රක්‍ෂණයේ ඉතිහාසය

227

1774 දී පනවනු ලැබූ ජීවිත රක්‍ෂණ ආඥා පනත නිසා එකල එංගලන්තයෙහි පැතිරෙමින් පැවැති දූෂණ ක්‍රියා ක්‍රමයෙන් අඩුවේගන ගියේය. අටළොස් වැනි ශත වර්ෂය අවසාන වනවිට ජීව ගණක විද්‍යාත්මක ප්‍රතිපත්තීන් අනුව ජීවිත රක්‍ෂණය කරන සමාගම් කිහිපයක් ඇතිවිය. දහනව වෙනි ශත වර්ෂයේ මුල් කොටසේදී එංගලන්තයේ කාර්මික විප්ලවය ඇරඹෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී වර්ග තුනක ජීවිත රක්‍ෂණ සමාගම් ඇතිවිය. ඒවා නම් (1) කිසිම ගිනි ආරක්‍ෂණ සමාගමක් සමඟ සම්බන්ධ නොවූ, මාරු කළ හැකි කොටස් ඇති නිරාකරණ ඔප්පු යටතේ ඇරඹුණු හවුල් ව්‍යාපාර සමාගම් (2) එක් ගිනි ආරක්‍ෂණ සමාගමක් සමඟ සම්බන්ධය ඇතිව එහෙත් වෙන් වශයෙන් ඇරඹුණු හවුල් ව්‍යාපාර සමාගම් සහ (3) අන්‍යොන්‍ය ජීවිත රක්‍ෂණ සමාගම් යන වර්ග තුනය.

● යාවජීව රක්‍ෂණය

19 වැනි ශත වර්ෂයේ මුල කාලය තුළම වැඩි වශයෙන් ඔප්පු නිකුත් කර ලද්දේ යාවජීව රක්‍ෂණය පිළිබඳව වුණත් එම ශත වර්ෂයේ අවසාන කොටස වනවිට පරිත්‍යාග රක්ෂණය ඉතාම ජනප්‍රිය රක්‍ෂණ ක්‍රමය බවට පත්වන බව පෙනිණි. රක්ෂිතයා නියමිත වයස් සීමාවට පැමිණීමේදී හෝ එයට කලින් ඔහුගේ මරණය සිදුවීමේදී පොරාන්දු ප්‍රකාර නියමිත මුදලක් ගෙවීමට මේ රක්ෂණ ක්‍රමයෙන් බැඳුණු නිසා රක්ෂිත පුද්ගලයකුට තමන්ගේ ජීවිත කාලය තුළදීම එකවර විශාල මුදලක් ලබාගැනීමට ඉඩකඩ සැලසුණි. ඒ නිසයි මෙය ඉතාම ඉක්මනින් ජනප්‍රිය වූයේ. දැනටමත් පරිත්‍යාග රක්ෂණය යාවජීව රක්ෂණයට වඩා ජනප්‍රියයි. එසේම එය විශ්‍රාම ලැබීම, ගෙයක් මිලයට ගැනීම, දරුවන්ට සුදුසු අධ්‍යාපනයක් දීමට ඉඩකඩ සලසා ගැනීම, ආදී නොයෙක් කටයුතුවලට උපයෝගි කර ගන්නට පුළුවනි. මෑත කාලයේදී ජනප්‍රිය භාවයට පත්වූ අනිත් විශේෂ රක්ෂණ නම් කණ්ඩායම් ජීවිත රක්ෂණය, කණ්ඩායම් විශ්‍රාම වැටුප් ක්‍රමය සහ අධ්‍යයනාධාර වාර්ෂිකය වැනි වාර්ෂික ක්‍රම යනාදියයි.

ඔප්පුව ප්‍රාණවත් කිරීමේදී ගෙවිය යුතු වාර මුදල් නොගෙවුවත් රක්‍ෂණයේ ඵල ප්‍රයෝජන සම්පූර්ණයෙන්ම නැති නොවන අන්දමින් අහිමි නොවීමේ රෙගුලාසි පිළිබඳ ඡේදය රක්ෂණ ඔප්පුවට ඇතුළත් වූයේ 1880 වර්ෂවලදී ය. එතැන් පටන් එවැනි විශේෂ වරප්‍රසාද පිළිබඳ කොන්දේසීන් ඔප්පුවට ඇතුළත් කිරීමට නොයෙක් විධියේ උත්සාහයක් ඇති විය.

● මිත්‍ර සමාජ

රක්‍ෂණයේ ඉතිහාසය

කාර්මික ජීවන රක්ෂණය ආරම්භ වුණේ මරණ වියහියදම් දැරීමට ඇරඹුණු මරණාධාර සමාගම් වලිනුයි. එයට පසුව මරණයකදී යම්කිසි මුදල් ආධාරයක් දීමටත්, ප්‍රධාන වශයෙන්ම ලෙඩ රෝගවලට ආධාරෝපකාර කිරීමටත් මිත්‍ර සමාජ ඇති විය. සතළොස් වන සියවසේදී ඇරුඹුණු මේ මිත්‍ර සමාජ ඊළඟ ශත වර්ෂයේදී ඉතාම ඉක්මනින් දියුණුවට පත්වූ බව පෙනේ. මේ සමාජවල සාමාජිකයන් වූ කම්කරු ස්ත්‍රී පුරුෂයන් ජීව ගණන විද්‍යාව පිළිබඳව අවබෝධයක් නැති අය වූ නිසා ඇතැම් විට වුවමනා අවස්ථාවලදී මුදල් ලබාගැනීමට බැරි වුණත් ලියාපදිංචි කිරීමේ පහසුකම් ඇතිවූවාට පසු මේ සමාජවල වැඩ කටයුතු හොඳින් සිදුවිය. දහනව වැනි

ශතවර්ෂයේදී කාර්මික විප්ලවයෙන් ඇතිවූ ශීඝ්‍ර දියුණුව නිසා එම ශතවර්ෂය මැදදී කාර්මික ජීවිත රක්ෂණ සමාගම් ඇතිවිය. කර්මාන්ත ශාලාවල වැඩ කරන ජනතාව අතර මේ කාලයේදී ජීවිත රක්ෂණය පිළිබඳව ඇතිවූ දැඩි උද්‍යොගය අනුව ජීවත රක්ෂණ ඔප්පු නිකුත් කරන්නට මේ සමාගම්වලට පුළුවන්කම තිබුණි. කාර්මික ජීවිත රක්ෂණයේ විශේෂ ලක්ෂණය වූයේ සති අන්තයේදී හෝ මාසය අවසානයේදී ඔප්පු හිමියාගේ ගෙදරට ගොස් වාර මුදල් එකතු කිරීමය. මෙයින් පසු නියෝජිතයන් බොහෝදෙනා ඉහත කී අන්දමින් වාර මුදල් එකතු කරන්නට ගිය අවස්ථාවලදී සාමාන්‍ය ජීවිත රක්ෂණය හා ගිනි, හදිසි අනතුරු ආදී ව්‍යාපාරික කටයුතු කරන්නට පුරුදු වූහ. 1923 දී පැනවුණු කාර්මික රක්ෂණ පනත අවශ්‍ය අවස්ථාවලදී සමාගම්වල කටයුතු ගැන පරීක්ෂා කරන්නටත්, ඔවුන්ගේ මතභේද ගැන විමසා තීරණය කරන්නටත් පුළුල් බලතල ඇති රක්ෂණ කොමසාරිස් කෙනකු පත් කලායින් පසු වැඩ කටයුතු බොහෝ දුරට ක්‍රමානුකූලව සකස් විය.

● කාර්මික විප්ලවය

යන්ත්‍ර මාර්ගයෙන් විශාල වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ වීමට හේතුව වූයේ කාර්මික විප්ලවයයි. වෙළෙඳ භාණ්ඩ වැඩි වශයෙන් නිපදවීමත්, විප්ලවයක ස්වරූපය ගත් නිසා එසේ අලෙවි කරනු ලැබූ බඩු බාහිරාදිය එහා මෙහා ගෙනයෑමට නව මාර්ග සොයන්නට සමාජයට සිදුවිය. මේ ගමනාගමනය පිළිබඳ නව මං සෙවීමෙන් දුම්රිය, දුම්නැව, යන්ත්‍ර බලයෙන් ක්‍රියාකරවන රථ වාහන ආදිය ඇතිවීම නිසා ගමනාගමන ක්‍රමවලත් විප්ලවයක් සහ හදිසි අනතුරුවල සංඛ්‍යාව ද ඉතා ශීඝ්‍ර අන්දමින් වැඩි වෙන්නට පටන් ගත්තේය. හදිසි අනතුරු ආරක්ෂණය ගැන මහජනයා උද්ඝෝෂණය කරන්ට පටන් ගත්තේ මින් පසුවය. දහනවවැනි ශතවර්ෂයේ මුලදී එවකට සෑදෙමින් පැවැති දුම්රියේ ගමන් බිමන් කළ මිනිසුන්ට සිදුවන හදිසි අනතුරු සඳහායි. පළමුවෙන්ම මේ වචන භාවිතා කළේ නාවික, ගිනි සහ ජීවිත රක්ෂණ ක්‍රම පිළිබඳ කටයුතු මේ වනවිට හොඳට සංවිධානය වී තිබුණ නිසා, හදිසි අනතුරු පිළිබඳ ව්‍යාපාරික කටයුතු ඒ සියල්ලෙන්ම වෙන්වී වෙනමම අංශයක් ලෙස දියුණු වෙන්නට පටන් ගත්තේය. මේ අතරම පෞද්ගලික හදිසි අනතුරු ආරක්ෂණ, රෝගා රක්ෂණ, විශ්වාසය සහතික කිරීමේ ආරක්ෂණ, සේව්‍ය වගකීම් ආරක්ෂණ, මහජන වගකීම් ආරක්ෂණ, ගෙවල් බිඳුම් ආරක්ෂණ, මෝටර් රථ ආරක්ෂණ, ඉංජිනේරු කර්මාන්ත, රක්ෂණ, ගුවන් ගමන් රක්ෂණ, යුද්ධ අනතුරු ආරක්‍ෂණ ආදී නොයෙක් වර්ගවල සහ නොයෙක් ක්‍රමවල ආරක්ෂණ ක්‍රමයන් ඇතිවී දියුණු බවට පත්විය.

● හදිසි අනතුරු

පෞද්ගලික හදිසි අනතුරු ආරක්‍ෂණය ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ දුම්රිය නිසා සිදුවන හදිසි අනතුරු ගණන ඉතා ශීඝ්‍ර අන්දමින් වැඩිවීමයි. 1849 පමණදී මෙය මුලින්ම ඇරැඹුණු කාලයේදී දුම්රියෙන් ගමන් කරන්නට ආරක්ෂණ අවසර පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් ඇති කර තිබුණි. ඒවා සාමාන්‍ය සංචාරක අවසර පත්‍රවලට සමානය. පෞද්ගලික විශ්වාසය සහතික කිරීමේ ක්‍රම පරණ තෙස්තමේන්තු යුගය තරම් ඈත අතීතයේදී ඇරැඹුණු බව පේන නමුත් 1840 පමණ වන තෙක් එය ක්‍රමානුකූලව සකස් වූයේ නැත. සේව්‍ය වගකීම් ආරක්ෂණය ආරම්භ වූයේ 1846 මාරක අනතුරු පණත පැනවීමෙන් පසුවය. 1880 දී සේව්‍ය වගකීම් පනතින් එය වඩා පුළුල් වූ නමුත් වඩාමත් සාර්ථක වූයේ ජෝසප් චෙම්බලේන් වැන්නවුන් කළ උද්ඝෝෂණ නිසාය. එයින් පසු කාලයෙහි පනවන ලද අණ පනත් කිහිපයක් නිසා එය අද පවත්නා තත්ත්වයට ක්‍රමයෙන් දියුණු විය.

ගෙවල් බිඳුම් ආරක්ෂණය පිළිබඳ ඉතිහාසය ද තරමක් අතීතයට සම්බන්ධ කළ හැකි වෙතත් නියමිත ආරක්ෂණ කොන්දේසි සහිතව අවුරුදු පතා අලුත් කළ යුතු පළමුවැනි ගෙවල් බිඳුම් ආරක්ෂණ ඔප්පුව නිකුත් කළේ ග්ලාස්ගෝ නගරයේ මර්කන්ටයිල් ඇක්සිඩන්ට් ඇන්ඩ් ගැරැන්ටි සමාගමය. 1892 දී නැෂනල් බර්ග්ලරි ඉන්ෂුවරන්ස් කෝපරේෂණය ඇරැඹීමෙන් පසු මේ අංශයේ ව්‍යාපාරික කටයුතු කරන සමාගම් රැසක්ම ඇති විය.

● මෝටර් රථ ආරක්‍ෂණය

මෝටර් රථ ආරක්ෂණය 1883-84 වර්ෂවලදී බෙන්ස් සහ ඩේම්ලර් මෝටර් රථ මාර්ගයට ඒමත් සමාගම ආරම්භ වූ එකකි. මේ ක්‍රමය අනුව පළමු වැනි ආරක්‍ෂණ ඔප්පුව නිකුත් කරන ලද්දේ 1894 දී අසුන් දෙකක් ඇති කුඩා බෙන්ස් රථයකටය. 1930 දී පැනවුණු මහාමාර්ග රථ වාහන පනතත්, 1937 දී පත් කරන ලද කැසල් කාරක සභාවේ වාර්තාවෙහි නිර්දේශයනුත් නිසා මෝටර් රථ වාහන ආරක්ෂණය අනිවාර්ය එකක් බවට පත් විය. ගුවන් ගමන් ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම පළමුවැනි ලෝක යුද්ධයට පෙර ඇරඹිණ. 1909 පමණේදීත් මේ ආරක්ෂණ ක්‍රමය පැවැති නමුත්, 1911 දී ලොයිඩ්ස් සමාගම විසින් නිකුත් කරන ලද “සුදු පියාදත්” ඔප්පුව මෙහි මුල් පියවර ලෙස සැලකීමෙහි වරදක් ඇතැයි නොසිතමි. මෙහි සඳහන් කළ ආකාරයෙන් ක්‍රමයෙන් දියුණුවට පත්වූ ජීවිත රක්‍ෂණ ව්‍යාපාරය දැන් ලෝකයේ හැම රටකම පැතිර ගිය ඉතිරි කිරීමේ මාර්ගයකි. ජීවිත රක්ෂණ කොන්තරාත්තු වර්ග රාශියක් තිබේ. ඒවා සකස් වී තිබෙන්නේ ඒ ඒ රටවල ඒ ඒ ජනතාවන්ගේ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරිනි. ජීවිත රක්ෂණය ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ජිවිත රක්ෂණය, කාර්මික ජීවිත රක්ෂණය වශයෙන් කොටස් දෙකකට බෙදීමට පුළුවන්ය. සාමාන්‍ය ජීවිත රක්ෂණයට වඩා කාර්මික ජීවිත රක්ෂණයෙහි ඇති පහසුව නම් නිතර නිතර වාර මුදල් ගෙවන්නට ඉඩකඩ සලසා ගත හැකි කමයි.

● රක්‍ෂණයේ මුල්ම පියවර

රක්‍ෂණයේ මුල්ම පියවර නාවික රක්ෂණය බව මගේ මුල් ලිපියේදී සඳහන් කර ඇත. රක්‍ෂණය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදන්නට පුළුවන්ය. ඒ නාවික, ගිනි, ජීවිත, හදිසි අනතුරු වශයෙනුයි. මේ කොටස් හතරම සාමාන්‍යයෙන් එකිනෙකට සමාන වුණත්, ක්‍රියාත්මක කිරීමේදී තරමක් දුරට එකිනෙකට වෙනස්කම් තිබේ. නාවික ආරක්ෂණය සහ ගිනි ආරක්ෂණය යන කොටස් දෙක ඇරඹුණු හැටිත් මා මගේ පසුගිය ලිපියේදී යන්තමින් සඳහන් කෙළෙමි. කාර්මික විප්ලවයෙන් ජනතාව තුළ ඇතිවූ නොයෙක් අන්දමේ මානසික වෙනස්කම් නිසා ජීවිත රක්ෂණය ගැන මෙන්ම දේපළ ආරක්ෂා කර ගැනීම ගැනත් ලොකු ආසාවක් මිනිසුන් තුළ ඇති විය. කෝටි ගණන් මුදල් වියදම් කොට විශාල ගොඩනැඟිලි ඉදි කිරීමෙන් පසුව ගින්නෙන් ඒවා ආරක්ෂා කර ගැනීමට මිනිසුන් තුළ පහළ වූ මේ ආශාව නිසා ජීවිත රක්ෂණය මෙන්ම ගිනි ආරක්ෂණයත් ඉක්මනින්ම දියුණු විය. හවුල් ව්‍යාපාර සමාගම් ගිනි ආරක්‍ෂණ ඔප්පු නිකුත් කරන්නට පටන් ගත්තේ 19 වැනි ශතවර්ෂයේ මුල් කොටසේ දීය. මේ සමාගම්වල උත්සාහය නිසා ගිනි වැළැක්වීමේ ක්‍රම ගැන පරීක්‍ෂණ පැවැත්වීමට පරීක්‍ෂණ ස්ථානයක් ඇතිවිය. ගිනි ඇතිවීම වැළැක්වීම පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට ආරම්භ වූ මෙහි එම කටයුතු කිරීම සඳහා තෝරා ගන්නා ලද්දේ ඉතා දක්‍ෂ කාර්මික රසායනඥයන් පිරිසකි. දැව, බදාම සහ වෙනත් එවැනි ගොඩනැඟිලි උපකරණ ගැනත් ගිනි නිවන උපකණ ගැනත් අමුද්‍රව්‍ය ගැනත් විද්‍යාඥයෝ නොයෙක් අන්දමේ පරීක්‍ෂණ පැවැත්වීම ආරම්භ කළහ.

● අලුත් අංශ

මීළඟට ආරම්භ වුණු ගිනි ආරක්ෂණ සමාගම් විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන රාශියක් ද සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් ගින්නෙන් දේපළ ආරක්‍ෂා කිරීමේ නවීන ක්‍රම ගැන විමසීම, ගිනි ආරක්‍ෂණයෙහි යෙදෙන්නවුන්ට අවශ්‍ය උපදෙස් දීම, ගිනි ඇතිවීමේ හා පැතිරීමේ හේතු ගැන සොයා බැලීම, ගිනි ආරක්ෂණය හා සම්බන්ධ කටයුතු පිළිබඳ නීති මාලාවක් පිළියෙල කිරීම, ගින්නෙන් සිදුවන අලාභ හානි පිළිබඳ ගණන් මිනුම් සසඳා ඒවා විග්‍රහ කර බැලීම, ගින්නෙන් ආරක්ෂා වීමට අවශ්‍ය දැනීම මහජනයා අතර පතුරුවා හැරීම සහ ගිනි ඇතිවීමෙන් සිදුවන අලාභ හානි අඩුකරලීමට සහය වනු කැමැති රජයේ දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන ද සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ආදී කටයුතු රාශියක යෙදෙන්නට විය. එංගලන්තයේ ගිනි ආරක්ෂණය දියුණු වුණේ මේ අයුරිනි.

රක්ෂණයේ සිවුවැනි නැතහොත් ළඟදීම ඇතිවූ කොටස හදිසි අනතුරු ආරක්ෂණයයි. එහි එකිනෙකට වෙනස් කොටස් රාශියක් තිබේ. නාවික, ගිනි සහ ජීවිත යන රක්ෂණ ක්‍රමවලට ඇතුළත් නොවන සියලුම වර්ගවල හදිසි අනතුරු සඳහා ආරක්ෂාව සැලසීම එයිනි. දහනව වැනි ශතවර්ෂයට පෙර හදිසි අනතුරු ආරක්ෂණය පිළිබඳව නොයෙක් පර්යේෂණාත්මක කටයුතු ආරම්භ විය. විශ්වාසය සහතික කිරීමේ ආරක්ෂණ ක්‍රමයට අනුව ආරක්‍ෂණ ඔප්පු නිකුත් කිරීමට සමාගමක් පළමුවෙන්ම ආරම්භ කිරීමට 1720දී උත්සාහයක් දැරුණු නමුත් එය සාර්ථක නොවීය. 1787 දී විලියම් වෙලර් “ගෙවල් බිඳීම්, මහමඟදි කෙරෙන සොරකම්, මහජන සහ පෞද්ගලික දේ සොරකම්” ආදියේ අලාභ නඩු ගාස්තුත් සමඟ අය කර ගත හැකි වන පරිදි පුද්ගලයන් රක්ෂණය කිරීමට ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භ කළ නමුත් අවුරුදු දෙකකට වැඩි කලක් එය පැවැතුණේ නැත. සොරුන් අල්ලා ගැනීමට පොලිස් හමුදාව උනන්දු කරවනු සඳහා පොලිස් බළඇණියේ ගණන වැඩි කිරීමටත් රාත්‍රී මුරකාරයන්ගේ සේවය නතර කර දැමීමටත් සොරුන් අල්ලා ගන්නා පොලිස් නිලධරයන්ට විශේෂ තෑගි බෝග පිරිනැමීමටත් යෝජනා ක්‍රමයක් 1814දී ඇතිවූ නමුත් එයින් බලා පොරොත්තු වූ සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැත. මේ කරුණු කෙසේ වුවත් හදිසි අනතුරු ආරක්ෂණය නියම පදනමක් පිට ආරම්භ වුණේ මීට ශතවර්ෂයකට පමණ පෙර කාර්මික විප්ලවයෙන් ජනසමාජයෙහි ඇතිවූ හදිසි පෙරළිය නිසාය.

1962 ප්‍රකාශිත ලියවිල්ලකි

advertistmentadvertistment
advertistmentadvertistment