මරණ දඬුවම ක‍්‍රියාවේ නැත්නම් සාම්ප‍්‍රදාය වැඩක් නෑ: පෑන කඩා විදුලි පංකා නිවීම කරන්නේ නෑ

749

මහාධිකරණ විනිසුරුවරයෙකු මරණ ද`ඩුවම දෙමින් කළ සුවිශේෂි ප‍්‍රකාශයක්

අඹේපිටිය ඝාතකයන්ටත් මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක වුණේ නෑ…. සමහරු සමාව ලබනවා

මරණීය දඩුවමකදී අනුගමනය කරන කිසිදු සාම්ප‍්‍රදායික ක‍්‍රියාවක් අද මේ මරණ දඬුවම දෙන අවස්ථාවේ අනුගමනය කරන්නේ නැහැ. සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වභාවයෙන්ම මේ මරණ දඩුවමත් පමණුවනවා යැයි තංගල්ල පුර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විවෘත අධිකරණයේදී පැවසීය. 04 – පිටුවට

නඩු විභාගයකින් අනතුරුව චුදිතයකුට මහාධිකරණයකදී මරණීය ද`ඩුවම නියම කිරීමේදී සාම්ප‍්‍රදායිකව අනුගමනය කරන විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා එම තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම වැනි ක‍්‍රියාවන් කිසිවක් තමා අද දිනයේ විවෘත අධිකරණයේදි සිදු නොකරන බවත්, මෙම දඬුවම ද සාමාන්‍ය නඩු තීන්දුවක ස්වරූපයෙන්ම ලබා දීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා පුද්ගලයකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදී පැවසීය.

තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා මේ බව පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ පුද්ගලයකුට තංගල්ල මහාධිකරණයේදි මරණීය දණ්ඩනය ලබාදීමට පෙරාතුව විවෘත අධිකරණය අමතමිණි. විවෘත අධිකරණයේදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘මහාධිකරණයකදී චූදිතයකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම සිදු කරන නමුත් අද දිනයේ මම එම සාම්ප‍්‍රදායික ක‍්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි. එයට හේතුව වන්නේ ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතා ඝාතනය කර මිනීමැරීමේ චෝදනාවට වරදකරු වූ චූදිතයන්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුව අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩනය ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවීම මෙන්ම තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවලදී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයන් පවතිනා නීති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යෑම ආදී ක‍්‍රියාකලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප‍්‍රදායිකව එසේ කරනු ලබන පෙරකී ක‍්‍රියාවන්හි අදාළතාවයක්, ප‍්‍රායෝගිකතාවක් නොමැතිය. ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තීන්දු ප‍්‍රකාශ කරන ආකාරයෙන් ඉඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි.’’

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නමැති විවාහකයකුටය. චූදිත 2006.10.16 දින හෝ ඊට ආසන්න දිනකදී වලස්මුල්ල හොරේවලදී සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා නමැත්තියගේ මරණය සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු බවට පත්වීමෙන් පසු මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණි.

රාජපක්ෂලාගේ ලාල් රංජන් වන යුෂ්මතා සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා යන අයගේ මරණය සිදු කිරීමේ අපරාධය සිදුකොට ඇති බව මෙම නඩුවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් එකී සාපරාධී ක‍්‍රියාව සඳහා නීතිය අනුව පමුණුවන ලබන දඩුවමේ වග නම් යුෂ්මතා වැලිකඩ බන්ධනාගාරයට ගෙනියනු ලබන බවත්, ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන දිනයකදී, වේලාවකදී හා ස්ථානයකදී මිය යන තුරු බෙල්ලෙන් එල්ලා ජීවිතක්ෂයට පත් කළ යුතු බවට නියම කෙරුණු අතර බන්ධනාගාර ජේලර්වරයකු කැදවා චූදිත බාරදෙන තෙක් චූදිත සුරක්ෂිතව අධිකරණ සිර මැදිරියේ තබා ගත යුතු බවත් මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගයාන් එල්. පෙරේරා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment