ශ්‍රී ලංකා කාන්තාවෝ ආසියානු ක්‍රිකට් කිරුළට ළංවෙති

331

වසර 14 කට පසු ශ්‍රී ලංකා ඉන්දියා අවසන් මහා තරගයක්

වසර 14කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත්වූවාය. ඒ ඊයේ පැවැත්වූ අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමිනි.

බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 122ක අභියෝගයක් පාකිස්තානයට භාර කළේය. ඒ අනුව ජයග්‍රහණය හඹා ගිය පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 121කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

ජයග්‍රහණය දෙපිලටම දෝලනය වූ තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 18 තුළදී කඩුලු 7ක් අතැතිව ලකුණු 18ක් පමණක් පාකිස්තානයට අවශ්‍ය වී තිබිණි. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරියගේ පන්දු හමුවේ පාකිස්තාන පිතිකාරණියන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 16ක් පමණි. ඒ අතරවාරයේ තවත් කඩුලු 3ක් බිඳ දැමීමටද ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුව තරමක් ඈතට තල්ලු කිරීමට සමත්වූ බිස්මා මහරූෆ් පන්දු 41කදී ලකුණු 42ක් පාකිස්තාන ඉනිමට එක් කළේය. පාකිස්තාන ඉනිමේ අවසන් පන්දුව දක්වාම සටන් කළ නිඩා ඩාර් පන්දු 26ක් තුළදී ලකුණු 26ක් ලබා සිටියදී පාකිස්තාන ඉනිමේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියාය.

පාකිස්තානයට පන්දුවෙන් තර්ජනය එල්ල කළ ඉනෝකා රණවීර සිය පන්දු වාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වූවාය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2 මුළු ලකුණු 39දී බිඳ වැටුණද හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූවාය.

හර්ෂිතා පන්දු 41කදී ලකුණු 35ක් රැස් කිරීමට සමත්වූ අතර නිලක්ෂි ද සිල්වා පන්දු 27කදී ලකුණු 14ක් ලබා ගත්තාය. අනුෂ්කා සංජීවනී පන්දු 21කදී ලකුණු 26ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළාය.

ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ 5 වැනි වරට වන අතර ඔවුන් මීට පෙර 2004, 2005, 2006 සහ 2008 යන වසරවලදී පිට පිටම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබේ.

මේ අතර ඊයේ පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී තායිලන්ත කණ්ඩායම ලකුණු 74කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ලබන 15 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිල්හෙට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 122යි (අනුෂ්කා සංජීවනී 26, හර්ෂිතා සමරවික්‍රම 35, නිලක්ෂි ද සිල්වා 14, නිෂාරා සඳු 17/3,)

පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 121යි (බිෂ්මා මහරූෆ් 42, නිඩා ඩාර් 26, මුනීබා අලී 18, ඉනෝකා රණවීර 17/2)

advertistmentadvertistment
advertistmentadvertistment