විකට කවියෙන් හාස්‍ය රසය පමණක් නිරූපණය වේද?

835

ජනශ‍්‍රැති විද්‍යාවට (Folklore) අයත් අංගයක් වූ ‘‘ජනකවිය’’ සිංහල සමාජයේ අනාදිමත් කාලයක සිට මුල් බැස ගෙන ඇති සන්නිවේදන මාධ්‍යයක් බව පෙනේ. දුරාතීතයේ සිට පරපුරෙන් පරපුරට පැවත ගෙන ආ ජනකවිය පොදු ජනතාවට නොමඳ ආස්වාදයක් ලබා දුන් බව එහි අපූර්වත්වය දෙස බලන විට පැහැදලි වන අතර ගැමි ජීවිතයේ සියලූම ක්ෂේත‍්‍රයන් පසුබිම් වී නිර්මාණය වී ඇති මේ විශිෂ්ට සාහිත්‍යාංගය ඒ ඒ වකවානුවල ජීවත්ව සිටි ජනකායගේ ආධ්‍යාත්ම තතු සැබෑ ලෙසම විවරණය වන සමාජීය පිළිබිඹුවක් ලෙස සරලව පෙන්වාදිය හැකිය. ඒ අනුව ජනකවියේ සමාජීය වැදගත්කම පිළිබඳ දයා අමරසේකර මහතා දක්වන්නේ මෙවන් අදහසක්ය. ‘‘ජනකවි හුදු සාහිත්‍යාංගයක් පමණක් නොව සමාජ සම්බන්ධතාවන් ගොනු කර තබන අද්වීතිය ජන සන්නිවේදනාත්මක අංගයක් ලෙසද අගය කළ හැකි කාව්‍ය විශේෂයකි. එමෙන්ම හදවතෙහි පහළ වන දේ හෘදයංගමව, වටපිටාවට සරිලන සේ ප‍්‍රකාශ කිරීම ජනකවියාගේ දක්ෂතාව වේ.

 ජන කවි සාහිත්‍යය වූ කලී නොයෙක් අතු ඉතිවලින් පෝෂණය ලබා ගලා බසින සුන්දර නදියක් වැන්න. පුද පූජා, ඇදහිලි, විශ්වාස, ගොවිතැන හා වෙනත් රැුකී රක්ෂා, ගෙදරදොර ජීවිතය, උපදේශ, තේරවිලි, කෙළි සෙල්ලම් ආදී වූ ජන කවියේ අතු ඉති අතර වැඩුණු අනේක විධ පුෂ්පයන් බඳු කවි පොකුරුද හමු වේ. එපමණක් නොව හාස්‍යය හා විනෝදය ජනනය කිරීම අරමුණු කොට ගෙන පබැ`දුණු කවට ‘‘විකට කවි’’ නමින් හඳුන්වනු ලබයි. මෙම විකට කවි ගැමි ජනකාය සතු අදීන අදහස් ප‍්‍රකාශනයේ සහජ ළැදිකම පළ කෙරෙන කදිම සාධකය වේ. සාමාන්‍ය දිවි පෙවතට පටහැනිව කටයුතු කිරීම, සමාජ සම්මතය ඉක්මවා යාම, දුෂ් ප‍්‍රතිපත්ති, දුර්ගුණ ආදිය උපහාසයට, සමච්චලයට හා විවේචනයට භාජනය කිරීම යනාදිය විකට කවිය උපයෝගි කර ගෙන නිරූපණය කළ හැකිය. සෘජුවම දෝෂාරෝපණය කිරීම හෝ ගැරහීම හෝ ගැටුම්වලට තුඩු දෙන්නකි. එහෙත් විකට කවියෙන් කරන නිදහස් ප‍්‍රකාශනයන්ට කිසිවකු උරණ නොවන්නේ එහි ගැබ්ව ඇති වක්‍රොක්තීන් මඟින් සියුම් හාස්‍යයක් හා විනෝදයක් උපදවන බැවිනි.

 පොදු ජන වහර ඒ සැටියෙන්ම උපයෝගී කොට ගෙන පොදු ජන රුචිය හා රසාස්වාදය අරමුණු කොට පබැඳුණු මෙම විකට කවි සමාජයක් හැඩගැස්වීමට තරම් ප‍්‍රබල සාධකයක් වී තිබීම එම කාව්‍ය සාහිත්‍යයේ අතිශයින් අගය කළ යුතු අංශය ලෙස හැඳන්වීම ඉතා යෝග්‍යය. හාස්‍යෝත්පාදක පද්‍ය බන්ධනය නොහොත් විකට කවි පද බැඳීම ඈත යුගයේ සිටම අප රටේ ජනකාය අතර භාවිත වූ බවට සාක්ෂි රැුසක් දැකගත හැකිය. එළු සඳැස් ලකුණේ දැක්වෙන පහත කවියද විකට ස්වරූපයක් උසුලන නිර්මාණයකි.

 ‘‘මිණි මොර බී පිරුණු පතා
 අතෙක අතෙක හිඟුරු සැතා
 බිබී බිබී සුරා මතා
 සිසී තුටින් පුරා මැතා’’

 මෙය බේබද්දෙකුගේ විකට හැසිරීම පිළිබඳ අනුභූතියක් දනවන පද්‍යයකි. එහි අර්ථය ගතහොත් සුරා පිරුණ ඔඩම එක් අතෙකය. අනෙක් අතෙහි ඇත්තේ ඉඟුරු පොකුරකි. සුරා පානය කරමින් වහසි බස් හා පුරාජේරු කතා දොඩමින් ඔහු සතුටින් සිනාසෙයි. සුරා බී මත්ව විකටයකුගේ වෙසින් හැසිරෙන්නෙකුගේ ස්වරූපය එම පද්‍යයෙන් ධ්වනිත වෙයි.

 මහනුවර යුගයේ සමාජයේ පැවති කුල පිළිබඳව සඳහන් වන ප‍්‍රකට ජන කවි ඇත. තම කුලය උසස් යැයිද සෙසු කුලයන් පහත් යැයිද සලකා කුල මානය හිසට ගත් ගොවි වංශයේ අයගේ දර්පය බිඳීම සඳහා කවිය උපයෝගී කොටගත් අවස්ථා දක්නට ලැබේ. මෙම කාව්‍යාත්මක ප‍්‍රකාශන ඉදිරිපත් කරන ආකාරය හා එහි ඇතුළත් හාස්‍යජනක වදන් යෙදුම් නිසා ඔවුනොවුන් අතර ගැටුම් ඇති කර ගැනීමේ මානසිකත්වයක් හට නොගැනේ.

 ‘‘කිතුල් කැලේ වැවුවා මිස වැවුණෙ නැත
 කන්දෙ දනෝ එහි මල් දැක තලනු නැත
 පැණි උණුකර හකුරු පෙති දෙක මුලූ බඳිත
 හකුරු මුලේ ගොයිගම බාගයක් ඇත’’

 මෙහි සඳහන් වන ‘කන්දෙ දනෝ’ යනුවෙන් සඳහන් කොට ඇත්තේ වහුම්පුර ඇත්තන්ය. ‘හකුරු’ යන නමට අදාළ මූලාශ‍්‍රය අයත් වන්නේ ගොයිගම කුලයේ අයට බව කියූ සැටි එම කවියෙන් දැක්වේ.

 පරිසරයේ සොඳුරු බව හා කටුක බව පිළිබඳව නොමඳ අත්දැකීමෙන්ද දුක්කම්කටොලින් පිරි ජීවිතයේ විවිධ ආපදාවන්ට මුහුණ දීමෙන් ලද උපේක්ෂාවෙන්ද පිරිපුන් ගැමි කවියා පරිසරයත් ජීවිතයත් සම්බන්ධ කරමින් කියූ කවි නව පරපුරට නවමු අත්දැකීමකි. එහිදී කුරක්කන් කරල පිළිබඳව තේරවිල්ලක් ගැමි ජනයා දක්වන අතර එය හාස්‍යය හා විශ්මය දනවන්නකි.

 ‘‘අම්මාගේ උස මිටි අබ ඇට තරමට දරුවන් ප`දුරක් බෝ වෙන්නේ
 අම්මගේ හිස පිට ඇඟිල් පහක් ඇත ගමෙන් ගමට පූජිත වන්නේ
 දෙස් දෙස් වලිනුත් අඟනෝ ඇවිදින් බොටුව කපා බිම පෙරළන්නේ
 මෙකී මෙතුන් පද එකකුන් බොරු නැත තෝරාලා මෙතනින් යන්නේ’’

 ගොම්මන් වූ වේලාවට හොල්මන් අවතාර සොහොන් බිම් අසල අසන්නට දකින්නට ලැබේ. ඒ අනුව සොහොන් බිමක් අසලදී හුළු අත්තක් පත්තු කරගෙන එය වනමින් ගමන් කළ අයකුගේ පිටේ පොල් නාරටි කැබැල්ලක් වැදීම නිසා හොල්මනක් යැයි සිතා බියට පත් වූ බවත් එහි යථා තත්ත්වය අවබෝධ වූ පසු තමාටම සිනා වූ බවත් දක්වන්නේ මෙලෙසිනි.

 ‘‘සොහොන් පළෙන් මා ගෙදරට යන කලට
 එකෙක් ඇවිත් ඇන්නයි මගේ කොන්ද පිට
 ඒක කකා මං දෙවටේ යන කලට
 මම්ම මට ම ඉල ඇවිලූණි හිනාවට’’

 ගැමි ජනයා අතර ජනප‍්‍රියත්වයට පත් තවත් අංගයන් වනුයේ බලි තොවිල්ය. එහිදී ගම්වාසීන් බොහෝ දෙනෙක් එම තොවිල් නැරඹීමට යන්නේ එහි එන විවිධ වූ නැටුම් අවස්ථාවලින් විනෝදයක් ලබා දෙන හෙයිනි. ඒ අතර කෝලම් නැටුමේ හේවා කෝලම සුවිශේෂ වේ. මෙම කවිවල චරිතයන් හඳුන්වාදීමක් සිදු වන අතර එහි හාස්‍ය මුසු විකට වදන් වැලක් දැකගත හැකිය. නිදසුනක් ලෙස,

 ‘‘නිරිඳුගෙන් පොරණ
 සිටින තනතුරු ලැබගෙන
 නමින් බඩ ජල යන
 බොළඳ මුක්කම් කුණෙන් දැන් එන’’

 දැක්විය හැකිය. හේවා කෝලම සඳහා භාවිත කරන වෙස් මුහුණ විකට ස්වරූපයක් ගන්නා අතර එහි එන ‘මුක්කම් කුණා’ යන චරිතය දක්වා ඇත්තේ නාසය මැදින් හරහට කැපුම් පහරක් වෙස් මුහුණේ ඇති බැවිනි. මෙහිදී හුදු හාස්‍ය රසය ජනනය කිරීම විනා මිනිසුන් හෙළා දැකීමක් කිසිසේත් අපේක්ෂා නොකෙරේ.

 පවුල් ජීවිතයේදීත්, සමාජීක ජීවිතයේදීත් ඇති වන ගැටලූ, අවුලූ වියවුල් නොමනා ඇවතුම් පැවතුම් ඇති වීමට නොදී විසඳා ගැනීමට අපේ ගැමි සමාජය සමත්කම් දැක්වූයේ ඔවුන්ටම ආවේණික වූ සංස්කෘතික ඇබ්බැහිකමේ ඵලයක් වශයෙනි. දරුවන්ගේ කල් ක‍්‍රියා වෙනස් වන විට මෙන්ම ආවාහ විවාහ මඟුල් තුලා ආදියේදී පැන නැඟුණු අදහස් උදහස් සමනය කර ගැනීමේදීත් යොදාගත් උපක‍්‍රම අතර ජනකවිය සුවිශේෂය. එය හෘදයාංගමය. හාස්‍යයක් නැෙඟන පරිදි පද යොදා කියු කවි ඇසීමෙන් ඔවුන්ගේ සිත් පහන් වීය. ගති පැවතුම් සකස් විය.

 කෙනකු සතු දේ කඩාවඩාගෙන තවත් අයකු සැප සම්පත් අනුභව කරන විට පළමු කී අය තුළ ඇතිවන්නේ ඊර්ෂ්‍යාව හා මුසුවුණ කෝපයකි. එබඳු අයකු ජීවිතයේ අනියත බවද සිහිපත් කර දෙමින් තමන් සිතේ නැඟුණ ආවේගය පිටකළ අවස්ථාවක් ලෙස,

 ‘‘පුස්ඹ සබන් ගෑවත් ඇඟ කුණු වෙනවා
 චන්ද්‍ර පට සරොන් ඇන්දත් පණ යනවා
 කොච්චර රස බොජුන් කෑවත් බඩ දනවා
 මට කළ දේ තට දවසක පළ දෙනවා’’

 දැක්විය හැකිය. තත්කාලීන ගැමි සමාජයේ සියලූ චර්යාධර්ම රටාවන් පාහේ කවීන්ගේ අවධානයට යොමු වී ඇත. එහිදී එදිනෙදා වෘත්තීය ක‍්‍රියාකාරකම්වලදී, මඟ තොටදී හා ගෙදර දොරේදී කියු කවි ජනකවි අතර ප‍්‍රකට විය. මිනිසුන්ගේ නොමනා හැසිරීම්, මෝඩකම්, දුබලකම්, මෝඩකම් කුම්මැහිකම් සහ පුරසාර දෙඞීම් ජනකවියාගේ නිර්මාණයන්ට හසු වී ඇත. එම මිනිස් දුර්වලතාවන් හාස්‍යයට හා උපහාස්‍යයට නැඟීම විකට කවියෙන් සිදු විය. උදේ සිට ?වන තුරු ගමේ කඩපිල් මත ලැගගෙන කෙළි කවට කවි කතා ගොතා කියමින් කාලය ගෙවන අය පිළිබඳව ගම්මු උපහාස කතා කවි පදබැඳ කියන්නේ ඔවුන්ව සමච්චලයට ලක් කිරීමටය.

 ‘‘කවි හදන එකා
 කාකයෙකු මෙන් කා කා
 උගේ අඹු හිඟා කා
 කවියෙ මුල සිට අගට ලෙවකා’’

 මේ අනුව කිසිදු රැුකියාවක් නොකර තමාගේ අඹු දරුවන් ගැනද නොසිතා නිරන්තරයෙන් කවි පබැඳමින් කාලය ගත කළ අයකු පිළිබඳ තවත් ගැමියෙකු විසින් කළ කවියක් වන අතර එම කවියේ අවසාන පදය කදිම උත්ප‍්‍රාසයක් දනවන්නකි. මේ ආකාරයට විවිධ සමාජ පැතිකඩ පසුබිම් කොට නිර්මාණය වී ඇති ‘‘කවට කවි සාහිත්‍යය’’ පැරණි සිංහල ජනතාවගේ ජීවන තොරතුරු සහ සමාජ දර්ශනය, ගති පැවතුම් ආදි තොරතුරු රැුසක් ඉස්මතු කරන හාස්‍ය රසයෙන් සුපෝෂිත ඉතා වටිනා සාහිත්‍යාංගයක් පමණක් නොව නූතන පරපුරට අත්දැකීම් සමුහයක් ලබාදෙන අපූරු තෝතැන්නක් බව කිව යුතුමය.

 ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
 ජයනෙත්ති, දයාපාල. විකට කවියේ සමාජ දැක්ම. මුල්ලේරියාව:
 විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය, 2005.
 වීරසූරිය, ජී. ඞී. ඇස්. ජනකවි සාහිත්‍යය, 1959.

 මනෝජා නවෝදනී ඒකනායක
 සහකාර කථිකාචාර්ය
 සිංහල අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය

 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment