කොසු මිටකින් පහරදී අනියම් බිරිඳ සහ පුතු ලක්‍ෂ පහක රන් බඩු කොල්ලකෑවා – සැමියාගෙන් පොලිසියට පැමිණිලි

373

අනියම් බිරිඳගේ නිවසට ගිය අවස්ථාවේදී ඇය විසින් කොසු මිටකින් පහරදී ඇයගේ පුත්‍රයා සමග එක්ව, ලක්ෂ පහක් වටිනා තමාගේ රත්තරන් බඩු කොල්ලකෑ බවට පුද්ගලයකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

පැමිණිලිකරු සේනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත්, ඔහු බිරිඳ සහ දරුවන් අතහැර ගල්කිරියාගම ප්‍රදේශයේ, ගමක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින්, ඇයගේ දරුවන් සමග එම නිවසේ පදිංචිව සිටියදී මෙය සිදුව ඇති බව පොලිසිය කියයි.

තමා එම නිවසේ සිටින අවස්ථාවේදී දරුවන් දෙදෙනා සමග යතුරුපැදියෙන් පැමිණි එම කාන්තාව ගැටුමක් ඇති කරගෙන නිවසෙන් පිටවයන ලෙස බැණ වදිමින් කොසු මිටකින් පහරදුන් බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

අනතුරුව නිවසේ නිදන කාමරයේ එල්ලා තිබූ තමාගේ රන් මාලය සහ රන් අත් පළඳනාව රැගෙන පැළඳගත් පසු, අනියම් බිරිඳගේ පුත්‍රයා තමාගේ දෙඅත් පිටුපසට අල්ලා සිටියදී, අනියම් බිරිඳ කරේ තිබූ රන් මාලයද, අතේ තිබූ අත් පළඳනාව ගලවා ගත් බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

2007 වසරේ දී තමා බාප්පාගෙන් රුපියල් 70,000 ක ට එම රන් භාණ්ඩ මිලදී ගත් බවත්, වර්තමානයේ එම අත් පළඳනාව ලක්ෂ තුනක් සහ රන්මාලය ලක්ෂ දෙකක් පමණ වන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇති බව පොලිසිය කියයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment