ශ්‍රී ලංකා ටෙස්ට් ඔටුන්න ධනංජයට – පළමුවරට ආකෘති 3ට නායකයෝ 3ක්

281

පළමුවරට ආකෘති 3ට නායකයෝ 3ක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා ධනංජය ද සිල්වා පත් කළ බව නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (03 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

එක් දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට ද, පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංගටද පවරා ඇති අවස්ථාවක ක්‍රිකට් තරග ආකෘති තුන සඳහා නායකයන් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් පත් කළ පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර සුදු පන්දුවේ තරග නායකත්වය (එක් දින සහ පන්දු වාර 20 -20 ) එක් නායකයෙකු යටතේත්, රතු පන්දුවේ තරග (ටෙස්ට්) කණ්ඩායමේ නායකත්වයට එක් නායකයෙකු ලෙසත් නායකයෝ දෙදෙනෙක් ක්‍රීඩා කළහ.

2016 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග වරම් ලැබූ ධනංජය ද සිල්වා මේ වනවිට ටෙස්ට් තරග 46 කට ක්‍රීඩා කර ඇති අතර එක් දින සහ පන්දු වාර 20 -20 තරග 65 ක් සහ 36 ක් ඔහු පිළිවෙළින් ක්‍රීඩා කර ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ඒ අනුව කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සිටින අතර තමාට ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බව දිමුත් බලධාරීන්ගෙන් මීට පෙර ඉල්ලා තිබුණි.

ධනංජයගේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කළ බවද තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේ වුවද තමා ද පෞද්ගලිකව කැමැති කණ්ඩායම් තුනටම එක නායකයෙක් බවද ඔහු එහිදී කීය.

“පෞද්ගලිකව මමත් කැමතියි කණ්ඩායම් තුනටම එක නායකයෙක් ක්‍රීඩා කරනවා නම්. ඒත් මේ තිබෙන තත්ත්වය අනුව එහෙම කරන්න අමාරුයි.”

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ සහභාගි වන පළමු ටෙස්ට් තරගය ලබන පෙබරවාරි මස 06 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment