හොර පාරේ ගිය තෙල් බවුසර් 582ක් ගැන CID හොයයි

1186

සී.අයි.ඩීයට දෙන්න කියූ වාර්තාව තවමත් නෑ

තෙල් තොග ගබඩා දත්ත වෙනස් කිරීම යට ගහලා බවුසර් හරවලා ආවා කියලා බොරු දාලා – ඇමැති කාංචන කළ පැමිණිල්ලක්

ඉන්ධන හල්වලට 2022 වසරේ යැවූ ඉන්ධන බවුසර් පන්සිය අසූදෙකක් ආපසු තෙල් තොග ගබඩා පර්යන්තයට ගෙනැවිත් ඇති බව කියමින් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි සැප් (SAP) පරිගණක පද්ධතියට වැරදි දත්ත ඇතුළත් කර අක්‍රමිකතා සිදුකර තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) කළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව වහාම වෝහාරික විගණනයක් සිදුකර එම වාර්තාව වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට දැනුම් දී තිබුණත් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් හා තෙල් සංස්ථා පාලනාධිකාරිය එය යට ගසා නිහඬව සිටින බවට වාර්තා වී ඇත.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් වසරේ අගෝස්තු මස 18 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර තිබේ.

ඒ අනුව 2022 අප්‍රේල් 01 වැනිදා සිට එම වසරේ අගෝස්තු 15 දක්වා මාස හතරක කාලයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනයේදී හා බෙදාහැරීමේදී අක්‍රමිකතා සිදු වී තිබේ දැයි යන්න විමර්ශනය කරන ලෙසට ඇමැතිවරයා එකී පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගොස් එහි වෙළෙඳ අංශය, තොරතුරු තාක්‍ෂණ අංශයෙහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශන පවත්වා ඇත.

මෙම විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙකී කාල සීමාවේදී වැඩි මිල ගණන් යටතේ ලංසු ඉදිරිපත් කර තිබූ සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබාගෙන තිබූ බවයි. එහිදී බැඳුම්කර ඉදිරිපත් කර නොතිබූ සැපයුම්කරුවන්ගෙන් පවා ඉන්ධන මිලදී ගෙන ඇති බව ද පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

මෙහිදී තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සීපීඑස්ටීඑල්) හි තිබෙන සැප් (SAP) පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීමේදී වංචනික ක්‍රියා සිදු වී ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.

කොළඹ 14 ඒ. එච්. විමලතුංග ඉන්ධන පිරවුම්හලට රැගෙන ගිය ඩීසල් ලීටර් 6600 ක තොගයක් අඩංගු බවුසරය එම පිරවුම්හලට ලබා නොදී යළි ගබඩාවට ගෙනා බවට පරිගණක පද්ධතියට (SAP) දෙවරක් ම ඇතුළත් කර ඇතැයි තහවුරු වී තිබේ.

මේ අනුව සැප් පරිගණක පද්ධතියට වැරදි දත්ත ඇතුළත් කර අවස්ථා 582 කදී අදාළ ඉන්ධන තොග ගබඩාව වෙත ආපසු ගෙනා බවට සඳහන් කර තිබෙන බැවින් අදාළ පරිගණක පද්ධතිය නියමිත සම්මතයන්ට අනුව භාවිත කර ඇද්ද පිළිබඳ විමර්ශකයන්ගේ සැකයට බඳුන්ව තිබේ.

ඉන්ධන ආනයනයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, සැප් පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීම, සම්බන්ධව වෝහාරික විගණනයක් කර එහිදී අනාවරණය වන අපරාධමය කරුණු වහා තමා වෙත ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා තෙල් සංස්ථා සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment