භික්ෂු වෙසින් ගවරගිරිය විදුහලට පැමිණි චීවරධාරියා ගුරු සිල් මාතාවකට පෙන්වන්නට ගිය හිතවත්කම දෙදරලා

6846

භික්ෂුවක ලෙස වෙස් වලාගෙන ගවරගිරිය මහ විදුහලට පැමිණ ඇති චීවරධාරියකු එම විදුහලේ නේවාසිකව ගුරු නිවාසයේ නතර වී සිටින එම විදුහලේ ගුරුවරියක ලෙස සේවය කරන සිල් මාතාවකගේ කාමරයට ගොස් බොරු හැඳුනුම්කම් පෙන්වා ඇගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා එය නොලැබුණු තැන ඇයට බැණ වැදී ඇගේ අතේ තිබුණු ජංගම දුරකථනය පැහැර ගෙන යෑමට තැත් කළ සිද්ධියක් ගවරගිරිය මහ විදුහලෙන් වාර්තා වේ.

පාසල පටන් ගැනීමට පෙර පෙ.ව.7.30 ට පමණ මෙම සිද්ධිය සිදු වී ඇති අතර එම අවස්ථාවේ ගුරු නිවාසයේ සිට ඇත්තේ මෙම සිල් මැණියන් පමණක් බව පැවසේ. මෙම චීවරධාරියා තමා කිසි දිනෙක දැක නැති නොහදුනන පුද්ගලයෙකු බවත් මෙම සිද්ධිය දුරකථනයෙන් පොලිසියට දැනුම් දීමට තැත් කිරීමේදී තමා අත තිබූ ජංගම දුරකථනය මොහු පැහැර ගත් බවත් එම සිල් මාතාව පොලිසියට කළ ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ දරුවකු සමග පැමිණ ඇති පියෙක් එය දැක චීවරධාරියාගෙන් ජංගම දුරකථනය උදුරා ගෙන තමාට ආපසු ලබා දුන් බවත් සිල් මාතාව පොලිසියට පවසා ඇත. අයගම සිට ගවරගිරිය ඉංගිරිය බලා ධාවනය වන බස් රථයක පැමිණ ඇති මෙම සැකකාර චීවරධාරියා සිද්ධිය සැලවීමටත් පෙර බස් රථයක නැගී අයගම දෙසට පලා ගෙස් තිබේ. අයගම පොලිසිය විමර්ශන සිදු කරයි.

අයගම – ප්‍රේමසිරි විජේතුංග

advertistmentadvertistment
advertistmentadvertistment