හොඳ හිත හා දෙරටට වැඩදායක ඉන්දු-ලංකා මගී යාත්‍රා සේවය

643

කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන යාත්‍රා (ෆෙරි) සේවාවක් ලබන අප්‍රේල් මස 29 වන දා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු සඳහා ඉන්දීය සහ ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විටත් පියවර ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දින නිවේදනය කළේය.

මෙම මගී යාත්‍රාවේ එක් ගමන් වාරයකට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් බවට නිවේදනය කර ඇත. එම ගාස්තුවේ ආසන්න වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 16,000 ක් පමණක් වෙයි. අර්බුදකාරී තත්ත්වයත් සමග මෙරට ප්‍රවාහන වියදම්වල ඉහළ යෑම සලකා බැලීමේදී දූපතක්ව පිහිටි ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංචාරය කිරීමට එවැනි මුදලක් නියම කිරීම ඉතා සහනදායී වන බව කිව හැකිය. කොරෝනා උවදුරෙන් පසුව ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ගුවන් ගමන් සේවා වල මිල දරාගත නොහැකි ආකාරයට ඉහළ ගියේය. කොළඹ සිට චෙන්නායි දක්වා ගුවන් ගමනාගමනය සඳහා අවම වශයෙන් මේ දිනවල රුපියල් 75,000 මුදලක් අය කරනු ලැබේ. එවන් වාතාවරණයක් යටතේ ඉතා අඩු මුදලකට දෙරට අතර ගමනාගමන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කිරීම දෙරටේම මහජනතාවට මහත් අත්වැසිල්ලකි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය විවෘත බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබුණි. ඒ තුළින් දෙරටේ ව්‍යාපාරිකයන්ට නව වෙළෙඳ අවස්ථා හිමි වන අතර අවසානයේදී එය පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට හේතුවක් වනු ඇත. ඉන්දියාවේ පොන්ඩිචෙරි සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර යෝජිත සේවාව සම්බන්ධයෙන් පසුගිය මාර්තු 24 වන දින වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳ මාධ්‍ය වෙත තොරතුරු නිකුත් කරන ලදී. එම සාකච්ඡාව අතරතුර, තොටුපළ හිමිකරුවන් සඳහන් කර ඇත්තේ එක් ගමනාන්තයක් සඳහා එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 50 ක් අය කරන බවයි. තවද එක් මගියෙකුට කිලෝග්‍රෑම් 100 ක් දක්වා බර ගමන් මලු රැගෙන යෑමට ඉඩ සැලසෙන බව එහිදී නිවේදනය කරන ලදී. යෝජිත මගී යාත්‍රා ප්‍රවාහන සේවයේ පළමු අදියර තුළ දිවා කාලයේ මෙහෙයුම් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට ඇත.

එක් ගමන් වාරයකදී මගීන් 150ක් දක්වා රැගෙන යෑමට බලාපොරොත්තු වන අතර පොන්ඩිචේරි හි කරයිකාල් වරායේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීමට පැය 4 ක පමණ කාලයක් ගතවනු ඇත. කන්කසන්තුරේ සහ කරෙයිකාල් යන ප්‍රදේශවල ආගමන විගමන කාර්යාල දෙකක් බැගින් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.

මේ වන විට කන්කසන්තුරේ වරායේ මගී පර්යන්තයක් ඉදිකරමින් මගී සේවයට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරමින් පවතින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසා සිටියි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වියදම රුපියල් මිලියන 144 ක් ලෙසට ඇස්තමේන්තු කර ඇත. වැඩ අවසන් කර, පර්යන්තය අප්‍රේල් මස දෙවන සතිය වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියට භාරදීමට සැලසුම් සකස් කොට ඇත.

මගී යාත්‍රා සේවාව සඳහා ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් විසින් මුලින් යාත්‍රා ලබා නොදෙන බවත් ඒ වෙනුවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැඳවන ලද ටෙන්ඩරය යටතේ යාත්‍රා ලබාදීමට කටයුතු කරන බවටත් කරුණු අනාවරණය වී ඇත. දෙරට අතර සංචාරක පැමිණීම් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී පාරු සේවා නැවත ආරම්භ කිරීමට තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පසුගිය මස පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා රජය ඇගයීමකට ලක් කළේය.

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය මම අගය කරනවා. මම හිතන්නේ අපි මගී සේවා නැවත ආරම්භ කළ පසු, එය අපේ රටවල් දෙක අතර සංචාරක ව්‍යාපාරය නව මානයට රැගෙන යනු ඇති. ඇයි අපි එය නොකළ යුත්තේ?” ගෝපාල් බග්ලේ මහතා ප්‍රශ්න කර සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ රාමඩා හෝටලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

● සංචාරක කර්මාන්තයට කොළ එළියක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට යෝජිත මගී යාත්‍රා ප්‍රවාහන සේවයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සෘජු දායකත්වයක් සපයනු නොඅනුමානය. මේ තුළින් ඉන්දීය ව්‍යාපාරිකයන් ඇතුළු සංචාරකයන්ගේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි අතර ඒ තුළින් රටේ සමස්ත සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට පිටිවහලක් වනු ඇත. ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථාවන් බිහිවනු ඇත. ඒ මගින් එම සේවාවන්හි නිරත අයගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙය මහත් ආශිර්වාදයක් වනු ඇත. දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වූ ජනතාවට ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම මහත් ආශිර්වාදයක් වනු නොඅනුමානය. මෙම ව්‍යාපෘතිය මෙරටට විදේශ විනිමය ගෙන එන තවත් මූලාශ්‍රයක් වනු ඇත.

මීට අමතරව විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනයා විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා මේ මගින් වෙළෙඳපොළක් ඇති කරනු ඇත. එම ප්‍රදේශ වල ජනයා ගෘහස්ථව සිදු කරන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් මේ මගින් නිර්මාණය වනු ඇත. ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධස්ථාන නැරඹීමට ඉන්දීය සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිණෙනු ඇති අතර ඒ තුළින් දෙරට අතර සංස්කෘතික සබඳතා පුළුල් ලෙසට වර්ධනය වනු ඇත.

සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment