පාපන්දු නිලවරණයේ අභියාචනා අවසන් තීන්දුව අද – දහ දෙනකුගේ කල්ලියක් තහනම යළි බලගැන්වීමේ කුමන්ත්‍රණයක

131

හිටපු සභාපති ජස්වර් උමර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා විමර්ශනයේ අවසන් තීන්දුව නිලවරණ කමිටුව විසින් අද (04 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඉදිරි වසර 4 ක ධුර කාලය සඳහා සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් ලබන 29 වැනිදා නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම පසුගිය 19 වැනිදා ආරම්භ වී 29 වැනිදා අවසන් විණි.

නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ඉන් පසුව අවස්ථාව සලසා දී තිබුණි.

නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් මහතා කටයුතු කරන අතර, සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරු කටයුතු කරති.

මෙවර නිලවරණය සඳහා පාර්ශ්ව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර එහි එක් පාර්ශ්වයක් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කෙරිණි.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී. එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ නාමයෝජනා එලෙස ප්‍රතික්ෂේප වී තිබුණි.

මේ අතර නිලවරණය සඳහා නාමයෝජනා භාර දුන් අනෙක් පාර්ශ්වයේ සභාපති ධුර අපේක්ෂක හිටපු සභාපති ජස්වර් උමර් මහතා පසුගියදා පැවසුවේ 10 දෙනකුගෙන් යුතු කල්ලියක් නිලවරණය කඩාකප්පල් කර යළි ජාත්‍යන්තර තහනමකට කුමන්ත්‍රණය කරන බවයි.

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පිරිසක් සහ අරගලකරුවන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් ඊට එක්ව ඇතැයි ද හිටපු සභාපති ජස්වර් උමාර් මහතා එහිදී කීය.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව තනතුරු අපේක්ෂාවන් සහ විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් විනාශ නොකරන ලෙස පාපන්දු ප්‍රතිවාදීන් ගෙන් ඉල්ලා සිටින බවද ජස්වර් උමාර් මහතා එහිදී පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ ජස්වර් උමාර් මහතා, “සුළු පිරිසක් පාපන්දු ක්‍රීඩාව යළි වළපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා තිබෙනවා. ඔවුන්ගේ වුවමනාව යළි තහනමක් පනවා ගැනීමයි. අපේ රටේ නැවත කුලල් කා ගන්නවා කියන එක ලෝකයට පෙන්නන්න ඔවුන් උත්සාහ කරනවා. 10 දෙනක්ගේ කල්ලියක් මේ පිටුපස ඉන්නවා. ඒ වගේම පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා. ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා. මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා. ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා. බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා.

පාපන්දු සම්මේලනයේ දූෂණ වංචා ඉවර කරන්න පළමු පියවර තැබූ පුද්ගලයා තමයි මම. මම ගෙනාපු ව්‍යවස්ථාව මගේ මුදල් බලතල පවා මම කප්පාදු කර ගෙන තිබෙනවා. ඒවා කළේ විනිවිදභාවයෙන් යුතුව වැඩ කරන්න ඕනා නිසයි.”

එම මාධ්‍ය හමුව සඳහා ජස්වර් උමාර් පාර්ශ්වයෙන් උප සභාපති ධුර අපේක්ෂකයෙකු ලෙස තරග කරන දොස්තර මනිල් ප්‍රනාන්දු සහ අනුරාධපුර ලීගයේ හිටපු සභාපති සාගර පියතිලක මහතා ද එක්ව සිටියහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment