මැයි දිනය දා… රට හදන විසඳුම වෙනුවෙන් ජන බලය මාලිමාව වටා ඒකරාශී කිරීම අපේ අරමුණයි – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

56

මැයි දිනය ජනතාවගේ පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළගස්වන දිනයක් බවට පත්කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

පක්ෂ මුලස්ථානයේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ජාතික ජන බලවේගය ලෙස මැයි දිනයට සහභාගිවීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් අපි මේ මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළා. මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයයි. ලෝකය පුරා සිටින ප්‍රගතිශීලී කම්කරු ජනතාව මැයි දිනයේදී තමන්ගේ අරමුණු, ඉලක්ක ජයග්‍රහණය කරගැනීම සඳහා සහ තමන්ගේ සමගිය, ශක්තිය පෙන්වීම අරමුණු කර ගෙන මැයි දිනය සමරනවා. මේ මැයි දිනය උදාවෙන මොහොතේ ලෝකය පුරාම සිටින වැඩකරන ජනතාව විශාල අර්බුදයන්ට මුහුණ පා සිටිනවා. වර්තමානයේ ලෝකයේ අධිරාජ්‍යවාදය බිඳවැටීම නිසා ලොව පුරා ජනතාව මත විශාල බරක් පැටවී තිබෙනවා. ඒ වගේම වැඩකරන ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කෙරෙමින් තිබෙනවා. ජනතාව ජීවත්වෙන්න බැරි තත්වයකට මුහුණ දී තිබෙනවා. ලොව පුරා අපරාධ වැඩිවී තිබෙනවා. ඒ වගේම යුද ගිනිදැල් ඇවිලී තිබෙනවා.

අද වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක්. ගෙවා ගත නොහැකි ණය බරක් පාලකයන් විසින් ගොඩගසා තිබෙනවා. ගෙවා ගත නොහැකි බදු බරක් ජනතාව මත පටවා තිබෙනවා. වංචා දූෂණ, මහජන මුදල් නාස්තිය, දේශපාලකයන් විසින් ජනතාව රැවටීම දිගටම සිදුවෙමින් තිබෙනවා. ඉතිහාසය පුරා ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. ලෝකය පුරාම වගේම අපේ රටේ ජනතාවත් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් තිබෙනවා. 1886 අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය 12- 15ක් පමණ වූ සේවා කාලය වෙනුවට පැය අටක වැඩ දිනයක් ඉල්ලා උද්ඝෝෂණය කළා. එවකට පාලකයන් විසින් එම උද්ඝෝෂණය මර්දනය කළා. කම්කරු නායකයන් කිහිපදෙනෙකුට දිවි පුදන්න සිදුවුණා. එසේ වුවත් එම අරගලය ජයග්‍රහණය කළා. එම අරගලය සිහිපත් කිරීම සඳහා මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කර, සමරනු ලබමින් තිබෙනවා. 1886 අරගලය කළේ පැය අටක වැඩ දිනයක් දිනාගැනීම සඳහායි. එහෙත් අද නව ලිබරල්වාදයේ ක්‍රියාමාර්ග හමුවේ දිනාගත් පැය අටේ වැඩ දිනය ජනතාවගෙන් උදුරා ගනු ලැබ තිබෙනවා.

අපේ රටේ ප්‍රගතිශීලී ජනතාවට, වාමාංශික ජනතාවට තිබෙන එකම විකල්පය තමයි මේ දුෂ්ට පාලනය පරදවා, සැමදෙනාටම සාධාරණය ඉටුකිරීමට හැකි යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරන එක. ජාතික ජන බලවේගය ලෙස අපි තීරණය කළා, ‘රට හදන විසඳුමට – ජන බලය එක පෙළට’ යන තේමාව සහිතව මැයි දිනය පැවැත්විය යුතුයි කියලා. ජාතික ජන බලවේගය ගොඩනැගුවාට පසුව පවත්වන පළමුවැනි මැයි දිනය මෙයයි. මේ මැයි දිනය පවත්වන්නේ ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාවකයි. මේ මැයි දිනය ජනාධිපතිවරණයට ශක්තියක් වෙන යෝධ පියවරක් තබාවි යැයි අපි විශ්වාස කරනවා. රට හදන විසඳුම වෙනුවෙන් ජන බලය මාලිමාව වටා ඒකාරාශී කිරීම තමයි අපේ අරමුණ. රට ගොඩනඟන්න පුළුවන් ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා බලය පෙළ ගැස්වීම තමයි අපේ අරමුණ.

අප ස්ථාන හතරක මැයි දින සැමරුම් පවත්වනවා. යාපනය, අනුරාධපුරය, කොළඹ, මාතර යන ප්‍රධාන නගර හතරක මැයි සැමරුම් හතරක් පවත්වන්න තීරණය කර තිබෙනවා. යාපනයේදී මැයි රැලිය පළමුවැනිදා උදේ කාලයේත් අනෙක් මැයි දින සැමරුම් සවස් වරුවේත් පවත්වන්න අදහස් කොට තිබෙනවා.

අපේ තේමාව වෙන්නේ මේ පවතින දුෂ්ට පාලනය නිමා කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමයි. මේ වන විට අපේ රටේ සෑම ජන කණ්ඩායමක්ම මේ පාලනයෙන් බැට කා තිබෙනවා. ජීවත්වීම ඉතා අමාරුවෙලා තිබෙනවා. වැඩකරන ජනතාවට වැටුප් වැඩිවීමක් නැතිවා වගේම බදු බර වැඩිවීමත්, බඩු මිල වැඩිවීමත් වෙලා තිබෙනවා. අධ්‍යාපනය අර්බුදයට ලක්වෙලා තිබෙනවා වගේම දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්ථා අහිමි වෙලා තිබෙනවා. පෞද්ගලික අධ්‍යාපනයේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමාපියන්ට බරක් වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමෙන් රෝගීන් අපහසුතාවයට පත්වී තිබෙනවා. පොදුවේ සමාජ ව්‍යුහයන් බිඳ වැටී අරාජිකත්වයට පත්වී, සමාජය තුළ ආරක්ෂාව නැතිවෙලා තිබෙනවා. ළමුන්ට වගේම කාන්තාවන්ට ආරක්ෂාව අහිමිවෙලා. මේ සමාජය මිනිස්සුන්ට මිනිස්සු ලෙස ජීවත්වීමට බැරි තත්වයක් උදාවෙලා. මෙවන් තත්වයක් දරාගෙන, මෙවන් සමාජයක් පවතින්න ඉඩහැරීමට යුක්තිගරුක ජනතාවකට අයිතියක් නැහැ.

2024 මැයි දිනය, ජාත්‍යන්තර කම්කරු දිනය ජාතික ජන බලවේගය හැටියට පුළුල් තේමාවක් ඔස්සේ පොදු ජනතාවට බලය ලබා ගැනීම සඳහා පොදු ජනතාව පෙළගස්වන දිනය බවට පත්කර ගනිමු

advertistmentadvertistment
advertistmentadvertistment