පොලිසියේ 36 හිස් – මෙහෙම වුණේ මුල් වතාවට

3021

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු දින තුනක් තිස්සේ පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ අරාජික තත්ත්වයක් උද්ගතවී ඇත.

දින තුනක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැතිවීම පොලිස් ඉතිහාසයේ මුල් වතාවට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා පත් කිරීමට ඊයේ (28 වැනිදා) වනතුරුම කටයුතු නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 26 වැනිදා සිට සිය සේවයෙන් විශ්‍රාම ගියේය. ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පතිවරයා වශයෙන් පත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු සුදුසුකම් ලබා සිටියහ.

එහෙත් වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර සඳහා මේ වනතුරුත් කිසිදු නිලධාරියකු පත්කිරීමට රජය කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීපදෙනෙකුම කියා සිටියේ මෙය ඉතාම නරක තත්ත්වයක් බවත් රට තුළ හදිසි අවස්ථාවක් ඇති වුවොත් තීරණයක් ගැනීමට පොලිස්පතිවරයකු නොමැතිවීම බරපතළ තත්ත්වයක් බවත්ය.

තවත් නිලධාරියකු කියා සිටියේ ‘අපට දැන් තීරණයක් ගන්න අහන්න කෙනෙක් නැහැ. උපදෙසක් ගන්න කෙනෙකු නෑ, මේක පොලිසියේ පරිපාලනයට ඉතාම නරක තත්ත්වයක් යනුවෙනි.
හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment