මූලික ලංසුව අඩු වැඩි කරන්න කියලා ඇතැම් ක්‍රීඩකයන් සිම්බාබ්වේ ඉඳන් කතා කරා

1021

වෙන්දේසිය නිසා ක්‍රීඩකයන්ට ලොකු වටිනාකමක් ලැබුණා

එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල

නවක ක්‍රීඩකයන්ට තැනක් දුන්නේ යොවුන් ලෝක කුසලාන ඉලක්ක කර ගෙනයි

සතියකට තේ කිලෝ මිලියනයක් වෙන්දේසි කරන ආයතනයක සේවය කිරීමෙන් ලද අත්දැකීම් මෙරට පළමු ක්‍රීඩක වෙන්දේසියට මහත් පිටිවහලක් වූ බව හේ පවසන්නේය. “වෙන්දේසිය මට හරි හුරුයි” ඔහු තවදුරටත් කියයි. ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහ දේශීය ක්‍රීඩකයන් 360 දෙනකු යොදාගෙන පැවැති මෙවර එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය පිටුපස සිටි “මහ මොළකරු” වන සමන්ත දොඩන්වෙල මහතා එසේ සඳහන් කළේ මෙවර එල්පීඑල් තරගාවලිය සහ ඒ ආශ්‍රයෙන් පැවැති ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග සාකච්ඡාවකට එක්වෙමිනි. එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට පළමු වරට ක්‍රීඩක වෙන්දේසිය හඳුන්වා දුන් ඔහු එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

එම සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – 2023 එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ආරම්භයට තව මාස එක හමාරක පමණ කාලයක් තමයි ඉතිරිව තිබෙන්නේ. කොහොමද දැන් ඊට තිබෙන සූදානම?

පිළිතුර – අපේ මූලික කටයුතු සියල්ල දැන් සාර්ථකව අවසාන අඩියට පැමිණ තිබෙනවා. එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස දෙවැනි වරටයි මම මේ කටයුතු කරන්නේ. පළමු වතාවේ අපි සාර්ථක තරගාවලියක් සංවිධානය කළා. එම තරගාවලියේදී උගත් පාඩම් ද සමග මෙවර ඊටත් වඩා සාර්ථක තරගාවලියකට පිය මනින්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – මෙවර තරගාවලිය සඳහා ඔබ පළමු වරට ක්‍රීඩක වෙන්දේසියක් සංවිධානය කළා. එය කොතෙක් දුරට සාර්ථක දැයි ඔබ සිතනවාද?

පිළිතුර – අපි හිතුවටත් වඩා එය සාර්ථක වුණා. මෙවැනි ක්‍රීඩක වෙන්දේසියක් ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා යොදා ගත් තෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත් කරන්නට එමගින් අපිට හැකි වුණා. මීට පෙර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තමයි ක්‍රීඩක වෙන්දේසියක් මේ අරමුණෙන් පවත්වා තිබුණේ. හැබැයි ඒ රටවල් දෙකවත් අදාළ ක්‍රීඩක වෙන්දේසිය මාධ්‍යට විවෘත කරලා තිබුණේ නැහැ. ඒ නිසා ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියක් මාධ්‍යට විවෘත කළ පළමු රට බවට ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එන්නට අපට හැකි වීම පිළිබඳව සතුටුයි.

ප්‍රශ්නය – මාධ්‍යයට ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න තීරණය කළේ ඇයි?

පිළිතුර – අපිට ඕන වුණේ අපේ විනිවිදභාවය මුළු ලෝකයටම පෙන්නන්න. අපිට හංගන්න දෙයක් නැහැ. වෙන්දේසිය යන අතරතුර එය මුළු ලෝකයටම සජීවීව ප්‍රදර්ශනය කිරීමටත් අපි ඊට අමතරව කටයුතු කළා. මේ ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව ලොව බොහෝ රටවල් ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඒ ඒ රටවල ක්‍රිකට් ආයතන නියෝජිතයන් මට කතා කරලා අගය කළා. ප්‍රශංසා කළා. මේ ඔස්සේ අපේ රට පිළිබඳ ජාත්‍යන්තරයට යන සුබවාදී ප්‍රතිරූපය මුදලට ගන්න පුළුවන් දෙයක් නොවෙයි.

ප්‍රශ්නය – ක්‍රීඩක වෙන්දේසියක් අපේ රටට හුරුපුරුදු දෙයක් නොවෙයි. භාණ්ඩ වෙන්දේසි තමයි අපි මෙරටදී දැක අසා තිබෙන්නේ. අපේ රටට මේ අලුත්ම සංකල්පය හඳුන්වා දී එල්පීඑල් සඳහා ක්‍රීඩකයන් කණ්ඩායම්වලට තෝරා ගැනීම වෙන්දේසි ක්‍රමය මාර්ගයෙන් සිදු කරන්න ඕන කියලා මුලින්ම හිතුණේ කොහොමද?

පිළිතුර – තේ වෙන්දේසිය පිළිබඳව මට විශාල පළපුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ මම සේවය කරන ආයතනයෙන් සතියකට තේ කිලෝ ලක්ෂ අටක් දහයක් වෙන්දේසිගත කෙරෙනවා. ඒ වෙන්දේසි සඳහා නිරතුරුව දායකත්වය දෙන මට හිතුණා එල්පීඑල් තරගාවලියටත් ක්‍රීඩකයන් අනුයුක්ත කිරීම වෙන්දේසිගත ක්‍රමයට සිදු කරන්න. ඒ අනුව මම ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මුණගැසී මගේ අදහස ඉදිරිපත් කළා. ඔහු ඊට එක පයින් කැමති වුණා. ඊට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මට මේ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලැබුණා. තරගාවලියේ ප්‍රචාරණ අයිතිය හිමි අයිපීජී ආයතනයේ ද නොමසුරු සහාය ඒ සඳහා මට ලැබුණා. විශේෂයෙන් එහි ප්‍රධානී අනිල් මෝහන් මහාතාට විශේෂ ස්තුතිය පුද කළ යුතුයි.

මෙහිදී මම විශ්වාස කරන දෙයක් තමයි භාණ්ඩයකට මිලක් නියම කිරීමට තිබෙන හොඳම ක්‍රමය තමයි වෙන්දේසි ක්‍රමය. එහිදී එම භාණ්ඩයට මිලක් ලබා දෙන්න හැම පාර්ශ්වයකටම හැකියි. විශේෂයෙන් එක භාණ්ඩයකට ඔබ නියම කරන මිල නොවෙයි තවත් අයෙක් ඒ භාණ්ඩයට ලබාදෙන මිල. ඒ කියන්නේ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ ඒ භාණ්ඩයේ වටිනාකමේ අගය වෙනස් වෙනවා. එහෙම තත්ත්වයක් තුළ ක්‍රීඩකයන් පිළිබඳවත් එක් එක් පුද්ගලයාට වෙනස්ම වටිනාකම් තිබෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රීඩකයාට තමාගේ දක්ෂතා සහ හැකියාවන් මත උපරිම වටිනාකමක් වෙන්දේසිය මගින් ලබාගන්න පුළුවන්.

ප්‍රශ්නය – එය කොතෙක් දුරට සාර්ථක වුණා කියලා ඔබ හිතනවාද?

පිළිතුර – උපරිම සාර්ථකයි. ඔබ දකින්න ඇති වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ක්‍රීඩකයන්ට මූලික ලංසුවට වඩා විශාල අගයක් වෙන්දේසියේදී ලැබුණා. ඩොලර් 20,000 ක මූලික ලංසුවකට තක්සේරු වී සිටි ඩිල්ශාන් මධුසංඛට ඩොලර් 92,000ක වටිනාකමක් ආවා. මේ වෙන්දේසියේ තරුව වුණේ ඔහුයි. එක් එක් පුද්ගලයා එක් එක් ක්‍රීඩකයා දිහා බලන්නේ වෙනස් වටිනාකම්වලින්. ඒ වගේම ඩොලර් 40,000 කට තක්සේරු වී තිබුණු චරිත් අසලංක ඩොලර් 80,000 කටත්, ඩොලර් 40,000 ක සිටි ධනංජය ද සිල්වා ඩොලර් 76,000 කටත් මිලට ගන්න කණ්ඩායම් කටයුතු කළා. දිනේෂ් චන්දිමාල්ට ඩොලර් 72,000ක අගයක් ආවා. ඩොලර් 30,000 සිටි බිනුර ප්‍රනාන්දු ඩොලර් 76,000කට මිලට ගත්තා. සධීර සමරවික්‍රම හිටියේ ඩොලර් 20,000 කට. ඔහුට ඩොලර් 48,000 ක වටිනාකමක් ආවා.

ප්‍රශ්නය – ඔබද මේ ක්‍රීඩකයන්ට මූලික ලංසුව තැබුවේ?

පිළිතුර – එය සිදු කළේ තේරීම් කමිටුව. මම ඊට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ක්‍රීඩකයෙක් මට කතා කරල කිව්වොත් එයාට තිබෙන වටිනාකම ද සංශෝධන එකතු කරන්න කියලා ඒ සඳහා මම මැදිහත් වුණා. මොකද ක්‍රීඩකයන්ට තමන්ගේ මූලික ලංසුව පිළිබඳ සංශෝධනයන් එකතු කිරීමට අවස්ථාව තිබුණා.

ප්‍රශ්නය – එහෙම සංශෝධනයන් ඇත්තටම සිදු කළාද?

පිළිතුර – ඔව්. සිම්බාබ්බේ සිට පවා මට ක්‍රීඩකයන් කතා කළා. ඔවුන් ඇතැමෙක් මට කිව්වේ ඔවුන්ට නියම කරල තිබුණු මූලික ලංසුව ඊට වඩා අඩු කරන්න කියලයි. ඒ වගේම සමහරු කිව්වා තමන්ව ඒ මට්ටමේ තියන්න කියලා. එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා ඊට වඩා වැඩි කරන්න කියලා. මේ වගේ උපරිම විනිවිද භාවයෙන් තමයි අපි වැඩ කළේ.

ප්‍රශ්නය – විදෙස් ක්‍රීඩකයන්ටත් ඒ අවස්ථාව තිබුණ ද?

පිළිතුර – නැහැ. ඔවුන් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේදී ම අපට ඔවුන්ගේ වටිනාකම සඳහන් කර එවනවා. ඊට පසුව අපිට ඒවා සංශෝධනය කරන්න බැහැ. සංශෝධනය කරන්න කියලා ඔවුන් ඉල්ලන්නෙත් නැහැ.

ප්‍රශ්නය – අපි එල්පීඑල් ෆ්‍රැන්චයිස් ලීග් එක සංවිධානය කරන්නේ හැමදාම මේ දන්න කියන ක්‍රීඩකයන්ට ම අවස්ථාව ලබා දෙන්න කියලා චෝදනාවක් එල්ල කළොත්?

පිළිතුර – එහෙම චෝදනා කරන්නේ ඇයි? අලුත් ක්‍රීඩකයන් ඕන තරම් මේ පාර තරගාවලියට එක් වෙලා ඉන්නවා. ඒ වගේම තම කණ්ඩායම වෙනුවෙන් තරගාවලියට අවුරුදු 21 න් පහළ එක ක්‍රීඩකයෙක් හෝ ගන්න කියලා අපි සෑම කණ්ඩායමකටම දැනුම් දැනුම් දීලා තිබුණා. ඒ වගේම නවක ක්‍රීඩකයන් ලෙස සොහාන් ද ලිවේරා, කවිශ්ක අංජුල, සශික දුල්ෂාන්, ලසිත් අබේරත්න, අවිශ්ක තරිඳු, ලහිරු සමරකෝන්, ලසිත් කෲස්පුල්ලේ ආදී ක්‍රීඩකයන් මෙවර තරගාවලියට එක්වී සිටිනවා. විශේෂයෙන් පසුගියදා නිමා වූ මේජර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ වීරයා වුණේ ලහිරු සමරකෝන්. ඔහුට මෙවර එල්පීඑල් තරගාවලියේ හොඳ වටිනාකමක් ලැබුණා. ඒ වගේම එම තරගාවලියේ දී හොඳම පන්දු යවන්නා වුණේ ලහිරු මධුසංඛ. ඒ වගේම ලසිත් කෲස්පුල්ලේ පිතිකරුවෙකු ලෙස පසුගිය කාලේ හොඳින් දස්කම් දැක්වූවා. එවැනි දක්ෂයන්ට මෙවර එල් පී එල් තරගාවලියේ හොඳ වටිනාකමක් සමග දොරටු විවර වුණේ අපේ මේ ක්‍රීඩක වෙන්දේසිය නිසයි. ඇත්තටම ලොව ඉහළ පෙළේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාගාරයේ රැඳී සිටීමත් අපේ මේ යෞවනයන් ලබන ලොකු භාග්‍යයක්. එහිදී ලබන අත්දැකීම් සුළුපටු නැහැ. ඔවුන්ගේ අනාගතයට එය ඉතා වටිනවා. කොටින්ම අපි එල්පීඑල් ගහන්නේ අද විතරක් බලාගෙන නොවේ. මේ තරගාවලියට එකතු වන යොවුන් ක්‍රීඩකයන් ඉදිරි යොවුන් ලෝක කුසලාන තරගාවලියට හොඳ ආයෝජනයක් වේවි.

ප්‍රශ්නය – මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් මිලදී ගත් සියලු විදේශ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නත් එයි කියලා ඔබ හිතනවද?

පිළිතුර – අනිවාර්යයෙන් ඔවුන් එනවා. ඒකෙ සැකයක් නැහැ. ඒ මූලික ලියාපදිංචිය යටතේ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් 10 දෙනා තරගාවලිය මගහැරියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපිට පුළුවන්.

කොටින්ම මේ කාලය ඇතුළත ඇමරිකානු ලීගයක් සහ අප්‍රිකානු ලීගයක් සංවිධානය වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ ලොව පිළිගත් ක්‍රීඩකයන් රැසක් අප සමග එක් වීම අපේ තරගාවලිය පිළිබඳ ජාත්‍යන්තරයට තිබෙන ඉහළ පිළිගැනීම මත සිදු වූ දෙයක් කියලයි අපි හිතන්නේ.

ප්‍රශ්නය – අපි එල්පීඑල් පවත්වලා මේ ක්‍රීඩකයන්ව පෝසත් කරන එක විතරද කරන්නේ?

පිළිතුර – එහෙම කියන්න එපා. මේ තරගාවලිය ලංකාවේ පවත්වන කොට ලංකාවට කොපමණ සංචාරක පිරිසක් එනවද? ඒ පිරිසට කෑම බීම හෝටල් පහසුකම් ඔක්කොම ලබා දෙන්න ඕන අපේ රට ඇතුළෙන්නෙ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සහ පුහුණු කාර්ය මණ්ඩලයට පමණක් අඩුම තරමේ හෝටල් කාමර 400 ක් වත් අවශ්‍ය වෙනවා. එතකොට ඒ හෝටලේට හොඳයි. හෝටලයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන මුදලාලිටත් එතකොට හොඳයි. හෝටලේ වැඩ කරන සේවකයටත් හොඳයි. තැඹිලි ගෙඩිය කපන වෙළෙන්දා, කඩල මුදලාලි එපමණද නැහැ. නාට්ටාමිගේ ඉඳන් ගුවන් සේවා සපයන ආයතනය දක්වාම හොඳයිනේ. ඒ හැමෝටම මුදලක් ලැබෙනවනේ. අනික ලැබෙන මුදල් සහ අනෙකුත් සම්පත් අයින් කරහම රටට ලැබෙන කීර්තිය කොපමණද බලන්න. මේවා සල්ලි දීලා ගන්න පුළුවන්ද? ලෝකෙ අංක එකේ ෆ්‍රැන්චයිස් ලීග් එකක් කරන රටක් ලෙස අපි ගැන ජාත්‍යන්තරයට යන ප්‍රතිරූපය කොතරම් වටිනවාද? අපි මේ වන විට සංචාරකයෝ ගෙන්න ගන්න ක්‍රම හොයමින් සිටින රටක්. ඒ සඳහා මේ තරගාවලිය කොපමණ වටිනවාද?

ප්‍රශ්නය – පසුගිය තරගාවලියට වඩා මෙවර තරගාවලිය සාර්ථක වෙයි කියන මට්ටමේ ඔබ ඉන්නවද?

පිළිතුර – ඔව්. විශේෂයෙන් ගිය පාරට වඩා ගොඩක් හොඳ ජාත්‍යන්තර ක්‍රීඩකයන් මෙවර අපි සමග එකතු වෙලා තිබෙනවා. පකිස්තාන නායක බාබර් අසාම් අපි සමග ඉන්නවා. දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් අපි සමග ඉන්නවා. නසීම් ශා, රහමනුල්ලා ගුර්බාස්, සකීබ් අල් හසන්, මුජීබ් අර් රහ්මාන්, ශොයිබ් මලික්, ලුන්ගි එන්ගිඩි ආදී ක්‍රීඩකයන් ඒ අතරින් විශේෂයි. ඒ ඔස්සේ ජාත්‍යන්තරය මෙවර තරගාවලිය පසුගිය වරටත් වඩා ඉහළින් වැළඳ ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඒත් මෙවරත් තරගාවලිය කණ්ඩායම් පහකට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාංගණ දෙකක පමණයි තරග පැවැත්වෙන්නේ. ඇයි එල් පී එල් කොළඹටත් නුවරටත් විතරක් සීමා වෙලා තියෙන්නේ?

පිළිතුර – ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. කණ්ඩායම් 6 ක් දක්වා වැඩි කරන්නත් දඹුල්ල හෝ තවත් නගරයකට තරගාවලිය ගෙන යෑමේ බලාපොරොත්තුවක් මටත් තිබුණා. ඒත් අපිට මෙවර ලැබී තිබෙන කාලය ඉතා අඩුයි. කොටින්ම දින 21 ක් ඇතුළත තරගාවලිය පවත්වා අවසන් කරන්නට ඕන. තව කණ්ඩායමක් එතනට දාන්න කාලය මදි. දඹුල්ලට යන්නත් කාලය මදි. මොකද ක්‍රීඩකයන්ව ගොඩක් වෙහෙස කරවන්න බැහැ. ඒ නිසා තමයි මුල් තරග කිහිපය නුවර පල්ලෙකැලේ පවත්වලා ඉතිරි තරග කොළඹ ඛෙත්තාරාමය ට ගෙනාවේ.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment