කෙසෙල්හේනාවේ සිඟිති දියණියක් සහ මවක් අතුරුදන්

336

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ තරුණ මවක් සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය පෙරේදා (18 දා) සවස සිට අතුරුදන් වී ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

කෙසෙල්හේනාව, ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක තරුණ මවක් සහ ඇගේ මාස 11ක සිඟිති දියණියක් මෙසේ අතුරුදන් වී ඇත. සිද්ධිය සිදු වූ දිනයේ උදෑසන ඇගේ සැමියා නිවසින් රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර නැවතත් සවස 6.30 පමණ විට සුපුරුදු ලෙස රැකියාව නිමවා නිවසට පැමිණ ඇත. නිවසේ සියලු දොර ජනෙල් විවෘතව තිබුණ ද තම බිරිඳ සහ සිඟිති දියණිය නොසිටීම නිසා කලබලයට පත් වූ සැමියා තම බිරිඳ සහ දරුවා සොයා අසල්වාසී නිවෙස්වලටද ගොස් ඇත.

තම බිරිඳගේ ගෙවල් තිබෙන ඉංගිරිය ප්‍රදේශයට ද සැමියා දුරකථනයෙන් කතාකර ඔවුන් පැමිණ ඇත්දැයි සොයා බැලීමක් සිදුකළද එහි ද නොමැති බව දැනගෙන ඇත. අනතුරුව මෙම සිදුවීම පිළිබඳ හෙතෙම පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන අඟුරුවාතොට පොලිසිය, අදාළ නිවසේ ශීතකරණයේ සහ ඊට යාබද පොළොවේ ගෑවී තිබූ ලේ පැල්ලම් කිහිපයක් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත.

විවිධ පැතිකඩවල් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා මෙම අතුරුදන් වූ අය සොයා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආනන්ද සිල්වා මහතා පැවසීය.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment