සිම්බාබ්වේ සමග 20 – 20 තරගාවලිය හෙටින් ඇරැඹෙයි

408

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට මාස පහක් පමණ මෑතින් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු පන්දු වාර 20 -20 තරගය සංචාරක සිම්බාබේ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (14 වැනිදා) පැවැත්වේ.

රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය හෙට රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිත වේ.

ශ්‍රී ලංකා පන්දු වාර 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස වනිදු හසරංග පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු පන්දු වාර 20-20 තරගය ලෙසද මෙම තරගය සැලකේ.

මෙම තරගාවලියට පෙර පැවැති එක් දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබීම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල ඔවුන්ගේ මානසික තත්ත්වය ඉහළ නංවන්නකි.

තරගාවලියේ අනෙක් තරග ලබන 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා නම් කර තිබූ 22 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් ඉවත් කර ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබුණි.

එහි උප නායකයා ලෙස වමත් පිතිකරු චරිත් අසලංක පත්කර තිබේ.

අදාළ සංචිතය නම් කිරීමේදී එක්දින සංචිතයට ඇතුළත් නොවූ කුසල් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ද 20යි 20 අවසන් 16 සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇත. දිගු කලකට පසුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ද අවසන් 16 ස්ථානයක් හිමිව තිබේ.

ඩෙංගු රෝගය වැළඳීම නිසා එක්දින තරගාවලිය අහිමි වූ පැතුම් නිස්සංක සංචිතයට නම් කර තිබෙන්නේ සුදුසු යෝග්‍යතාවකින් පසුවුවහොත් පමණක් තරගාවලියට යොදා ගැනීමේ අරමුණ ඇතිවය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මෙතෙක් පන්දු වාර 20-20 එක්දින තරග 3ක් පවත්වා ඇති අතර එම තරග 3 ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය

වනිඳු හසරංග – නායක, චරිත් අසලංක – උප නායක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක – (යෝග්‍යතාවට යටත්ව), මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment