රහමන්, ඉබ්‍රහිම් සර්ධාන්, නජිබුල්ලා සර්ධාන් ඒ අතින් ප්‍රධානය. ඒ නිසා ශ්‍රී ලංකාව පසුගියදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලද ජයග්‍රහණය ද සුළුවෙන් තැකිය නොහැක. බැරි වෙලා හෝ එම තරගාවලිය ද ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ නම් අත්වන ඉරණම කෙතරම් දරුණු වේදැයි සිතාගත නොහැක. සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන්න ඔන්න මෙන්න තිබියදී ඇෆ්ගනිස්ථානයෙන් ද පරාජය වූවා නම් එය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ද මානසික අතින් “නුසුදුසුකමක්” වනවා ඇත.

අවසානයේ කෙසේ හෝ ශ්‍රී ලංකාව එතරම් පහතට වැටුණේ නැත. එහෙත් එක් දින ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ නම් ශ්‍රී ලංකාව වැටෙන්න ඕනෑ තරම් පහළට වැටිණි. නැගිටින්න බැරි තරමටම වැටුණි. සුදුසුකම් හොයන්න යන්න ඕනේ වුණේ ඒ නිසාය. එම සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ජයග්‍රහණය කරන්න හැකිව තිබූ තරග කීපයක් පරාජය වී අවසානයේ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී ජයගෙන ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබන්න ජයග්‍රහණ සෙවූහ. එහෙත් නවසීලන්තය නවසීලන්තයේ දී පරාජය කිරීම හිතන තරම් ලේසි නැත. ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නොමැතිව වුවද නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ජය ගත්තේය.

ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ සෑම කණ්ඩායමකටම ලැබෙන තරග 24 න් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තරග හතක් පමණි. එනිසා එම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමි වුණේ 10 වැනි ස්ථානයයි. පරාජයන් 14 කි. එම සටහනේ පෙරමුණට පැමිණි නවසීලන්තය තරග 16 ක් ජයග්‍රහනය කර තිබුණි. ශ්‍රී ලංකාව එරටදී පරාජය කරන්න සැරසුණේ එවැනි කණ්ඩායමකි. එහෙත් ඒවා අසාර්ථක විය. නවසීලන්තය, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 වෙයි. බංග්ලාදේශය එම සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට තවත් හිතන්නට ඇති කාරණයකි. ඔවුහු තරග 24 න් 15 ක් ජය ගත්හ. එය ඉන්දියාවටත් වඩා හොඳ සුදුසුකමකි. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන “බී” කාණ්ඩයේ තරගකරුවන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අනුව ලබන 13 වැනිදා හා 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිත වේ.

තම කාණ්ඩයේ සිටින අයර්ලන්තය, ස්කොට්ලන්තය, හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ශ්‍රී ලංකාවට තිබෙන්නේ ජයග්‍රාහී ඉතිහාසයකි. එහිදී ශ්‍රී ලංකාව කිසි දිනක ඔවුන් හමුවේ පරාජය වී නොමැත. ඉහත රටවල් 3 සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා කර ඇති සමස්ත තරග ගණන 9 කි. ඒ තරග 9 ම ශ්‍රී ලංකාව ජයගෙන ඇත. ඉන් අයර්ලන්තයට එරෙහිව තරග 4 ක්, ස්කොට්ලන්තයට එරෙහිව තරග 3 ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග දෙකක් ක්‍රීඩා කර ඇත. ඒ තරග දෙකමත් දිනුවේ ශ්‍රී ලංකාවයි. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මූලික වටයේදී හමුවන අනෙක් රට වන්නේ ඕමානයයි. ඔවුන් සමග
ශ්‍රී ලංකාව මීට පෙර එක් දින තරගයක් ක්‍රීඩා කර නොමැත.

බැලූ බැල්මට මෙම තරග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීම ඉතා පහසු වනු ඇත. අනතුරුව එහි දෙවන වටයේ තරග ඇරඹේ. එම තරගවලින් ද ජය ගෙන එක් එක් කාණ්ඩයන්හි පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුස්සෝ වෙති.

දසුන් ලා සිම්බාබ්වේ බලා ගියේ එවැනි ජයග්‍රාහී මානසිකත්වයකිනි. එම ජයග්‍රාහී මානසිකත්වය උදා වූයේ ආබාධ දුරැලා ක්‍රීඩකයන් කණ්ඩායම හා නැවත සම්බන්ධ වීමේ අතුරු ප්‍රතිඵලය මතිනි. ඒ නිසා අතුරු ආබාධ අනතුරු නැතිව සිම්බාබ්බේ දී කරන සටන ශ්‍රී ලංකාවට වටින්නේ අදට නොව තවත් සිව් මසකින් පමණ උදාවන ලෝක කුසලාන තරගාවලියටයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment