දැවෙන අර්බුද හා ඥාති කැබිනට්ටුව

2197

යළිත් කුට්ටම අනා තිබේ. කැබිනට් සාමාජිකයන් 17 දෙනකු අලුතින් පත් කර ඇත. එකම ආණ්ඩුවක පුරුදු මුහුණුවලම නැවත පිරවීමක් (Re-Filling) බැවින් ලොකු වෙනසක් සහ ලොකු සමාජ තෘප්තියක් නැති වුණාට තරුණ නියෝජනයකට කැබිනට්ටුවේ වැඩි ඉඩක් ලබාදීම මගින් පවතින සමාජ විරෝධයට සහනයක් සැලසීම ආණ්ඩුවේ අරමුණ වන්නට ඇත. එය එක අතකින් හොඳ ප්‍රවණතාවකි. නමුත්, කලිනුත් වනජීවී හා අගල් කැපීමේ කටයුත්ත සිදුකර, රක්ෂිත වනාන්තර තුළ ගවයන්ට තණ කවන්නට ගොස් වනජීවී නිලධාරීන් සමග ගැටුම් ඇති කරගත් විමලවීර දිසානායක වැනි හිතුවක්කාරී චරිතයකටම නැවත එම විෂයම භාරදීම වැනි නොමනා කටයුතුද මේ කැබිනට්ටු මාරුවේදීත් දක්නට ලැබීම ප්‍රශ්නයට උත්තරයක් හැටියට සිදුකළ කැබිනට්ටු මාරුවක් නොවන බවට පැහැදිලිය. (නව කැබිනට්ටුවේ පරිසර අමාත්‍ය ධුරය ලබාගත් නෂීර් අහමඩ් ද වරක් තම රැස්වීමකදී නාවික හමුදා නිලධාරියකුට බැන තර්ජනය කර ඔහු එළවා දමා ජනතා අප්‍රසාදයට ලක්වූ අයෙකි.) එසේම, හොඳින් විමසා බලන කල අපට පෙනෙන්නේ මහළු දේශපාලකයන් මෙම කැබිනට් මණ්ඩලයේ නැති වුණත්, දිනේෂ්, රමේෂ්, ප්‍රසන්න, කනක, විදුර, ෂෙහාන්, කාංචන හා ප්‍රමිත යන කැබිනට් අමාත්‍යවරු 8 දෙනා ලංකාවේ ප්‍රකට දේශපාලකයන්ගේ පුතුන් වන බවය. එසේම, දිලුම් හා තේනුක යන දෙදෙනාද කිට්ටු දේශපාලක ඥාති සබඳතා දරන්නෝය. එනම්, පොදුවේ ගත් කල මෙතෙක් කැබිනට් අමාත්‍ය ධුර නොදැරුවන්ට හා දේශපාලන ඥාතීනට කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදීමක් ලෙසද කෙනකුට මෙම මාරුව හැඳින්වීමට හැකිය. එසේම, කිසිදු කාන්තා නියෝජනයක් නැති කැබිනට් සංශෝධනයක් ලෙසද මෙය හඳුන්වා දෙන්නට පුළුවන.

 කෙසේ හෝ ශ්‍රී ල නි ප ඇතුළු පක්ෂ 11 සාමාජිකයෝ මෙම කැබිනට් මණ්ඩලයට අයත් නොවෙති. විශේෂයෙන්ම ජනතාවගේ වරමෙන් පාර්ලිමේන්තුවට ගොස්, ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව, කට නිසාම ජනතා අප්‍රසාදයට පත්ව සිටි කැබිනට් අමාත්‍යවරුන් පිරිසකට මෙවර තැනක් නොලැබීම ජනතාව ප්‍රිය කරන කාරණයකි. එසේම ප්‍රවාහන – මහාමාර්ග, පරිසර – වනජීවී වැනි එකට ගත හැකි විෂයයන් වෙන වෙනම ඇමැතිවරුන්ට ලබාදීමේ විද්‍යාත්මක නොවන තත්ත්වයක්ද මෙම මාරුවේ දක්නට ලැබේ. ඒ කෙසේ වෙතත් රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර බඳින්නට හා ක්‍රියාකරන්නට කාර්ය ශූර කැබිනට්ටුවක් දැන් නිර්මාණය වී තිබේද යන්න රටට වැදගත් වන කාරණය වේ.

 ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් වැනි ඉන්ධන සපයා ගැනීමට ඇති දැවෙන අර්බුදය, හාල්, පරිප්පු, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳව ඇති ජනතාවගේ දැවෙන ප්‍රශ්නය, ඖෂධ වර්ග මිල ඉහළ යෑම හා හිඟකම පිළිබඳව ඇතිව තිබෙන දැවෙන අර්බුදය, පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම්වල මිල ඉහළ යෑම හා හිඟකම පිළිබඳ ගොවීන්ගේ දැවෙන ප්‍රශ්නය සඳහා කඩිනම් විසඳුම් ලබාදීම යනාදී ප්‍රශ්න, ගැටලුවලට මෙලෙස පත්වූ කැබිනට් මණ්ඩලයට විසඳුම් දිය හැකිවේද යන්න විමසිය යුතු කාරණය වේ. මන්ද මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වන මොහොතක සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයක් මේ වන නිසාය.

 එනම්, වැදගත් වන්නේ හුදෙක් තනතුරු දීම නොව, මේ මොහොතේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හා ඒවාට ඇහුන්කන් දෙන සංවේදී කණ්ඩායමක් කැබිනට් මණ්ඩලය තුළ සිටිය යුතුවීමය. ඒ එසේ වෙන්නේද යන්න තව ටික කලක් අපි බලා හිඳිමු.

 මේ මොහොතේ ජනතාව දවන දැවැන්තම අර්බුදය ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන සපයා ගැනීමට පෝළිම් තුළ කාලය කාදැමීමට සිදුවීමය. අඩුම තරමින් සිංහල – දෙමළ අවුරුදු යෙදුණු පසුගිය 13, 14 දින දෙකේදීවත් හිඟයකින් තොරව පෙට්‍රල්, ඩීසල් ලබාදෙන්නට ආණ්ඩුවට නොහැකි විය. මේ නිසා පෝළිම් තුළ රස්තියාදු වූ

 ජනතාවගෙන් ආණ්ඩුවට එල්ල වූයේ කෝපය මිශ්‍ර විරෝධයකි. එසේ හෙයින් ගෝල්ෆේස් පිටිය තුළ පමණක් නොව, බොහෝ තෙල් පෝළිම් තුළ පවා හඬනඟා කියවුණේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට අස්වී ගෙදර යන ලෙසය.

 කොටින්ම තවමත් මේ තෙල් අර්බුදය විසඳී නැතිව ජනතාව රට පුරා පාරවල් ගානේ දවසෙන් වැඩි කාලයක් ගෙවද්දී පෙරේදා (17 දා) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමූ බව (සංශෝධනය කළ බව) LIOC‍ සමාගම නිවේදනය කළේය. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 දක්වාද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 367 දක්වාද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289ක් දක්වා සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327 දක්වා ඉහළ නැග ඇත. මේ මිල ගණන් ජනතාවට දරන්නට හැකිද…? මෙසේ හිතු හිතූ ලෙස ඉන්දියානු ඔයිල් සමාගම කීවතාවක් ඉන්ධන මිල ඉහළ දැම්මේද…? මේ නිසා ඉදිරියේදී ප්‍රවාහනය සියලුම භාණ්ඩ මිල ඉහළ යෑම වැළක්විය හැකිද…?

 මේ නම් ආණ්ඩුවක් ඇති රටක් නොවේ. තෙල් මිල තීන්දු කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගමයි. එසේ විටක මෙසේ පත්වන අරුම පුදුම කබිනට්ටුවකින් රටේ දැවෙන ප්‍රශ්නවලට ලැබෙන විසඳුම කුමක් විය හැකිද යන්න අපට වෙනම ප්‍රශ්නයක් ඉතිරිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment