සුරාබදු සහ කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

122

අවසන් තීරණය ජනපති පැමිණි පසු

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සහ කැසිනෝ බලපත් ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම සංශෝධනවලට අනුව තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙසය.

රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ. රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇත. විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 05 සිට විසිපන් ලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.

මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ. එය මීට පෙර රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවතියේය.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා තිබේ.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇති අතර කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත්, කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05ක් ද, කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නංවා ඇත. රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. රුපියල් ලක්ෂ 05ක් ව පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුවම අය කිරීමට තීරණය කර තිබේ.

කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරත වීම සඳහා වන බලපත්‍ර ගාස්තු සංශෝධනයට අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සහිත අයැදුම්කරුවන්ගෙන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් ගෙවිය යුතුය. එම බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවිය යුතුය. ඩොලර් මිලියන 500ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු ලෙස රුපියල් බිලියන 05ක් ගෙවිය යුතුය.

ජනවාරි මස 12 දා සිට අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මෙම සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධ අවසන් තීරණය ගනු ලබන්නේ දැනට විදේශ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි පසු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment